(10.45 am ) මීගමුව මාළු ලෙල්ලම අසල ඇති මහ පාලම විශේෂ සහ සුන්දර තැනකි. එක් පසෙක මෝයකට , අනෙක් පස කඩොලාන සහිත කලපුව ඒ අතර යන එන ඔරු සහ බෝට්ටු මේ සියල්ල විසින් මවන දසුන කාගෙත් සිත් සනහාලයි.
මේ අතරට පාලම උඩ සිට බිලීබාන, විසිදැල් එලා මාළු අල්ලන මිනිස්සුද එක්වෙති . ලෙල්ලම අසලින් හැරෙන කුඩා පාලම අසල නිතර විසිදැල් එලන ස්ථානයකි.
විසිදැල එක් උරහිසකට ගත් විසිදැල් කරු කාන්තාවක් සාරියක පොටවල් එකතු කරන්නාක් මෙන් දැල පිලිවෙලකට සකසා එහි ඇති නයිලෝන් ලනුවද ඒ අයුරින්ම සකස්කර ක්‍රීඩකයෙකු කවපෙත්ත වීසිකරන්නාක් මෙන් එක පැත්තකට හැරී එක් වරම තම අතේ ඇති විසිදැල මුදාහරියි
එය විශාල මලක හැඩයක් ගනිමින් කලපුවට වැටෙන දර්ශනය චමත්කාර ජනකය. මේ දෙස බලාසිටි එක් අවස්ථාවක විසිදැල් කරුවන් අසලට ගොස් කතා කිරීමට ආශාවක් ඇතිවිය .
මෙම ස්ථානයේදීම සුදත් සහ ජූඩ්ලීමා යන දෙදෙනා හමුවී සුහද කතාබහක යෙදෙන්නට අවස්ථාවක් ලැබින.
මෙදා මේ දෙදෙනාටම මාළු අල්ලා තමන්ගේ හොද්ද බොරකර ගැනීමට හැකිවූ දිනයක් විය . දෙදෙනා දෙපැත්තේ සිට විසිදැල එලයි.
ඒ අතර මා දෙපැත්තට පැන පින්තූර ගත්තෙමි .
එකවරක් එක දැලකට ලොකු ඉලත්ති 8 නෙකු ගොඩට ගත්තේ සුදත්ය.
මේවනවිට ඔහුගේ මාළු දැමූ උරය පිරී තිබින . තවත් ලොකු මාළුවෙක් ගොඩට ගත් ඔහු තවත් උරයක් ගත්තේ දෙවන මාළු වඩිය සඳහාය. ලොකු මාළුවා කර මොරල්ලා බව ඔහු කියයි .වයස 34 ක් වන සුදත් තම විසිදැල් රස්සාව ගැන මෙසේ කියයි.
මම වැඩ කරන්නෙ ලෙල්ලමේ . ඒ්කෙන් විතරක් ජීවත්වෙන්නෙ අමාරුයි . ඒනිසා අමතර රස්සාවක් විදිහට මේක කරනවා.මම අවුරුදු 5 කාලයක ඉඳල මේ රස්සාව කරන්නෙ. උදේ 10.00 ඉඳල හවස 3.00 දක්වා මම මේ ස්ථානයේ රස්සාව කරනවා.විසිදැල් රස්සාව කරන අය විශාල පිරිසක් ඉන්නවා.මේ පාලම අවට 5 ක් ඉන්නවා
ඊලඟට කතාබහට යොමු වුනේ ජූඩ්ලීමාය. ඔහු කීවේ මෙවැනි අදහසකි .
අපේ තාත්ත කළෙත් මේ රස්සාව . කලින් මම බෝට්ටුවේ රස්සාව කළා. පස්සෙ මට ලාදුරු රෝගය හැදුන.
ඉන් පස්සෙ බර වැඩ කරන්න බැරි නිසා විසිදැල් රස්සාවට බැස්ස .
දැන් මාළු අඩුයිද?
ඔව් ඉස්සර වගේ කලපුවෙ මාළු නෑ. ඒකට හේතුව කලපුවට ජරාව දාන එකයි. මේ පාලම උඩ ඉඳගෙන සමහරු ජරාව දානව. උදේ 7.00ට විතර ආවොත් බලාගන්න පුළුවන් කොයිතරම් ජරාව කලපුවට හලනවද කියල .
අද කොහොමද ? මාළු ඇල්ලුවද?
ඔව්, අදනම් හොඳයි. සමහර දවස්වලට රු 3000/ ක විතර මාළු අල්ලනවා .සමහර දාට මොකුත් නෑ.
මේ දෙදෙනාම ප්‍රකාශ කළේ කලපුවට අපද්‍රව්‍ය දැමීම නිසා ඔවුන්ගේ රස්සාවට එය ප්‍රශ්ණයක් ඇති බවයි. මේ අතර කරවල අපද්‍රව්‍යද නිසා කලපුව විනාශවී ඇති බවයි.
කෙසේ නමුත් කලපුව ලස්සන කරන විසිදැලට පැටලී විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගොඩ දමයි . මාළු කටු, ඔළු වැනි දේවල් පැටලී දැල ඉරෙන බවද ඔවුන් පවසයි . ඒනිසා කලපුවට මුදාහරින අපද්‍රව්‍ය තමන්ගේ රස්සාවට විශාල බාධාවක් බව පැහැදිළි කරයි. මේ අනුව විසිදැල කලපුව හැඩකරනවා මෙන්ම එය විනාශ කෙරෙන තත්වයන් ද නිර්මාණය වී ඇති බව කිවයුතුය .