( 4.30pm ) මීට දශක කිහිපයකට පමණ පෙර නම් මීගමුව යනු විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිය සංචාරක පුරවරයක් බවට පත් වී තිබිණි. සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට බොහෝ විට අප්‍රේල් මාසය දක්වාම මීගමුව සංචාරක කලාපය විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන ආකාරය දැක ගත හැකි විය.
එහෙත් මේ වන විට නොවැම්බර් සිට දෙසැම්බර් මාසයද ගෙවී යමින් ඇති අතර විදෙස් සංචාරකයන් මීගමුව තුළ රැඳී සිටීමක් දක්නට නොමැත. එහෙත් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුනේ මෙරටට විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ ගණනින් වැඩි වී ඇති බව සහ එහි ශීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි බවය
අතීතයේදී විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයක් දිනූ මීගමුව සංචාරක කලාපය තුළ විදෙස් සංචාරකයන් පැමිණීම අන්තයටම අවම වීමට හේතුව කුමක්ද ?
මේ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු කීපයකි.
අපිරිසිඳු වෙරළ තීරය
මීගමුව වඩාත් ප්‍රචලිත වූයේ මීගමුව පුරවරයේ ඇති සුන්දර වූ වෙරළ තීරය නිසාය. බොහෝ විදෙස් සංචාරකයන් මීගමුව වෙරළ තීරය හැඳින්වූයේ “බ්‍රවුන් බීච් ” හෙවත් දුඹුරු පැහැති වෙරළ තීරය ලෙසිනි.එහෙත් ඒ මනරම් වෙරළ තීරය අද වන විට දැඩි ලෙස අපිරිසුදු වී ඇත. විදෙස් සංචාරකයකුට තබා දේශීය සංචාරකයකුට හෝ නිදහසේ ඇවිද යෑමට තිබූ මීගමුවේ මනරම් වෙරළ තීරය කැලි කසල, ෂොපින් බෑග් ප්ලාස්ටික් බෝතල් ආදීයෙන් දූෂණය වී තිබේ.
එමෙන්ම සමහර පුද්ගලයින් වෙරළේ සමහර තැන්වල මත්පැන් සාද පවත්වා හිස් මත්පැන් බෝතල් සහ බියර් ටින් ආදිය අක්‍රමවත්ව මුහුදු වෙරළට බැහැර කර ඇති ආකාරය දැක ගත හැකිය. සමහර සංචාරක හෝටල් ආසන්නයේ ඇති වෙරළ තීරයන් පිරිසිදුව හා පවිත්‍රව පවත්වාගෙන ගියත් වෙරළ තීරයේ බොහෝ තැන් වල ඇවිද යාමටත් නොහැකි ලෙසට අපවිත්‍ර වී පවතී. ඒ නිසාම අද වන විට මීගමුව මුහුදු වෙරළ තීරය විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් ගිලිහී ගොස් ඇත.
හොරකම් ඉහල යයි – සංචාරකයින් අනාරක්ෂිතයි
වෙරළේ පමණක් නොව පාරවල් වලදීද මංකොල්ලකෑමේ සිදුවීම්ද පසුගිය කාලය තුල සුලභව වාර්තා විය. . එලෙසම මීගමුව හෝටල් කලාපය තුළ සංචාරක පොලිසියක් ස්ථාපිත කර තිබුණත් මුහුදු වෙරළේ මුරසේවා පවත්වා ගෙන යාමට එම සංචාරක පොලිසියට අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරීන් ප්‍රමාණය අවම මට්ටමක පවතින බවද වාර්තා විය.
ත්‍රිරෝද රථ රියදුරන්ගේ මගඩි සහ තර්ජන
විදෙස් සංචාරකයන්ට නිදහසේ තමන් ලැඟුම් ගත් හෝටලේ සිට හෝ තමන්ට කැමති තැනකට “පික් මී ” වැනි ඇප් එකක් හරහා ගමන් කිරීමේ පහසුකම අද වන විට අර්බුදයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම හෝටල් අසල ඇති ත්‍රී රෝද රථ පාක් වල සිටින ත්‍රී රෝද රථ රියදුරන් විසින් සංචාරකයන් රැගෙන යන “පික්මී” වැනි ආයතනවලට අනුයුක්ත ත්‍රී රෝද රථ රියදුරන් සමඟ නිතර ආරවුල් හා ගැටුම් ඇතිකර ගන්නා ආකාරයද දැක ගත හැකි විය.
මේ හේතුව නිසා පික්මී වැනි ආයතන වල රියදුරන් විදේශිකයින්ව ඔවුන් සිටින ස්ථානයට ලගා නොවන අතර කොහේ හෝ සැගවී සිට විදේශිකයෙකු හෝ දේශීය ජාතිකයෙකු වුවද තමන් සිටිනා තැනට ගෙන්වා ගැනීමට පෙළඹී සිටිති. එමෙන්ම ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් විදේශිකයන්ගේ විශාල මුදලක් අය කිරිමට කටයුතු කිරිම මෙහිදා සදහන් කළ යුතුව තිබේ.
සංචාරක ආකාර්ශණයන් ගිලිහි යමින් ඇත
විශේෂයෙන්ම වෙනත් සංචාරක කලාපවල මෙන් මීගමුව සංචාරක කලාපය තුළ ද විදෙස් සංචාරකයන්ට ආකර්ෂණය දියුණු ස්ථාන නොමැති වීමද විශාල අඩුපාඩුවකි. මීගමුව කලපුව දැඩි ලෙස අපවිත්‍ර වී තිබීමත් හැමිලටන් ඇළ ද අපවිත්‍ර වී ඇති අතර කලපුවෙන් සහ හැමිල්ටන් ඇලෙන් නිතර හමන දුර්ගන්ධයද ඉවසිය නොහැකි තරම්ය. මීගමුව කලපුවටද, එලෙසම හැමිල්ටන් ඇලටද කැලි කසල ෂොපින් බෑග් ප්ලාස්ටික් බෝතල් ආදිය බැහැර කරන නිසා මීගමුව කලපුව සහ හැමිල්ටන් ඇළ ද සංචාරක ආකර්ෂණයෙන් ගිලිහී ගොස් ඇත.
එලෙසම සංචාරක කලාපයක් ස්ථාපිතව ඇති ප්‍රදේශයක ප්‍රධාන නගරය නොනිදන නගරයක් බවට පත් විය යුතුය.එහෙත් මීගමුව නගරයේ බොහෝ විට රාත්‍රී 6.30 හස 7.00 පමණ වන විට සියලු කඩුසාප්පු වසා දමා පාලු ස්වභාවයක පවතී. බොහෝ විට විදෙස් සංචාරකයන් සාප්පු සවාරි යාමටත්, විනෝද වීමටත් පැමිණෙන්නේ රාත්‍රී කාලයටය. එහෙත් මීගමු නගරයට සංචාරකයන් පැමිණෙන විට , නගරය පාලු ස්වභාවයක පවතින ආකාරය දැකගත හැකිය. මේ හේතුව නිසාවෙන්ම මීගමුව නගරයට සංචාරකයන්ගේ පැමිණීම හීන වී තිබේ.
මේ සියලු කරුණු කාරණා දෙස බලන විට විදෙස් සංචාරකයන් මීගමුව තුළ රැඳී නොසිට වෙනත් ප්‍රදේශවලට යාම සාධාරණය. එහෙත් මේ තත්ත්වය තුළ මෙරට මෙන්ම ජාත්‍යන්තරවද වඩාත් ප්‍රචලිතව ඇති මීගමුව සංචාරක කලාපය තුළ ස්ථාපිත හෝටල් ව්‍යාපාර මෙන්ම ඒ හා සබැඳි වෙනත් ව්‍යාපාර ද ක්‍රම ක්‍රමයෙන් කඩා වැටීමකට ලක් වීම සිදු විය හැක.