ලක්ෂ 05 කින් ජීසස් ට වූ අසාධාරණය පියවිය හැකිද ?

0
138
foot ball 14
ජීසස් රෝහළේ සිට අබාධිත තත්ත්වයෙන් නිවසට පැමිණි පසු – සිය මව සමග

දැනට වසර 06 කට පමණ පෙර ශාන්ත පීතර විදුහලේ ඉගෙනුම ලබමින්  ජීසස් ඩෙනීසිස් 2011 වසරේ අගොස්තු 25 වනදා මීගමුව-පෙරියමුල්ලේ පිහිටි අන්සාර් නම්  හෝටලයේ දී  පහරකෑමකට ලක්වූයේ  එම හෝටලයේ සේවකයන් අතිනි. මෙම පහරදීමේ ප්‍රතිපළයක් ලෙස ජීසස් ඩෙනීෂියස්ගේ  හිස් කබල පිපිරීෙමන් එහි කොටසක් ඉවත් කිරීමට සිදුවිය. එබැවින් එම හිස්තැනට නැවතත්  ප්ලාස්ටික් කැබැල්ලක් බද්ධ කිරීමට සිදුවූ අතර ඔහුගේ වම් අත සහ වම් කකුල තවමත් අක්‍රීයව  පවතියි. මෙම ප්‍රහාරයට ලක්වන විට  සා.පෙළ විභාගයට මුහුණ දීමට  ඔහුට තිබුණේ තවත් එක් වසරකි. ඔහුට සිදුවූ මෙම අවසානාවන්ත සිදුවීමෙන් පසු මාස 08 කාලයක්  කොළඹ ජාතික රෝහලේත්, රාගම හා මීගමුව යන රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදුවිය. ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුව ගොඩගැනිම වෙනුවෙන් 2011අගොස්තු මාසයේ සිට අද දක්වා  විශාල සටනක් කරමින් සිටියි. එම අවස්ථාවේදී ජීසස්ගේ පවුලේ සාමාජිකයන්,නෑදෑයින් මැදිහත්ව මුදලින් මෙන්ම විවිධාකාර උපකාර විලින් ඔවුන්ට සිදුවූ මෙම විපතින් ගොඩඒමට උපකාර කළේය.  එමෙන්ම   මහවිදිය දේවස්ථානයේ එවකට සිටි මීසම්පාලක  ශ්‍රියානන්ද පියතුමා මැදිහත්වී ආධාර ටිකට්පතක්  මගින් මුදල් ආධාර ලබාදුන් අතර ගමේ අසල්වැසියන් පාසලේ ගුරුවරුන් හා සිසු සිසුවියන්ගේ නොමසුරු සහයෝගය ඔහුට ලැබිණි. ධිවර රැකියාවේ යෙදෙන පියාගේ හා මවගේ අප්‍රතිහත කැපකිරිම් මැද ජීසස් ඩෙනීසියස් එක කකුලකින් රූට්ටා ඇවිදිමින් , එක අතකින් තනිවම වැඩ කරගනිමින් ,සෞඛමය අතින් විශාල අවධානමකට මැදිවී ජීවත් වෙයි.
ඔහුගේ හිසට රයිස් හැන්දෙන් කළ පහරදිම නිසා මොලයට සිදුවූ හානිය මුදලින් මිළ කිරීමට නොහැකි බව
අද ඔහුගේ ජීවිතය නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. සිය ආබාධිත තත්ත්වයේ  හිදගෙනම ජීසස් ඩෙනීසියස් සාමාන්‍ය පෙළවිභාගයට පෙනී සිටියේය. පාසල් යන කාලයේ මීගමුව ජුපිටර්ස් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ ජීසස්ට දැන් ඒ සියල්ල අහිමිය. හොඳින් සිටියා නම් අද ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි.  එහෙත් සිය ආබාධිත තත්වය හේතුවෙන්මේ වනවිට ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර ආර්ථික දුෂ්කරතා රාශියක් මැද  රැකියාවක නිරත වන වයසේ පසුවුවත් ඔහුට අතහිත දීමට කිසිවෙක් තවමත් ඉදිරිපත්වී නැත.

ජීසස් ඩෙනීසියස් ගේ නඩුව
ජීසස් ට අන්සාර් හෝටලයෙන් සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් ගොනුකළ නඩුවක් මේ වන විටත්  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ  පවතී. එමෙන්ම ඔහුට සිදුවූ අපරාධයට වන්දි ඉල්ලා තවත් නඩුවක් අධිකරණයට ගොනුකර ඇත.
ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිවගොනුකළ නඩුවේ නඩු වාර්තා මාස ගණනක් පුරා අස්ථාන ගතවී තිබුණ අතරමීගමුව පොලීසිය විසින් පසුගිය නඩු වාරයේදී  ඒවා ඉදිරිපත් කළ අතර මෙම නඩුවේ නඩු විභාගය 2017- 12-05 වනදාට කල්තැබිණි.
ජීසස් ඩෙනීසියස්ට වූ අසාධාරණයට වන්දි ලබාගැනීමේ නඩුව ජුනිමස 30 වනදා පැවැත්වුණ අතර මෙහිදී  වගඋත්තකරුවන්ගේ පාර්ශවයෙන් යෝජනා කර තිබුනේ ලක්ෂ 05ක වන්දි මුදලක් ලබාදීමට ඔවුන් කැමැති බවයි. නමුත් ඒ සඳහා ජීසස් ඩෙනීසියස් වෙනුවෙන් ඉදිරිපත්වූ  නීතිඥවරුන් විරෝධය පළකර  තිබුණි.
මේ ආකාරයට වසර 6ක් ගතවී ඇතත් ජීසස් ඩෙනීසියස්ට තවමත්  නීතියෙන්  කිසිදු සාධාරණයක් ඉටුවී නොමැති අතර පමාවී වී හෝ ඔහුට යුක්තිය ඉටුවිය යුතුය. නොසීතූ ලෙස මුහුණදෙන්නට සිදුවූ මෙම ප්‍රහාරය හේතුවෙන් ජීවිතකාලයටම වන්දි ගෙවන්නට සිදුවී ඇති ජීසස් ඩෙනීසියස් ගේ ජීවිතයට සිදුවූ පාඩුව ලක්ෂ 05 කින් තක්සේරු කළ නොහැක. ඔහුට අහිමි කළ ඔහුගේ ශරීරයේ ප්‍රකෘති ක්‍රියාකාරීත්වය ඔහුට නැවත ලබාදිය නොහැකි වුවත්, ඒ වෙනුවෙන්  ලබාදිය හැකි උපරිම වන්දියක් ඔහුට ලබාදිය යුතුය.


සටහන  –  කුමාරි ප්‍රනාන්දු