‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

0
92
‘විදර්ශන ප්‍රකාශන’ ආයතනය විසින් සංවිධානය කරන ලද ප්‍රථම ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකා ප්‍රදානය ඊයේ (01) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී විශේෂ

ආරාධිතයන් 200 කගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

තරගය සඳහා ඉදිරිපත් කළ නවකතා අත්පිටපත් 96ක්, කෙටිකතා සංග්‍රහ අත්පිටපත් 118 ක්, කාව්‍ය සංග්‍රහ අත්පිටපත් 199ක් සහ මුලින් සිංහල බසින් පළවී තිබූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය සංග්‍රහයක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඉදිරිපත් කළ අත්පිටපත් 20ක් අතුරින්, දීර්ඝ ඇගයුම් ක්‍රීයාවලියකින් පසු අවසන් වටය සඳහා තේරී පත් වූ 12 දෙනකු අතුරින් සිවු දෙනෙකු ඊයේ ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකා’ව සහ  150,000/- ක මුදල් ත්‍යාග ද දිනාගත්හ.

 

winner

ඒ හොඳ ම කාව්‍ය සංග්‍රහය ලෙස උපුල් සේනාධීරිගේ විසින් ඉදිරිපත් කරන ලද ‘ඉඳුදුන්න නැමුණු තැන’ කාව්‍ය සංග්‍රහය, හොඳ ම කෙටිකතා සංග්‍රහය ලෙස අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉදිරිපත් කරන ලද ‘සූදුරු අබා’ කෙටිකතා සංග්‍රහය, හොඳ ම නවකතාව ලෙස යසස් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලද ‘වැහිපීල්ලක අතරමංව’ සහ හොඳ ම පරිවර්තනය (ඉංග්‍රීසි) අසන්ති ඒකනායක විසින් ඉදිරිපත් කරන ලද ‘The Maker Accidents’ ඉංග්‍රිසි පරිවර්තන අත්පිට යනාදි ලෙසිනි. ‘The Maker Accidents’ යන මැයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කර ඇත්තේ ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘අහම්බකාරක’ නවකතාව ය.

අවසන් වටය සඳහා නිර්දේශ වූ අනෙක් අට දෙනා වෙත විශේෂ විදර්ශන ජය ඵලක සහ රු. 50,000/- ක් වටිනා මුදල් ත්‍යාග පිරිනැමිණ. ඒ: සුහර්ෂණී ධර්මරත්න සහ ඩි. එම්. ලොකුගේ (කාව්‍ය), කුමුදු කුමාරසිංහ සහ සමිත බී. අටුවබන්දෑල (කෙටිකතා), ශ්‍රිලාන් ප්‍රනාන්දු සහ ගයනි ගුරුගේ (නවකතා), සවි වික්‍රමආරච්චි සහ විවිමාරි වැබ්ඩර්පුට් (ඉංග්‍රීසි පරිවර්තන) යනාදි ලෙසිනි.

ජයග්‍රහණය ලද නිර්මාණ හතර සය මසක් තුළ ඉංග්‍රීසි බසට පරිවර්තනය කර පළ කිරීමට ද සියලු කටයුතු සංවිධානය කර ඇති බව විදර්ශන ප්‍රකාශන ආයතනාධිපති ජනක ඉණිමංකඩ පැවසී ය.

 

මෙම අත්පිටපත් තරගය සඳහා නිර්මාණකරණයේ ප්‍රවීණ, ආධුනික බේදයකින් තොරව නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර ඇගයුම් මණ්ඩල එම නිර්මාණ සියල්ල විමසා බලා ඇත්තේ අදාළ නිර්මාණකරු හෝ නිර්මාණකාරියගේ නම සඳහන් නොවූ අත්පිටපත් වෙතිනි.

තරගය සඳහා ඉදිරිපත් වූ අනෙකුත් නිර්මාණ මොනවාද, එම නිර්මාණකරුවන්, නිර්මාණකාරියන් කවුරුන්ද යන්න කිසි විටෙක ප්‍රසිද්ධියට පත් නොකළේ ය. ඇගයුම් මණ්ඩල පවා තමන් විමසුමට භාජනය කළ නිර්මාණ ඉදිරිපත් කළ අය කවුරුන්ද යන්න දැන නොසිටියේ ය.

 

ජයග්‍රාහී නිර්මාණ කෘති සියල්ල සැප්තැම්බර් 10වන දින මුද්‍රණද්වාරණයෙන් එළිදක්වන අතර, එදින සිට දින 21ක කාලයක් එම නිර්මාණ වැඩිම පාඨක පිරිසක් වෙතට ගෙන යෑම සඳහා සුවිශාල ප්‍රචාරක වැඩ පිළිවෙළක් ද සංවිධානය කර ඇති බව ජනක ඉනිමංකඩ පැවසී ය.

ඒ සමග ම දැනගැනීමට ලැබුණු තවත් සුබ ආරංචියක් වූයේ ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025 සඳහා නිර්මාණ භාර ගැනීම 2025 ජනවාරි 01 වැනිදා සිට 2025 අප්‍රේල් 30 දක්වා සිදුකෙරෙන බවයි.

 

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025’ සඳහා තවත් නිර්මාණ අංග දෙකක් ඇතුළත් වන අතර ඒවා ඉදිරියේ දී දැනුම් දැනගන්නට ලැබෙනු ඇත. ඒ අනුව ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025’ වෙනුවෙන් නිර්මාණ ප්‍රවර්ග 6ක් වෙනුවෙන් ජය මූර්තිකා සහ මුදල් ත්‍යාග හිමිවන අතර එහි දී කෙටි ලැයිස්තුගත කිරීම නිර්මාණ 5ක් දක්වා දීර්ඝ කිරීම ගැනද සලකා බලමින් පවතින බව ද ජනක ඉණිමංකඩ පැවසී ය.

දෙවන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ උත්සවය ද 2025 අගෝස්තු 31 වන දින ආරාධිතයන් 400 කගේ සහභාගිත්වයෙන් මහත් උත්සවාකාරයෙන් කොළඹ දී පවත්වන්නට බලාපොරොත්තු වන බව ද ජනක ඉණිමංකඩ වැඩි දුරටත් පැවසී ය.

(සටහන – ජයසිරි අලවත්ත)