වකුගඩු ජාවාරම ගැන අමාත්‍ය කමිටුවේ හෙළිදරව්ව ? – අනුර දිසානායක

0
111

පසුගිය පස්වෙනිදා අමාත්‍යවරයා අතට පත්කරන ලද කමිටු වාර්තාවේ සිදුකර ඇති හෙළිදරව් කිරීම් කවරේද?

එය සභාගත කරන්නේ ද යන්න ප්‍රශ්න කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.
අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ප්‍රකාශය

ස්ථාවර නියෝග 23/2 නගනු ලබන ප‍්‍රශ්නය – 2016.02.09

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්වූ වකුගඩු ජාවරමට ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ බවට පළවූ ප‍්‍රවෘත්ති පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

පසුගිය දිනවල නීති විරෝධී වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු ඉන්දියානු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණා. එම තොරතුරු වලට අනුව ඊට අදාල වකුගඩු ශල්‍යකර්ම සිදුකර තිබුණේ ශී‍්‍ර ලංකාවේ රෝහල් තුළ හා ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙනයි. ඊට ලංකාවේ පෞද්ගලික රෝහල් 4කුත් වෛද්‍යවරුන් හයදෙනෙකුත් සම්බන්ධවී ඇති බවට මාධ්‍ය වාර්තා කළා.

මේ පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පළමුව ත‍්‍රිපුද්ගල කමිටුවක්ද පසුව පංචපුද්ගල කමිටුවක්ද පත්කරනු ලැබුවා. එම අවසන් කමිටුවේ වාර්තාව පසුගිය පස්වෙනිදා ඇමතිවරයාට පිළිගන්වා ඇති බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

පුද්ගලයන් ඝාතනය කර ශරීර කොටස් විකිණීමේ ජාවාරමක් කලක සිට ඉන්දියාවේ පැවැති අතර මෑතකාලීනව ඉන්දියානු රජය මේ පිළිබඳව නීති දැඩි කර තිබෙනවා. එසේම ලංකාවේ පවතින නීතිය අනුවද කිසිදු ශරීර කොටසක් විකිණීම තහනම් වන අතර බද්ධ කිරීම සඳහා අවයව ලබාගත හැක්කේ නොමිලේය. මේ වාතාවරණය තුළ ඉන්දියානු ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී බද්ධ කිරීම් සඳහා ලංකාව තොරාගෙන ඇති බව මාධ්‍ය වාර්තා පළකළා. මේ ආකාරයෙන් නීති විරෝධී වකුගඩු ජාවාරම් පිළිබඳව 2012, 2013 වසරවල ආන්දෝලනාත්මක තත්වයක් පැන නැගුණා. ඉන්පසුව එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කළද එහි අවසන් වාර්තාවට සිදුවූ දෙයක් දැනගන්නට ලැබුණේ නැහැ.

දැනටමත් මෙවැනි වකුගඩු ජාවාරම් උඩරට වතුකරය තුළ සිදුවන බවට එහි දේශපාලකයන් විසින්ද හෙළිදරව් කිරීම් සිදුකර තිබෙනවා. පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ තමන්ගේ අවයව අලෙවි කරන අය හමුවීමේ පුදුමක් නැහැ. එහෙත් මෙය පැහැරගෙන ගොස් ශරීර කොටස් ලබාගන්නා තැනට යා නොහැකි යැයි කිසිවෙකුටත් කිව නොහැකියි. එසේම ශ‍්‍රී ලංකාව රටක් ලෙසත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයත් අපකීර්තියට ලක්වූ මෙම වකුගඩු ජාවාරම සම්බන්ධ සත්‍යය මෙම සභාව දැනගත යුතු යැයි අප විශ්වාස කරනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අග‍්‍රාමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. 2012, 2013 වකවානුවේ වකුගඩු ජාවාරම පිළිබඳව පත්කරන ලද කමිටුවේ වාර්තාවට සිදුවූයේ කුමක්ද? එහි සිදුකරන ලද හෙළිදරව් කිරීම් කවරේද?

02. පසුගිය පස්වෙනිදා අමාත්‍යවරයා අතට පත්කරන ලද කමිටු වාර්තාවේ සිදුකර ඇති හෙළිදරව් කිරීම් කවරේද? එම වාර්තාව සභාගත කරන්නේද?

03. මෙවැනි ජාවාරම් නතර කිරීම සඳහා ගන්නාවූ කෙටිකාලීන සහ දිගුකාලීන කි‍්‍රයාමාර්ග කවරේද?

අනුර දිසානායක
පාර්ලිමේන්තු මන්ත‍්‍රී
2016.02.08

www.sathhada.lk