මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත 4 – වසන්ත ඔබේසේකර
ස්ථානය විල්පත්තුවේ පාළුවට ගිය තැනිතලා භූමියකි. පවනට බඳු වේගයෙන් කාෂ්ටකවූ පොළොවේ දුහුවිලි අවුස්සාගෙන යම් ඉලක්කයක් කරා ධාවනය වන මෝටර් රථයකි. මෝටර් රථයේ මඟ අවුරමින් ගිනිගහන අව්වේ ලී දණ්ඩක් අතින්ගත් වේදනාවෙන් හා කෝපයෙන් සන්නද්ධ වූ ගැහැනියකි.
ඇගේ තියුණු දෑස් රථය පැදවූ පුද්ගලයාගේ දෑස් හා ගැටුණි. රථය ඇය අසලට එත්ම ඇයගේ මුළු වීරියම යොදා දෑත බඳා රථයේ ඉදිරිපස වීදුරැවට අතැති පොල්ලෙන් වැදෙන මරැ පහරකි. වීදුරැව කැඩී නොගියද එය පුපුරා ඉරි තැලිනි.
පහරෙන් සර්පයෙකු මෙන් කිපුණු රියදුරා රථය හරවා පොල්ල තවමත් උළුකොට රථය දෙස බලා සිටින ගැහැනිය වෙත දුහුවිලි නංවමින් ධාවනය වූයේ තව තවත් වේගයෙනි. එවර ඇය රථයේ හැපී උඩින් වීසිවී ගොස් බිම වැටුණි.
කෙඳිරියක්වත් නැත. පළාතටම ඇසුණේ රථයේ ඇංජිම පණ ගහන හඬ පමණි. මේ දෙස බලාසිටියේ ගිනිගෙන දැවෙන හිරැ පමණකි.
ගූවන් යානයක් මෙන් මහා හඬ නගමින් නැවත ධාවනයවූ රථය බිම වැටී පොල්ලත් අතින් ගෙන නැගිටින්නට වෙරදරන ඇයගේ සිරැර මතින්ම ඇදී ගියේය. යළි යළිත් ඉදිරියට හා පසුපසට ඇය මතින් ඇය නිසලවී මිහිකත බදා වැළඳ ගන්නා තුරැම ධාවනය වුණි. රථයේ රෝද ඇයගේ ශරීරය මතින්ම ඇදී ගියේ මිහිකත පවා කම්පා කරවමිනි. එහෙත් බලාසිටි හිරැ හැරැනු කොට වෙනත් පණ ඇති ප්‍රාණියෙකු ඇයගේ උදව්වට පැමිණීමට ඒ අහලකවත් නොවීය.
ඉන්පසු නිහඬ බවකි. තමා ඩැහැගත් ගොඳුර අවසන් කළ රියඳුරා සැනසිල්ලේ ආපසු ඇදිණි.
මේ වූයේ කුමක්ද , මෙහි අගමුල කුමක්ද කියා සමහරැන්ට සිතෙනවා ඇති. එහෙත් 1984 වසරේදී ඔබ ‘ දඩයම’ නම්වූ ඒ සම්භාව්‍ය සිනමා පටය නරඹා තිබුණා නම් ඔබට එසේ නොසිතෙනු ඇත.
අති විශාල තිරය පුරා දිස්වූ වාහනයේ , ඉදිරිපස වීදුරැවට වැදුණු පොලු පහරින් කැඩී ඉරිතැළුණු වීදුරැවේ හඬට අමතරව පසුබිමෙන් ඇසුණේ වාහන ඇංජිමක් පණ දමන හඬ පමණි.
වේගයෙන් ඇදී යන වාහනයට පොල්ලෙන් ගැසූ ඇය ඇතිවූ කම්පනයෙන් විසිවී ගොස් වැටී නැවත වැනි වැනි පොල්ලත් ගෙන නැගී සිටියේ තමන්ට අසාධාරණය කළ පිරිමියාගෙන් පළි ගන්නටය. ඇයගේ දෑස් වල තිබූ බැල්මෙන් මුළු පිරිමි ජාතියම දවා අළුකර දැමීමේ හැකියාව තිබිණි.
රජරට ප්‍රදේශයේ විසූ ඇඩ්ලින් විතාරණ නම්වූ අහිංසක දිළිඳු යුවතියක රවටා ඇයගේ කුසට දරැවකුද දී ඒ මුසල දිනයේ විල්පත්තුවේදී තම රථයටම යටකොට ඝාතනය කළ පෙම්වතා පිළිබඳ රටම කැලඹූ සත්‍ය පුවත ඇසුරින් මෙම සිනමා පටය නිර්මාණය වුණි.
එදා මෙම දර්ශනය දෙස දෑස් දල්වා භීතියෙන් , දුකින් හා ඒ නරැම පෙම්වතා පිළිබඳවූ කෝපයෙන් ද යුතුව බලා සිටි සුවහස් ප්‍රේක්ෂක ජනයා සමඟ මමත් සිටියෙමි. වාහනයේ ඇංජිමේ හඬින් සිත්තම්පලම් සිනමා ශාලාවේ බිත්ති දෙදරැම් කෑ හැටි මට මතකය.
මෙහි ඇඩ්ලින් විතාරණ ලෙස අති විශිෂ්ට චරිතාංග නිළි ස්වර්ණා මල්ලවආරච්චිද ඒ නරැම පෙම්වතා ලෙස සිනමාවේ මහා නළුවකු වූ රවීන්ද්‍ර රන්දෙණියද චරිත නිරෑපනය කළෝය.
ඔවුන් ඇතුළු අනෙකුත් නළු කැලගේ අති විශිෂ්ට රංගනයෙන් පෝෂණයවූ මේ සිනමා කෘතිය ආදායම්වාර්තා මහා ඉහළින් බිඳ හෙළමින් රට පුරාම ඉතා සාර්ථක ලෙස තිරගත විය.
1983 වසරේ හොඳම චිත්‍ර පටය, හොඳම තිරරචනය හා අධ්‍යක්ෂණය සඳහා වූ ජනාධිපති සම්මාන දිනා ගැනීමට සමත්වූ දඩයම චිත්‍රපටයේ තිරය පිටුපස සිට මේ සියල්ලම මෙහෙයවූ දෑවැන්තයෙකු විය. ඒ වන විටත් සිංහල සිනමාවට උසස් නිර්මාණ රාශියක්ම දායාද කොට තිබූ එතුමා වෙන කවුරැවත් නොව ඔබ අප සැවොම දන්නා වසන්ත ඔබේසේකර නම් වන්නේය.
1962 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ ඔබේසේකරයෝ 1964-1970 කාල වකවානුවේ ලේක් හවුසියේ කතෘ වරයෙකු වශයෙන් සේවය කළහ.
මේ අතරතුර 1967 දී නිර්මාණයවූ සත්සමුදුර චිත්‍රපටයේ සමතිරරචකයෙකු හා සහය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කිරීමට ලැබීම එතුමාගේ ගමන් මග සිනමාව කරා යොමු කිරීමට සමත් විය.
ඉන්පසු 1970 වසරේදී වෙස්ගත්තෝ නමින් චිත්‍රපටයක් තිරරචනය ලියා අධ්‍යක්ෂණය කිරීමට එතුමාට හැකිවිය. විමල් කුමාර ද කොස්තා රඟපා තිරගතවූ මුල්ම චිත්‍රපටයද මෙයයි.
මෙතැනින් ඇරඹුණු ඔබේසේකරයන්ගේ ඒ අමරණීය සිනමා ගමන සිංහල සිනමාවට දායාද කළේ අමිල සිහිවටන රාශියකි.
1976 දී වල්මත්වූවෝ, 1977 දී දියමන්තිය , 1979 දී පළඟැටියෝ , 1983 දී දඩයම සහ ඉන්පසුව අවුරැදු පහක විරාමයකින් අනතුරැව 1989 දී කැඩපතක ඡායා, 1995 දී මාරැතය, 1998 දී දොරකඩමාරාව , 1999 දී තීර්ථ යාත්‍රා සහ 2000 වසරෙන් පසු සලෙලු වරම, අග්නි වර්ෂා , ආගන්තුකයා සහ සත්‍ය සිදුවීමක් ඇසුරින් සෙව්වන්දී යන සිනමා පොකුර අපට දායාද කළේ එතුමා විසිනි.
මෙහිදී දියමන්තිය චිත්‍රපටයේ විජය, කලං, කොස්තා සහ සෝමසිරි දෙහිපිටියගේ රංගනයන් සදා මතකයේ රැදුනි. වික්ටර් රත්නායකයන් ගයන ‘ගිඟිරි ගීත රාවේ ‘ ඇතුළු රසික හද දිනාගත් අපූරැ ගීත කිහිපයක්ම එහි විය.
එතුමා 1979 දී නිර්මාණය කළ පළඟැටියෝ සිනමා පටයට වසරේ හොඳම චිත්‍රපටය, තිර රචනය සහ අධ්‍යක්ෂණය යන අංශ තුනින්ම ජනාධිති සම්මාන දිනාගැනීමට හැකිවීම සිනමාවට පිවිස වසර නමයක් වැනි සුළු කාලයකින් ලබාගත් විශාල ජයග්‍රහණයකි.
1989 දී තිරගතවූ කැඩපතක ඡායා චිත්‍රපටයේ ඒ ඇඟ කිළිපොලා යන දර්ශනය මට තවමත් මතකය.
මෙහි කතාව සැකෙවින් මෙසේය. මහ වැස්සකට තෙමී ගෙට දිව එන නව යොවුන් පාසල් දැරියකි. ඇය නන්දාවතීය. ( ස්වර්ණා මල්ලවආරච්චි) වැස්සෙන් තෙත බරිතවූ පාසල් නිල ඇඳුමින් ඇයගේ සාරාගී හොඳින් වැඩුණු ඇඟ පසඟ කැපී පෙනෙයි. නිවසේ සිටින්නේ ඇයගේ අක්කා විමලාගේ ( සුනේත්‍රා සරච්චන්ද්‍ර) ස්වාමි පුරැයාවූ ධනරත්න අයියා ( විජය කුමාරතුංග) පමණි.
නන්දාවතී තම කාමරයට වැදී තෙත මාත්තු කරමින් සිටියයදී විවරව තිබූ දොරින් ධනරත්න ඇයගේ නග්නව තිබූ පායුග දකියි. නිවසේ ඒ මොහොතේ තනිව සිටි ඔහුගේ සිත රාග ගින්නෙන් වෙලී යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ධනරත්න අයියා අතින් ඇය අනාථ වීමය.
මෙම අතවරය ඉන්පසු තම බිරිඳ විමලාට හොරෙන් දිඟටම ගෙනයන ධනරත්න නන්දාවතීගේ කුසට දරැවකුද ආවිට කිසිත් නොදත් ප්‍රියතිලක නම්වූ තරැණයකුට( සනත් ගුණතිලක) ඇයව විවාහ කර දෙයි. ඉන්පසුවත් ඔහුට නන්දාවතීගේ පහස අවශ්‍යවෙයි. ඔහු එය ලබා ගනියි. විවාහයෙන් පසුවත් නන්දාවතීට ධනසිරිගෙන් ගැලවුමක් නොවුය් ඔහුට තිබූ ධනය සහ බලය නිසාවෙනි.
මෙසේ කතාව ගලා යයි. අවසාන ජවනිකාවේ නන්දාවතී විසින් ධනරත්න අයියාගේ මුහුණට ඇසිඩ් ගසන ඒ උද්වේගකර අවස්ථාව ස්වර්ණා කෙතරම් අපූරැවට රඟපෑවාද කියතොත් එය රඟපෑමක් සේ නොදැනිණි.
මේ සියලු තාත්වික රඟපෑමකම පසුපසින් සිට ඒවා අකුරටම මෙහෙයවන්නා වූයේ වසන්ත ඔබේසේරයන්ය.
විජය රඟපෑ අවසාන චිත්‍රපට කිහිපයෙන් එකක් මෙය වූ අතර සිනමා පටයේදී මුහුණට ඇසිඩ් වැදී ඔහගේ මුහුණ විනාශ වීමත් ඉන්පසු සැබෑ ජීවිතයේදීද මුහුණ විනාශ වන්නට තැබූ වෙඩිපහරකින් ජීවිතක්ෂයට පත්වීමත් තවමත් අපට සිතාගත නොහැකි දෛවෝපගත සිදුවීම් පෙළක්ම නොවන්නේද?
වසන්ත ඔබේසේකරයන්ගේ දක්ෂ මෙහෙයවීම යටතේ සාර්ථකවූ චිත්‍රපට නිසා තම දිවියම සාර්ථක කර ගැනුමට බොහෝ නළු නිළියන්ට, ගායකයන්ට, සංගීත අධ්‍යක්ෂක වරැනට හැකිවිය. එහෙත් තිරය පිටුපසටම වී එතුමා තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ ගියේය.
එතූමා හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය පළඟැටියෝ, දඩයම හා දොරකඩමාරාව යන අති විශිෂ්ට සිනමා ත්‍රිත්වය වෙනුවෙන් දිනාගත් අතර හොඳම තිර රචනයට හිමි සම්මනය සත් සමුදුර සහ දොරකඩමාරාව යන චිත්‍රපටයන් සඳහා ලබා ගැනීමට හැකි විය.
සිංහල සිනමාවේ දශක හතරක පමණ කාලයක් පෙරළිකාර අධ්‍යක්ෂණයක යෙදී එතුමා අපට දායාද කළ සිනමා පොකුර වටිනා මැණික් ඔබ්බවූ තාරකා සේ තවමත් සිනමා අම්ඹරේ දිදුලයි.
වසන්ත ඔබේසේකර මහතාණෙනි, ප්‍රවීණ නළු නිළියන් , අධ්‍යක්ෂකවරැන්, ගායකයින්, සංගීතඥයින් හා කාර්මික ශිල්පීන් එකිනෙකා අපෙන් සදහටම සමුගෙන යන්නට පටන්ගෙන ඇත.
ඔබවන් ප්‍රවීණයන්ගේ සේවාව සිනමාවට අවශ්‍යම කාලය මෙයයි. ඉක්මනින්ම ඔබතුමාගේ නව නිර්මාණයක් දැක ගැනීමට අපගේ දෑස් පිංකොට තිබේවා.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකතුමනී ඔබට ඒ සඳහා අවශ්‍ය ශක්තිය , ධෛර්‍ය හා සිතේ සැනසුම නිරතුරැවම ලැබේවා
මැතිඳුණී ඔබට චිරං ජයතූ!
චිත්‍රපට වසර , සමහර තොරතුරැ හා ඡායාරෑප අන්තර්ජාලයෙන් ලබාගත් බව කරැනාවෙන් සලකන්න.
චන්දන ගුණසේකර – එක්සත් රාජධානිය