ලුණු හිඟයි , ලුණු ගණන් , මීගමුවේ  කරවල කර්මාන්තය දැවැන්ත අර්බුදයක ? 

0
229

WhatsApp Image 2025 02 12 at 18.19.46 b44eecff

දැනට මාස කීපයක සිට මෙරට පවතින ලුණු හිඟය නිසාවෙන් රට තුළ ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.
රට තුළ පවත්නා ලුණු හිඟය නිසා කරවල කර්මාන්තය මහා පරිමාණයෙන් සිදුවන පුරවරයක් ලෙස ප්‍රකට මීගමුව තුළ ගැටලුකාරි තත්ත්වයකට එහා ගොස්  ලුණු හිඟය නිසා , මේ වන විට මහා අර්බුදයක් නිර්මාණය වී තිබේ
මීගමුව තුළ අලුතින්ම පැන නැගුණු මේ මහා අර්බුදය පිළිබඳව සොයා බලන්නට මීගමුව  මාළු ලෙල්ලම අසල වෙරලාශ්‍රිත ප්‍රදේශයේ පසුගිය දිනක අප නිරීක්ෂණයක යෙදුනෙමු.
 මෙහිදී මීගමුව කරවල රස්සායේ නියලෙන මෙන්ම කරවල සමිති සාමාජියන්ගේ අදහස් විමසීමක් සිදුකරන ලදී.

 

කරවල විකිණෙන්නෑ කියන්නේ අපේ ව්‍යාපාර කඩා වැටෙනවා.

WhatsApp Image 2025 02 12 at 18.18.35 8f6e18b8
ශ්‍රියානි මහත්මිය

ශ්‍රියානි මහත්මිය- වැල්ලවිදිය ශා.සෙබස්තියන් කරවල සමිතිය.

” පහුගිය අවුරුද්දේ එක දිගට වැස්ස නිසයිලු මේ විදිහට ලුණු හිඟ වුණේ කියලා ආණ්ඩුව කියනවා. ඉතිං ඒහෙම ලුණු හිඟ නිසා තමයිලු තියෙන ලුණු මේ තරම් මිල වැඩි වුණේ. කොහොම වුණත් මේක අපිට සෑහෙන්න බලපානවා. මාළු කරවල කරද්දි අවශ්‍ය වෙන ප්‍රධානතම දී තමයි ලුණු. ඉතින් විශාල මිල ගණන් වලට ලුණු අරගෙන කරෝල වේලන්ඩ යොදාගන්න බෑ.එතකොට කරවල මිල වැඩි කරන්න වෙනවා. එහෙම වුනොත් මිනිස්සු කරවල  මිල දීලා ගන්නේ නැති වෙනවා. කරවල විකිණෙන්නෑ කියන්නේ අපේ ව්‍යාපාර කඩා වැටෙනවා.”

රු 5000 ට ලුණු අරගෙන කොහොමද කරවල වේලන්නේ

නිහාල් මහතා – වැල්ලවීදියේ සා.සෙබස්තියන් කරවල සමිතිය

WhatsApp Image 2025 02 12 at 18.18.50 bb454e4a

” රුපියල් 600ට ,700 ට තිබුණු ලුණු ගෝනිය. පසුව 1500 ට විතර වගේ ගියා. ඉන්පස්සේ තමයි මේ විදිහට රුපියල් 5000 සීමාවට වගේ දැන් මේ වෙද්දී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලුණු ගණන් නිසා අපි කරවල වේලන එක සීමා කරලා තියෙන්නේ. වැල්ලේ කොච්චර මාළු අහු වුනත්, ඒ මාළු කොච්චර අඩු මිලකට අපට ලැබුණොත් මේ ලුණු වල අධික මිල ගණන් හින්දා අපිට මේ වෙද්දි  මාළු වේලීම අපි සීමා කරලා තියෙන්නේ. මේ වැල්ල පුරාම පසුගිය සති කිහිපයක් තිස්සේම  හාල්මැස්සෝ සාලයෝ වගේ වෙනත් පොඩි මාළු කරවල වලට වේලපු  ගොඩක් අය අද වෙද්දී ඒ වැඩේ අතඇරලා ගිහිල්ලා. මොකද රුපියල් 5000 කට විතර වගේ ලුණු අරගෙන ඒ විදිහට කරවල කරන්න බෑ. එහෙම වේලලා ඒ කරවල අධික මිල ගණන්වලට විකුණන්නත් බැහැ. ඔන්න ඔය නිසා තමයි ගොඩක් අය කරවල කරන එකෙන් අද වෙද්දි අයින් වෙලා ඉන්නේ. අද මීගමු වැල්ලේ  කරවල වේලන තැන ගොඩාක් අඩුවෙලා තියෙනවා.

කරවල බිස්නස් එකෙන් දැන් හුගක් අය අයින් වෙලා ඉන්නේ

ඇන්ටනී මහතා – කරවල රස්සාවේ යෙදෙන්නෙක්

WhatsApp Image 2025 02 12 at 18.19.07 109594b0 1

” දැන් අපේ රටේ ලුණු ප්‍රශ්නයක් තියෙනවානේ., ලුණු හිඟයි කියලානේ මේ ආන්ඩුවේ මැති ඇමති ලා වගේ අය කියන්නේ. මේ වෙද්දි අපි සල්ලි දීලා ගන්න ලුනු වල නම් කිසිම කොලිටියක් නෑ. මොකද මහත්තයෝ අපි මේ කරෝල වේලන්න ,මෙච්චර කල් අපි පාවිච්චි කෙරුවේ පුත්තලමේ ලුණු. ඒ කියන්නේ පුත්තලම ලුණු ලේවායෙන් එවන පුත්තලමේ  කුඩු ලුණු. නමුත්  දැන් රටේ තියෙන මේ  ලුණු ප්‍රශ්නය හන්දා, අපිට ඒ පුත්තලමේ කුඩු ලුණු එක දැන් මේ දවස් වල ලැබෙන්නේ නෑ. එහෙම ආවත් ඒක රුපියල් 5000 කටත් වැඩි වෙනවා.  5000 ක් විතර දීලා ගන්න වුණත් ඒ කුඩු ලුණු හරියට අපිට ලැබෙන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ. ඒකට විකල්පයක් විදියට මහත්තයෝ අපිට දැන් එවන්නේ මේ හම්බන්තොට කුඩු ලුණු වර්ගයක් . ඒක ඇත්තටම ඒක කුඩු වුනාට එක නිකං මඩ වගේ. පුත්තලම ලුණු, කපාපු මාළු වලට දාපුවම ඒක දවස් එකහමාරෙන් දෙකෙන් අල්ල ගන්නවා. නමුත් දැන් මේ අපිට ලැබෙන හම්බන්තොට මඩ ලුනු එක දාලා ඒ ලුනු මාළු වලට අල්ලගන්නම දවස් තුනක් හතරක් විතර වගේ කාලයක් යනවා. වේලගන්න ගියාමත් එහෙමයි පුත්තලම ලුණු දාලා තියෙන මාළු කරවල විදිහට වේලන්න දවස් දෙකක් තුනක් විතර වගේ කාලයක්  තමයි යන්නේ. ඒත් මේ හම්බන්තොට මඩ ලුණු දාලා මාළුවාව වේලගන්න දවස් හතරක් පහක් විතර යනවා. ඉතින් පුත්තලම ලුණු දාලා කරවල කරන එකට වඩා වැඩි ගාණක්, වැඩි මුදලක් වැඩ කරන අයට ගෙවන්න වෙනවා හම්බන්තොට ලුණු දාලා කරවලා කරන එකට. දවස් ගාණ ඩබල් වෙනවා. ඒවට ඒ වැඩ කරන අයට සල්ලි ගෙවන්න ඕනා. ඒත් ඒ හම්බන්තොට මඩලුනු එකකුත් රුපියල් 4000 කට කිට්ටු කරපු ගානක් වෙනවා. ඉතින් ඇත්තටම නියම විදිහට කරවල වෙන්නෙත් නෑ. කරවල කරන්න, ඒකට යන වියදමත් ඩබල් ට්‍රිබල් වෙනවා. වේලන කරවල වල කොලිටියෙකුත් නෑ.වැඩි වියදමක් ගියා කියලා, කරවල වල මිල වැඩි කරගන්නත් බෑ. එහෙම මිල ගනන් වැඩි කෙරුවොත් මිනිස්සු කරවල ගන්නේ නැති වෙනවා. මේ කරුණු කාරණා හින්දා තමයි, අද මේ බිස්නස් එකෙන් හුඟක් දෙනෙක් අයින් වෙලා ඉන්නේ. ඔන්න ඕක තමයි අද මීගමුවේ  කරවල වේලන බිස්නස් එකට වෙලා තියෙන්නේ. ඉතින් මේකට යම් විසඳුමක් දෙන්න ආණ්ඩුව අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න ඕනා. නමුත් මේ යන විදියට ආණ්ඩුවෙනුත් කිසිම දෙයක්   වෙයි කියලා හිතන්න අමාරුයි”.

WhatsApp Image 2025 02 12 at 18.20.24 86f17a71

geethanee
සභාපතිනිය – ගීතානි ප්‍රනාන්දු මහත්මිය

 

ඉන්දියාවෙන් ලුණු ගෙනල්ලා දෙනවා කියන එක විසඳුමක් විදිහට  හොඳයි.

ගීතානි ප්‍රනාන්දු මහත්මිය – සභාපති -ශාන්ත අන්තෝනි කරවල සමිතිය – මංකුලිය

” දැන් මේ රටේ පැන නැගිලා තියෙන මේ ලුණු ප්‍රශ්නය, ලුණු හිඟයක් නිසා ඇතිවුණ ප්‍රශ්නයක් නෙවෙයි කියලයි අපි නම් හිතන්නේ.මොකද ලුණු හිඟයක් තියනවනම් , ලුණු කොහොමටවත් වෙළඳපලට පැමිණෙන්න විදිහක් නෑ.නමුත් දැන් වැඩි ගානට මිලට ගන්න  නම් ලුණු වෙළඳපොලේ තියෙනවා.;ඉතින් වැඩි ගානට හරි මිලදී ගන්න වෙළඳපොලේ ලුණු තියනවා කියලා කියන්නේ එතන හිඟයක් නෑ කියන එකයි.අපිට නම් හිතෙන්නේ මේ ලුණු හිඟයක් මවාපාලා තියෙන්නේ.මිල ගණන් වැඩි කරගන්න ඕන නිසා. මේකත් හරියට අර රටේ දැන් තියෙන හාල් ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක්. මිල ගණන් වැඩි කරගන්න අවශ්‍ය වුණහම නැති  හිඟයක් තියෙනවා කියලා මවාපානවා. අපට මුලින්ම ලුණු කොට්ටයක් හම්බ වුණේ රුපියල් 600 ට. ලුනු කොට්ටයක සාමාන්‍යයෙන්  කිලෝ ග්‍රෑම් 50 කට ආසන්න තියෙනවා. ඒ රුපියල් 600 මිල අපේ කර්මාන්තයට එච්චර ගානක් වුනේ නෑ. ඊට පස්සේ ඕක රුපියල් 1500 ට විතර ගියා. එතකොට කරවල වේලන අපි වාගේ අයට ඒ මිල දරාගෙන කරගෙන යන්න අමාරු වුනා. එහෙම අමාරු තත්ත්වයක කරගෙන යද්දි තමයි, ඒ මිල තවත් දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. මේ වෙද්දි ලුණු කොට්ටයක මිල රුපියල් 4700 ට රුපියල් 4800 විතර වැඩි වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ලුණු කොට්ටය රුපියල් 1500 ට තියෙද්දිත් අමාරුවෙන් කරගෙන ගිය අපට  ඒක රුපියල් 4800 ට ,  4900 ට වැඩි වෙද්දි එක කොහොමද කරගෙන යන්නේ කියලා කල්පනා කරලා බලන්නකෝ..අනිත් එක ඔය දැන් වෙළඳපොලේ විකුණන්න තියෙන හම්බන්තොට ලුණු කොට්ටේ පුත්තලම එකකට වඩා රුපියල් 500ක්,600ක් ගාන අඩුයි. නමුත් ඒකෙ වැලි කලවම් කරලා තියෙන්නේ. ඉතින් රුපියල් 500 ක් , 600 ක් අඩුවට හම්බවුනත් වැලි ටික ඇරලා ආපුවහම අපිට හම්බෙන ලුණු ප්‍රමාණය අඩුයි. එතනත් අපිට විශාල පාඩුවක් සිදුවෙනවා.සාමාන්‍යයෙන් මේ කරවල වේලෙනකොට මාළු කිලෝග්‍රෑම් 100ක් වේලන්න ,ලුණු කොට්ටයක් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ තත්වයෙන් අඩු එහෙත් මිල ගණනුත් වැඩි ලුණු ලැබුනහම අතිරේකව තවත් වියදමක් දරන්නත් වෙනවා. අනිත් එක අපි වේලන කරවල වල කොලිටියත් අඩුවෙනවා. මේ ප්‍රශ්න සහ ගැටලු නිසා, මේ වෙද්දි අපේ ව්‍යාපාර නිසි විදියට කරගෙන යන්න බැරිම තත්ත්වයකට තමයි අද වන විට පත්වෙලා තියෙන්නේ.WhatsApp Image 2025 02 12 at 18.19.46 3ad14b11
ඉන්දියාවෙන් ලුණු ගෙනල්ලා දෙනවා කියන එක විසඳුමක් විදිහට  හොඳයි. නමුත් අපි කියන්නේ අපිට කොහෙන් හරි කමක් නෑ හොඳ කොලිටි ලුණු මිල අඩුවට ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් වෙන්නේ.මොකද මිල වැඩි ලුණු අරගෙන කරවල වේලලා,  කරවල වල මිල ගණන් අපිට වැඩි කරගන්න විදිහක් නෑ. මොකද කරවල හුඟක් ආහාරයට ගන්නේ දුප්පත්ම සහ මධ්‍යම පාන්තිකව ඉන්න අය. ඉතින් කරවල වල මිල ගණන් වැඩි කරපුවාහම එයාලා ඒවා මිලට ගන්නේ නැතුව යනවා. එහෙම වුණොත් කොහොමටත් අපේ මේ කර්මාන්තය කරගෙන යන්නම බැරි තත්වයකට පත්වෙනවා. ඉතින් කොහොමටවත් අපිට මිල වැඩි කරගන්නත් බෑ. අනික තමයි අපි සෑම කෙනෙක්ම, ඒ කියන්නේ මහා පරිමාණයෙන් මධ්‍ය පරිමාණයෙන් සුළු පරිමාණයෙන් මේ කරෝල වේලීමේ බිස්නස් එකේ ඉන්න සෑම කෙනෙක් මගේ බැංකුලවන් අරගෙන,ඒ ලෝන් හරහා තමයි මේ ව්‍යාපාර කටයුතු හුඟක් අය කරගෙන යන්නේ. ඉතින් කරවල වේලන්න යන වියදම් වැඩි වෙද්දී , කරවල විකිණුවත් ඒ වලින් ලාභයක් නැත්නම් ඒ අය කොහොමද මේ ලෝන් වල වාරික මුදල් ගෙවා දමන්නේ. අනික මේ කර්මාන්තය තුළින්  සෘජු හා වක්‍ර ලෙස රැකියා කරන අය කෙතරම් ප්‍රමාණයක් නම් ඉන්නවද . ඒ රැකියාවන් නිසා පවුල් සිය  ගාණක් යැපෙනවා. මේ ලුණු ප්‍රශ්නය නිසා ඒ සියලුම පවුල්වල ජීවිකාවන්ට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඒ අයගේ ජීවිත පවත්වාගෙන යන්නට නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා අද වෙද්දි. අපි පෙනෙන්නට තියෙන විදිහට මීගමුව තුල  මේ ප්‍රශ්නය විශාල ඛේදාන්තයක් බවට පත්වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා. ඉතින් අපි නම් හිතන්නේ මේකට වගකිව යුත්තන්ගේ ඉක්මන් මැදිහත්වීමක් අවශ්‍යයි කියලයි.

ලුණු හිඟවීම සහ මිළ ඉහළ යාමේ අර්බුදය හේතුවෙන් බොහෝ කරවල ව්‍යාපාරයන් මේ වන විට ඇන හිටින තත්ත්වයකට පත්ව ඇත. මේ සඳහා වගකිවයුතු රජයේ ආයතන මැදිහත්වී ඉක්මන් විසඳුමක් ලබා නොදුනහොත් මීගමුව තුළ පමණක් නොව මුළු රටේම කරවල කර්මාන්තය තුළ නියැලෙන ව්‍යාපාරිකයන් එම කර්මාන්තය අතහරින දිනය වැඩි ඈතක නොවනු ඇත.විශේෂයෙන්ම එවැනි තත්ත්වයක් මීගමුවේ ධීවර ප්‍රජාව ආශ්‍රිතව දැඩි ආර්ථිකමය ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩ ඇත.එවැනි තත්වයක් ඇති වුවහොත් එය මුළුමනින්ම මීගමුව තුල  දැඩි ආර්ථික පසුබෑමක් සිදු වනු වැළැක්විය නොහැකි වනු ඇත.එය මීගමුව තුළ පමණක් නොව,සමස්ත වශයෙන් මුළු රටේම   තවත්  ආර්ථික අර්බුදයක් බවට පත්වුණු නොමනුමානය. 
WhatsApp Image 2025 02 12 at 18.20.25 03a7e11f WhatsApp Image 2025 02 12 at 18.20.44 beb54525 WhatsApp Image 2025 02 12 at 18.21.10 1a7e4a4eWhatsApp Image 2025 02 12 at 18.21.09 354b0c73 1

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here