ලාභ ලබන , නීති කැඩෙන , එලවළු වෙළඳාම…..

0
276

    මීගමු  ජනතාවට එලවළු මිලදී ගැනීමට තිබුනු ප්‍රධාන ස්ථානය වූයේ කාමච්චෝඩයේ සතිපොලයි. කොරෝනා වසංගතය හේතුවෙන් පොල වසා දමා දින කිහිපයක් ගතවී ඇත. මීගමුව, පාන්කඩ හංදියේ ලාභ කඩේ එලවළු තෝරන  විශාල සෙනඟ අතර සතිපොලේ  ගෝෂාවද අසන්නට ලැබිණ. එයට හේතුව වූයේ සතිපොල වැසූ නිසා එදිනෙදා ජීවත්වීම සඳහා අතට කීයක් හරි සොයා ගැනීම සඳහා මෙම ලාභ කඩේ එලවළු වෙළඳාම සඳහා ඔවුන් මැදිහත්වීමයි.

අද විවිධ ආකාරයෙන් විවිධ පිරිස් එලවළු වෙළඳාම සඳහා යොමුවී එය තම ජීවනෝපාය බවට පත්කරගෙන ඇත. සමහරු නිවෙස් තුළ පවා මෙම වෙළඳාම කරගෙන යනු දැකිය හැක. ජනතාවද වසංගත තත්වය හමුවේ තම ආහාරය සඳහා අවශ්‍ය එලවළු සොයා එවැනි ස්ථාන කරා යොමුවීම වැලැක්විය නොහැක.

මන්ද ආංඩුවටද මේ සඳහා විකල්ප වැඩපිළිවෙලක් නැති බැවිනි.
නමුත් කොරෝනා අප හඳුනා ගත් තැන සිට මාධ්‍ය තුළින් පවා අපට නිතර මතුරන ආරක්ෂිත පියවරයන් කිහිපයකි. මේවා අද නීති බවට පත්වී ඇත. මීටරයක දුරින් සිටීම ඉන් එක් ප‍්‍රධාන නීතියකි. මුඛවැස්මක් පැළඳීම අනෙක් ප්‍රධාන නීතියයි. මෙම නීතිය කැඩූ අය පොලීසිය විසින් ඔසවා ගෙන යන අයුරු අපි පසුගිය දිනවල රූපවාහිණියේ රූප රාමුවලින් දැක්කෙමු. නමුත්, මීටරයේ නීතියට එසේ දැඩි පියවරයන් නොගන්නා බව පෙනේ.

ඉහත සඳහන් කළ මිනිසුන්ගේ එදිනෙදා අවැසිතා පිළිබඳව සළකා බැලීමේදී එය කඩ නොකර සිටිය නොහැකි තත්වයක පවතින බව පැහැදිළිවේ.
නමුත් සෑම ආයතකයකම මීටරයක් දුරින් සිටීම කිසිදු වලංගු භාවයක් නැති පාඨයක් බවට පත්වී ඇත. ඉහතකී ලාභ කඩේ පවා එවැනි දැන්වීම් පුවරු සවිකර ඇත.ඒවා දෙස කිසිවෙකු නොබලනවා සේම එය නොතකා හරියි. නමුත් , අප වටකරගෙන කොරෝනා මාරයා ඇස් දල්වා සිටින ආකාරයද අපි අත්දකිමින් සිටින්නෙමු.
එබැවින් අප ජනතාවට මෙසේ අනතුරු හඟවමු. විනාශය අතලඟටම පැමිණ ඇත. ප්‍රවේශමෙන් කටයුතු කරන්න….
සැම්සන් ඥානසිරි