විපතට පත් වූවන් සොයා ගියෙමි

0
255

FB_IMG_1559187944042

වසර ගණනාවක් පුරා යුද සහ ගැටුම් වලින් විපතට පත්වූ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව, යුද තර්ජිත ගම්මානවල වැසියන් , දකුණේ හමුදා පවුල්වල කාන්තාවන්, 87-89 විපතට පත් වූ පවුල්වල කාන්තාවන් ඇතුළු විවිධ වූ වින්දිත ප්රජා කණ්ඩායම් සමඟ වැඩකරන මා අප්රේල් 21 සිදුවීම් වලින් විපතට පත්වූ වන්ද, 13 සිදුවීම් වලින් විපතට පත්වූවන් ද හමුවීමට ගියෙමි.
ඊයේත් පෙරේදාත් මට හමු වූ 13 දින සිදුවීම් වලින් විපතට පත්ව ඇති මුස්ලිම් පවුල්වල ජනයා මුහුණ දී ඇති එම අමිහිරි අත්දැකීම් වලින් බිඳක් සාමයට ලැදි ඔබ සමඟ බෙදා ගනිමි.
වාරියපොල, කැකුණගොල්ල, බණ්ඩාරකොස්වත්ත, හෙට්ටිපොල සහ නිකවැරටිය යන ප්රදේශ වලදී මට හමු වූ මේ ජනයා කියූ දෑ වලින් බිඳක් නම් ගම් රහිතව ඔබට කියන්නේ ඔවුන්ගේ මතු ආරක්ෂාව පිණිසය. තැනින් තැනින් ඇසුණු එම කතා කිහිපයක් ඔවුන්ගේම වචන වලින් මෙසේය.
” අපේ ගමට මෝටර් බයිසිකල් වලින් ආපු 60 ක විතර තරුණ කණ්ඩායම ගමේ පල්ලියට කඩා වැදුණා. වෙලාව හවස 6 ට විතර ඇති. අනිත් තැන්වල ඒ වෙනකොටත් සිදු වූ සිදුවීම් නිසා අපි හිටියේ බයෙන්. කෝ තොපේ අල්ලා කියමින් පල්ලිය ඇතුල ආපු ඔවුන් කුරානය බිම දාලා පැගුවා එයට ගිනි තිබ්බා, පැට්රල් බෝම්බ දෙකක් ගැහුවා.එන්න කියපියව් තොපේ අල්ලා ට කියලා කෑගැහුවා. ”
” මේ කණ්ඩායමේ හිටියා අපේ ගෙවල් වලට ඇවිත් කාල බීල යන අය. එයාල ඊට ටික දවසකට කලින් Facebook එකේ ලියලා තිබුණා වැඩක් දෙන්න එකතු වෙනවා කියලා විශ්වාස කරන්නත් බෑ ඇයි අපිට එහෙම කලේ කියලා. ”
“ඔවුන් එදා පහර දෙන වෙලාවෙත් FB එකෙන් තොරතුරු හුවමාරු කරගත්තා ඔවුන් අපේ මිතුරන් නිසා අපි ඒ පෝස්ට් දැක්කා ”
“සින්හල ගෙවල් මග හරිමින් මුස්ලිම් ගෙවල් විතරක් හොය හොයා ආපු අවුරුදු 16 ත් 25ත් අතර ඒ තරුණයින් ගෙන් සමහරක් අපේ යාළුවෝ . ඒ යාළුවො අපිත් එක්ක එකට වැවේ නාන්න යන කට්ටිය හෙල්මට් දාලා හිටියට අපි ඔවුන්ව ඇඳින ගත්තා.
මේ තරුණ කණ්ඩායම ඇවිත් ගියාට පස්සේ ඇඳිරි නීති වෙලාවේ තවත් 100 කට වැඩි කණ්ඩායමක් ආවා රෑ 8 ට විතර මෝටර් බයිසිකල් වලින් ත්රීවීල් වලින් ආවේ. ඔවුන් තරමක් වැඩිහිටි වයසේ පිරිමින් ඔවුනුත් ගෙවල් වල නතර කරලා තිබුණු වාහන වලට ගහලා හානි කලා ගෙවල්වල් දොරවල් පවා කැඩුවා. කෑකෝ ගැසුවා කුණු හරුප කියමින් බැන්නා.
” සමහර අය සින්හල ගෙවල් මඟ හරිමින් ඇවිත් අපේ නම් කියමින් ගෙවල් වලින් එලියට වරෙව් කියලා කැ ගැහුවා. අපිට මුකුත් හිතාගන්නවත් බැරි වුනා”
“වැඩිහරියක් සින්හල පවුල් (පවුල් 25 ක් ) වලට වතුර දුන්න පල්ලියේ වතුර ටැන්කියට අදාල සේරම වතුර බට කඩලා දැම්මා. මඟ දිගට පාර අයිනේ සේරම මුස්ලිම් ගෙවල් වලට ගල් ගහලා ජනෙල් දොරවල් කඩලා හානි කළා.

” අපේ පල්ලිය සම්පූර්නයෙන්ම විනාශ කළා. කුරානය බිම දාල ඒකට මුත්රා කළා.”
” නෝම්බි අරින්න ලැස්ති කරලා පල්ලියේ තිබුණු කැඳ හැලියට ඔවුන් මුත්රා කළා”
” අවුරුදු 34 යි අල්ලපු ගෙදර තරුණයාට එදා රෑ ඈත දුර විනිවිඳින ටෝච් එළියක් දැකලා ඔහු දුවගෙන එනකොට වැටුණා. තුවාල මුකුත් නෑ ඒත් ටික වෙලාවකින් ඔහුට පපුවෙ අමාරුවක් හැදුනා රෝහලට ගෙනගියා ඔහු මිය ගියා. ඔහුට මාස 8 ක ළමයෙක් ඉන්නවා”
” අපි රෑට නිදා ගන්නේ නෑ කට්ටිය එකතු වෙලා එක තැනකට වෙලා බයෙන් ඉන්නවා කොයි මොහොතේ හරි අනතුරක් වෙයි කියලා. මේ ගමන රාමසාන් උපවාස මාසය අපිට මළ ගෙයක් වගේ දුකින් පිරිලා”
” රජය තහනම් කළාට පස්සේ අපේ කවුරුත් බුර්කාව දාන්නේ නෑ. ඒත් හිජාබ් එක ඇඳගෙන පාරෙ යන්නත් බෑ රෝහලේ මුරට ඉන්න පිරිමින් අපට බනිනවා හිජාබයත් ගලවන්න කියලා බුර්කාව මොකක්ද හිජාබය මොකක්ද කියලා ඔවුන්ට වැටහීමක් නෑ’
” මම පිළිකා රෝගී කාන්තාවක් මට කුරුණෑගල මහ රෝහලට යන්න තියනවා ප්රතිකාර ගන්න ඒත් මම යන්න බයෙන් නොගිහින් ඉන්නවා.”
” මට බබා ලැබෙන්න දැන් මාස 6 යි සායනයට ගියාම මගෙන් සේවකයෙක් ඇහුවා බඩේ බෝම්බ බැදගෙන නෙවේ නේද ඉන්නේ කියලා. බස් එකට නගිද්දි කොන්දොස්තර මහත්තයත් ඒකම ඇහුවා. වටේ හිටපු හැමෝම මහ හයියෙන් හිනා වුනා. සැකෙන් වගේ මගේ දිහා බැලුවා”
” මගේ දුව විශ්ව විද්යාලයට තෙරුණා. එයා හරි ආසාවෙන් ඉගෙන ගත්තේ. ඒත් කොහොමද යවන්නේ අපි එයාට කීවා විශ්ව විද්යාලයට යන්න ඕනේ නෑ කියලා අපිට බයයි”
” මගේ දුව ඉගෙන ගන්නේ සින්හල ඉස්කෝලේ උසස් පෙල කරනවා. අගෝස්තු මාසේ විභාගේ එයා බස් දෙකකින් යන්න ඕනේ. ඉතින් කොහොමද යවන්නේ. අපිට බයයි”
” අපි දැන් ලෙඩ වුනත් කවුරුත් ඉස්පිරිතාලෙට යන්න බයයි ඒත් ළමයින්ට ලෙඩ හැදෙනකොට මොනවද කරන්නේ”
” මම වඩේ විකුනලා ජීවත් වුනේ දැන් මට රස්සාව නෑ. උපවාස අරින්න කන්න දෙයක් ගන්නවත් විදියක් නෑ”
” කීප දෙනෙක් කරපු වැරැද්දක් නිසා අපි සේරම බයෙන් පීඩාවෙන් ඉන්නේ මුළු කැකුණගොල්ල (සහරාන්ගේ බිරිඳගේ ගම) ගමම බයෙන් ඇලලිලා. අපිට අපේ අයිඩෙන්ටිය පෙන්වන්න බයයි ඒකේ කැකුණගොල්ල කියලා තියෙන නිසා”
ගෙදර හදන සතාට කෑම දෙන පිගානත් පිරිසිදු කරන මිනිසුන් වන අපි ඔවුන්ගේ කැඳ හැලියට මූත්රා කිරීමට තරම් නින්දිතයින් වූයේ කෙසේද?
බියෙන් බිරාන්තව සිටින කුඩා කොළු ගැටයින් මේ අත්දකිමින් තිබෙන්නේ තම ගෙවල් දොරවල් වලට පැමිණ කාපු බීපු තමන්ගේ යහළුවන් විසින්ම සිදු කරන ලද ප්රචණ්ඩත්වයයි
” අපි කවදාවත් හිතුවෙ නෑ අපේ යළුවෝ අපිට මෙහෙම කරයි කියලා ” ඔවුන් කඳුළු පිරි දෙනෙත් ඇතුව කියන්නේ එහෙයිනි.
මේ වයස අවුරුදු 16 , 20 තරුණ ජනයා මෙතරම් කුපිත වුනේ ඇයි ?
කුරානයට මුත්රා කිරීමට, ගිනිලෑමට තරම් නිර්ලජ්ජිත වූ ඔවුන්ට අන්ය ආගම්වලට ගරු කළ යුතු බව කෙදිනකවත් නිවසින් හෝ පාසැලෙන් කියාදී හෝ අසන්නටවත් ලැබී නැත්තේ ඇයි ?
මේ තරුණ මුස්ලිම් ජාතික කොළු ගැටවුන්ගේ මුහුණුවල තිබූ බිය, ත්රාසය කණගාටුව ඔවුන් අනාගතයේ දිනෙක කොතනකට ගෙනයාවිදැයි කිව හැක්කේ කාටද?
අවිනිශ්චිත සහ පීඩාවෙන් පිරුණු මේ ස්ත්‍රීන්ගේ අනාගතය ගැන තීරණය කරන්නේ කවුද?

සුමිකා පෙරේරා

16 මැයි 2019,