ලෝක වකුගඩු දිනය ගැන රාජ්‍ය මාධ්‍යයත් නිහඩයි ?

0
134

kidneyforcashලෝක වකුගඩු දිනය මේ වසරේ යෙදී ඇත්තේ අද දිනටයි. එනම් මාර්තු මස 09 වනදාටයි. ඒ සදහා වන උත්සවය අද දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සංවිධානය කර තිබුනේ උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වාය. එම අවස්ථාවේදී වකුගඩු රෝග හදුනාගැනීමේ සායනයක්,අධිරුධිර පීඩනය හා දියවැඩියාව වැනි වකුගඩු රෝග ඇති වීමට බලපාන තත්වයන් පාලනය කිරීම, නිවැරදි පෝෂණ තත්වයක් පවත්වා ගැනීම,ව්‍යායාම වැනි විවධ ක්ෂේත්‍රයන් ආවරණය වන ආකාරයේ අංගසම්පූර්ණ සායනයක් එහිදී සංවිධානය වී තිබිණි.මේ සදහා විශාල මහන්සියක් ජපුර රෝහලේ වකුගඩු ඒකකයේ සැම විසින්ම දරා තිබුණි.

මින් වසරකට පමණ පෙර  වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට සාර්ථකව මුදුණ දීමෙන් පසු නිරෝගී ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු වශයෙන් වකුගඩු රෝගය පිලිබදව හෝ ඒ හේතුවෙන් රෝගීන් පීඩා විදින ආකාරය මා හට පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැත. මා වකුගඩු රෝගියෙකු වශයෙන් හදුනාගත් අවස්ථාවේ පටන් එම රෝගය නිසා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුන මාද ඇතුළු අනෙකුත් රෝගීන්ගේ දුක ඉතාමත් සංවේදී බව ඔබට නැවත නැවතත් මතක් කිරීමට කැමැත්තෙමි.

අප රටේ මේ වන විට ජාතික ව්‍යසනයක් තත්වයටම පත්ව ඇති වකුගඩු රෝගය පිලිබදව ජනපතිගේ අවධානය විශේෂයෙන් යොමු වී ඇතැයි කියන  අවස්ථාවක, ඒ සදහා වන ජාතික ප්‍රතිපත්තයක් අවශ්‍යයැයි පැවැසෙන අවස්ථාවක ලෝක වකුගඩු දිනය සමරන (2017 මාර්තු 09 ) දිනයේදී ඒ පිලිබදව තම ප්‍රවෘත්ති ප්‍රකාශන් වල තත්පරයක් කාලයක් හෝ වෙන් කිරීමට අපේ බහුතරයක් මාධ්‍යට මතක නැත.

පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාවකට අද දිනයේ ඇති ප්‍රධානතම ප්‍රශ්ණය වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධණ මහතාට පාර්ලිමේන්තුව තහනම් කිරීමත් ඒ නිසා හිත් රිදී ඇති ඒකාබද්ධයේ සිත් සැනසීමත්ය.
රාජ්‍ය මාධ්‍යය කියාද වෙනසක් නැත.
රූපවාහිනිය හෝ ස්වාධින රූපවාහිනියේ ජාත්‍යන්තර වකුගඩු දිනය ගැන කිසිදු පුවතක් පළ නොකිරිම අප ඇත්තටම ලැජ්ජාවි  විය යුතුය.
වකුගඩු රෝගයෙන් කීයක් මිය ගියත් ඔවුන්ට කමක් නැත. ජනපතිගේ හා අගමැතිතුමාගේ සිත් සතුටු කිරීම ඔවුන්ට ප්‍රමාණවත්ය. අපමණ අගයක් මාධ්‍යට ලබා දිය යුතුයැයි ඉල්ලමින්,මාධ්‍ය නිදහස යැයි කියමින් ඇතැම් විට තමන් සර්වබලධාරී යැයි ඇගට ගෙන සිටින, ප්‍රතිපත්ති යන වචනයවත් හදුනන්නේ නැති ශ්‍රීලංකාවේ ජනමාධය නාලිකා වල තත්වය එසේය. වකුගඩු දිනය හිට් කිරීම අපහසු නිසා ඔවුන් තෝරාගන්නේ දිනේෂ් ගුණවර්ධන,ජනපති හා අග්‍රාමාත්‍යතුමාවය. ඊයේ දිනයට යෙදී තිබූ කාන්තා දිනය අදත් අපේ මධ්‍යට ප්‍රවෘත්තියක් වන විට අද දිනයේ යෙදී ඇති ලෝක වකුගඩු දිනය ඔවුන්ට ප්‍රවෘත්තියක් නොවීමේ මාධ්‍ය සාදාචාරය පිලිබදව මටනම් ඇත්තේ පිලිකුලකි.

හදුනානොගත් හේතුවක් නිසා දිගින් දිගටම වකුගඩු රෝගය හේතුවෙන් රජරට ප්‍රදේශයේ මිනිසුන් මියයමින් සිටිද්දී පොලොන්නරුවෙන් බිහිවූ අපේ රටේ ජනපතිතුමාගේම ජාතික වැපිලිවෙලක් ඇති වකුගඩු රෝගය තුරන් කිරීමට සැබැවින්ම රජය සක්‍රීය මැදහත්වීමක් දක්වන්නේදැයි දැන්නම් සැක සහිතය. ජනපතිතුමන් කාන්තාදින වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවක් පමණක් අද නාලිකාවක දැක ගැනීමට ලැබීමම ප්‍රෙහේලිකාවකි.

අප රටේ බොහෝ මාධ්‍ය සලකන්නේ තමන් සර්වබලධාරී දෙවියන් ලෙසටය. හැම දේම වාර්ථාකිරීමේ හැකියාව ඔවුනට තිබිය යුතුය. මාධ්‍යට අදාලවන සදාචාර කියා දෙයක් හෝ ප්‍රතිපත්ති යැයි සලකන දෙයක් පිලිබදව ඔවුන් දන්නේ නැත. ඒ නිසාම කාලයට අනුව රටේ ඇති දැවෙන ප්‍රශ්ණ,සැබැවින්ම මිනිසුන්ගේ ජීවිතයට බලපාන ප්‍රශ්ණ,තමන්ගේ ආදරණීයයන්ට බලපාන ප්‍රශ්ණ ආමාන්ත්‍රණය කරමින් ඒ පිලිබදව මිනිසුන් දැනුවත් කිරීම ඔවුන්ගේ කාර්‍යයක් නොවන බව සලකන අපේ මාධ්‍ය අද තළු මරමින් දගලන්නේ දේශපාලන කුණු අවුස්සමින් තමන්ගේ හිට්ස් වැඩි කර ගැනීමටය.
මිතිලායා ගමගේ