වීදිනාට්‍යකරුවා සමාජ විපර්යකාරකයෙක් -රෝයි රොඩ්රිගෝ

0
240

FB_IMG_1574470865417ඔබ වීදි නාට්‍ය කරුවෙක් කියලා හදුන්වන එක සාධාරණ ද?

ඒහෙම හදුන්වන්න අමාරුයි. මොකද වැඩ වලදී අපි සංගීතය, නැටුම්, චිත්‍ර, රූප වගේ හැම දෙයක්ම අපි පාවිච්චි කළා. නමුත් වීදි නාට්‍යයෙන් තමයි අපි පටන් ගත්තේ. සංස්කෘතික ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී වීම තමයි අපි කළේ සහ කරමින් ඉන්නේ.

ලබන අවුරුද්දට මේ වැඩේ පටන් අරන් අවුරුදු හතලිහක් වෙනවා. ෆ්‍රෙඩී ගමගේ, සිඩ්නි මාකස් ඩයස් වගේ පිරසක් කතා කරමින් සමාජයේ යම් දේවල් වලට මැදිහත් වෙමින් හිටියා. ඒ අතරේ ෆ්‍රෙඩී සම්බන්ද වෙනවා ජනාවබෝධයට. ෆාදර් සරත් ඉද්දමල්ගොඩ, සිස්ටර් ක්‍රිස්ටීන් වගේ අය හිටියේ.

හැත්තෑ නමයේ දෙසැම්බර් 24 වෙනිදා රෑ මීගමුවේ පැරඩයිස් ප්ලේස් වල පැල්පත් ගිනි ගන්නවා. එතෙන්ට මේ අය මැදිහත්ව වැඩ කරගෙන යනකොට තමයි තේරුම් ගන්නේ මීගමුවේ ඉඩම් අහිමි, නිවාස නැති විශාල පවුල් ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒ අනුව ගම් වල කුඩා කණ්ඩායම් හැදෙනවා. මේ පිරිස් දැනුම්වත් කරන්න මොකක් හරි ක්‍රමවේදයක අවශ්‍ය වෙනවා. ෆ්‍රෙඩී අපේ කණ්ඩායමත් එකක් කතා කළා. ඒ නිසා අපි නාට්‍ය කරමු කියලා තීරණයකට ආවා.

වීදි නාට්‍ය ගැන ඒ වෙනකොට දැනුමක් අවබෝධයක් තිබුණද?

වීදි නාට්‍ය ගැන අපි දන්නේ නෑ. ගම් වලට ගිහිල්ලා නාට්‍ය කරන්න ගත්තා. ඇදුම් කියලා විශේෂ දෙයක් තිබුණේ නෑ. ඛෙරයක් කොහෙන් හරි හොයා ගත්තා. ඛෙරේ ගහලා සිංදුවක් කියලා නාට්‍ය පටන් ගන්නවා. මිනිස්සු එකතු වෙනවා. නාට්‍ය ඉවර වුනාට පස්සේ සංවාදයක් හදා ගන්නවා.

පස්සේ අපට මුණගැහෙනවා ක්ලයිව් ශාන්ත, එතකොට ඔහු ඥානාර්ථ ප්‍රදීපේ සහය සංස්කාරක වරයෙක්. ඔහු තමයි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නට්‍ය ඉතිහාසයේ අවසාන නාට්‍ය කරන්නේ ‘කදුළු ගෑස්’ කියලා. ඔහුගෙන් තමයි නාට්‍ය ගැන මූලිකව දැනුමක් ලැබුණේ.

1981 මැයි වල තමයි අපි තරුණ කණ්ඩායමක් විදිහට එකතු වෙන්නේ. අපි ධීවර දෙමාපියන්ගේ දරුවන් එක් කරගෙන සංගීත කණ්ඩායමක් හදනවා. සර්පිනා, වයලින්, සිතාර්, ෆ්ලුට්, තබ්ලා කියන සංගීත භාණ්ඩ සමග අපි හොද ඔකෙස්ට්‍රා එකක් හැදුවා. ඒ අය කවදාවත් සංගීත භාණ්ඩයක් අල්ලලා තිබුනේ නෑ. ඊට පස්සේ අපේ අයම සිංදු ලියලා ‘මාරුතයේ රිද්මය’ කියලා ප්‍රසංගයක් කළා. හෝල් එක පිරෙන්න සෙනග හිටියා. ඒක අපේ ගමනේ සංදිස්ථානයක්.

පස්සේ අපි ගම් වලට ගිහිල්ලා චිත්‍ර ඇන්දා. එතකොට ගමේ මිනිස්සු එතනට එකතු වෙනවා. චිත්‍ර ටික ඇදලා ඉවර වුණාම අපි පොඩි සංවාදයක් හදනවා.

නැටුම් කළා. නැටුම් උගන්නන්න ආව ගරුවරු නැටුම් කලාවට විශාල ලෙස ගෞරව කළා. ඒ නිසා ඒ අය සූදානම් වුනේ නෑ, පාරවල් ගානේ නැටුම් කරන්න. අපි ඒ අයවත් ආකල්පමය වශයෙන් වෙනස් කරගෙන හන්දි ගානේ, පාරවල් ගානේ නැටුම් කළා. උඩරට, පහත රට, කෝලම් මේ සියල්ල කළා. ඒවා තමයි ඉඩම් අහිමි මිනිස්සනුගේ වැඩේ ශක්තිමත්ප කරන්න අපි පාවිච්චි කරපු දේවල්.

ලංකාවේ දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවල දී ඔබේ කණ්ඩායම සංස්කෘතිකමය වශයෙන් විශාල මැදිහත්මක් කරනවා?

රටේ, ලෝකේ සිද්ධවෙන දේවල් ගැන අපි නිරන්තර සාකච්ඡාවක හිටියා. කණ්ඩායමක් විදිහට, ස්වේච්ඡාවෙන්, මුදල් බලාපොරොත්තුවකින් තොරව වැඩ කරන්න පටන් ගත්තා. වෙල්ලස්සේ උක් ගොවීන්ගේ ප්‍රශ්නය වෙලාවේ බුත්තල, මොණරාගල ප්‍රදේශ වල නැවතිලා නාට්‍ය කළා. ඒ ගම් වල මිනිස්සු පුළුවන් හැටියට අපට කන්න දුන්නා. අනේක් පුද්ගලයින්, කණ්ඩායම්, සංවිධාන පවා මේ දැවැන්ත වැඩේට හවුල් වුණේ යටි අරමුණු තියාගෙන නොවේ. සංස්කෘතිකමය වශයෙන් අපි දායක වෙනකොට තවත් අය විවිධ පැති වලින් දායක වුණා. ඊට පස්සේ කණ්ඩලමේ ප්‍රශ්ණයට, ඉරණවිල ඇමරිකන් හඩ ප්‍රශ්නයට මැදිහත් වුණා. හිගුරක්ගොඩ ගොවි උපවාසය වෙලාවේ එහේ නැවතිලා නාට්‍ය කළා. එප්පාවල පොස්පේට් නිධිය විදේශීය සමාගමට විකුණන්න යන වෙලාවේ නතර වෙලා ඉදගෙන් ජනතාව දැනුම්වත් කරමින් නාට්‍ය කළා. යුද්ධය වෙලාවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.

89 ‘බියෙන් අත් මිදෙමු’, රිචඩ් රාජිනී සැමරුම වගේ වැඩ වලදී අපි දායක වුණා. රිචඩ් රාජිනී සැමරුමේදී මොරටුවේ ඉදන් පන්දමක් අරන් විහාරමහා දේවී එකට එන්න තිබුණේ නමුත් මගදී ඒක වලක්වනවා. විවෘත්ත වීදි නට්‍ය කණ්ඩායම, ජනතා වේදිකාව ඒ වෙලාවේ මේ ඔක්කෝම ඒකාබද්ධ වෙලා හිටියේ.

පස්සේ අපි ගම්වල වැඩමුළු කරමින් සංස්කෘතික කණ්ඩායම් හදන්න පටන් ගත්තා. මීගමුව ප්‍රදේශයේ ගම් හයක, හතක අපි කණ්ඩායම් හැදුවා. ඒ අතර හිටපු වැඩි දෙනෙක් මේ ක්ෂේත්‍රයේ තවමත් වැඩ කරමින් සමාජය වඩා යහපත් තැනකට ගෙනියන්න උත්සාහ කරමින් ඉන්නවා.

89 රතු අදුම් ඇදගෙන නාට්‍ය කරන්න ගිහිල්ලා මම, රිචඩ් මානමුදලි, නෙවිල්ද සිල්වා මීගමුවේදී අත්තඩංගුවට පත්වෙනවා. විවිධ අය මැදිහත්වීම් කරලා අපිව නිදහස් කර ගන්නවා. තවත් අත්තඩංගුවට පත්වීම් තුනක් සිද්ද වුණාට පස්සේ ජනාවබෝධ කේන්ද්‍රයෙන් තීන්දුවක් එනවා ඉන්නේ නැතිව ඉක්මනට ලංකාවෙන් යන්න කියලා.

අපි ගියේ පිළිපීනයට. දවසින් දවස තව තව කට්ටිය එනවා. විශාල අවුලක හිටියේ. දුරකතන පහසුකමක්වත් නෑ. මම තීන්දු කරනවා අත්දැකීම් ටිකක් ලබාගන්නවත් කොහේ හරි යන්න ඕනේ කියලා. ඒ අනුව මම යනවා පිලිපීනයේ ප්‍රධාන දූපත් තුනෙන් එකක් වන මින්නනාවෝ දූපතට. ඒකේ තමයි කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ද නිව් පීපල් ආර්මි කියන සන්නද්ධ හමුදාව ඉන්නේ. එහෙදී මට මුණගැහෙනවා Peoples Art Foundation කියලා සංස්කෘතික කණ්ඩායමක්. ඇමරිකන් බේස් වලට එරෙහිව ඒ අය ෆයිට් කරන කාලේ ඒක. විශාල උද්ඝෝෂණ තියෙනවා. ඒවාගේ නට්‍ය කරන්න යනවා. උණ බම්බු ඛෙර, ගිටාර් වගේ දේවල් ඒ අරගල වලදී භාවිතා කළා.

එහෙ ඉන්න සංවිධාන සේරම දන්නවා ලංකාවෙන් ආව කෙනෙක් ඉන්නවා කියලා. මම හවස තැනකට ගියොත් මම උදේ කොහේද හිටියේ කියලා හවස යන තැන කණ්ඩායම දන්නවා. එහෙම ලොකු සම්බන්ධතාවයක් තිබුණා ඒ අය අතර. ශිෂ්‍යයෝ පෝස්ටර් අදිනවා, බැනර් අදිනවා. ඒවා ගහනවා. කේ.ඒම්.පී. වගේ ගොවි සංවිධාන සෙනග ගේනවා. කල්චරල් ක්ණ්ඩායම්, සංවිධාන ඔක්කෝම එක් වෙලා පොදු වැඩේට ලොකු දායකත්වයක් දෙනවා. ඇමරිකානු ජනාධිපතිගේ විශාල මපට් හදාගෙන විශාල පෙළපාලි යනවා. ඒ සම්බන්ධ වීම අපි තුළ විශල උත්තේජනයක් ඇති කරන්න හේතු වුණා.

පුවර් තියටර් ගැන, පෝරම් තියටර් ගැන සංවාද සහ පොත් පත් ඒ අයගේ පුස්තකාලයේ තිබුණා. ඒවා අපට පාවිච්චි කරන්න ලැබුණා. පස්සේ පිලිපීනයේ මැනිලා වලදී හම්බ වෙනවා PETA කියලා කණ්ඩායමක්. ඒ අයගේ නාට්‍ය, සාකච්ඡා වගේම පොත්පත් කියවන්න ලැබුණා. විශේෂයෙන් මේ කල්චරල් වැඩේ ඒ ගොල්ලෝ කොහොමද කරන්නේ කියලා බලන්න මම ගොඩාක් සංවිධාන වලට ගියා.

මැනිලා වල පාර්ලිමේන්තුවට පෙළපාලියක් එනවා. එක පැත්තකින් ගොවියෝ, තව පැත්තකින් ශිෂ්‍යයෝ. ඒක හරිම සුන්දර දර්ශනයක්. අපේ වගේම බැරියර්ස් දාලා බ්ලොක් කරනවා. එතකොට ශිෂ්‍යයෝ ටික හිමීට ඇවිදගෙන යනවා ආපහු. ටික වෙලාවකින් පොලීසියේ අය විත්ඩ්‍රෝ වෙනවා. ක්ෂණයකින් අර හැරිලා ගියපු ශිෂ්‍යයෝ දුවගෙන එනවා පොලීසියට මොකුත් කරගන්න වෙලාවක් නෑ. ඒ වගේ පුදුම උපාය මාර්ගික දේවල් අත්දකින්න අවස්ථාව ලැබුණා.

මාස හයක් පිළිපීනයේ ඉදලා මමයි, බුලත්සිංහල සහෝදරයයි ඉන්දියාවට ආවා. බැන්ගලෝරයේ අයි.එස්.අයි. ඒකේ ඉන්න කාලය තුළ පැවැතිච්චි පාඨමාලා සියල්ලටම සම්බන්ධ වෙන්න අපට අවස්ථාව දුණ්නා. 1990 ලංකාවට ආවා. එතකොට මෙහේ තත්ත්වය ගොඩාක් වෙනස් වෙලා. විෙජ්වීර සහෝදරයාව ඝාතනය කරලා තිබුණා.

ජනාතා විමුක්ති පෙරමුණ හිතුවා ජනාවබෝධ කේන්ද්‍රය ආණ්ඩුවේ හමුදාවන්ට පක්ෂයි කියලා. ආණ්ඩුවේ අය හිතුවා අපි ජ.වි.පේ.ට පක්ෂයි කියලා. ජ.වි.පේ. ගැන යම් අදහසක් තිබුණ කණ්ඩායමක් අපි අතර හිටියා. නමුත් ක්‍රියාශීලීව හිටියද කියන එක අපි දන්නේ නෑ. ඒ නිසා පොඩි අර්බුදයක් තිබුණා. සතියකට සැරයක් පොලිසියෙන් එනවා. මොකද කරන්නේ, කොහේද ඉන්නේ කියලා බලන්න. කොහේ හරි මංකොල්ලයක් වුනත් පොලීසියෙන් එනවා, ප්‍රශ්න කරනවා. බූස්සේ හිටියා නේද කියලා අහනවා. කාලයක් යනකොට ඒ තත්ත්වේ වෙනස් වෙලා ගියා. කණ්ඩායමත් විසිරුණා. අළුත් ළමයි වුණත් බය වුණා අපේ තැනට එන්න.

පරණ කණ්ඩායම ආයෙත් එකතු වුණා. ඒ වෙනකොට ජනතා වේදිකාව පවා විසිරිලා හිටියේ. අපි සියල්ල එක් වෙලා පොදු එකතුවක් හැදුවා. අපි ඒක ජනතා සංස්කෘතික එකතුව කියලා නම් කරගත්තා. ඒ හරහා අපි ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අරන් ගිය මහජන සංදේශයට සංස්කෘතික කණ්ඩායමක් වශයෙන් අපි දායක වෙනවා. ජුබිලි 2000 කියන කැම්පේන් එකට හවුල් වෙනවා. ඒ හැම අවස්ථාවකම අපට කෑම හා නවාතැන් ලැබුණා. වෙන කිසි දෙයක් අපි බලාපොරොත්තු වුනේ නෑ. යුද්ධය වෙලාවේ පදවියේ සෞඛ්‍ය ප්‍රශ්නය ගැන වැඩසටහනක් කළා. ඇම්බියුලන්ස් වල අපිව නාට්‍ය පෙන්නන්න එක්කරගෙන ගියේ. මට මතකයි බි්‍රගේඩියර් ජානක පෙරේරාත් නාට්‍ය බලන්න ආවා.

වීදි නාට්‍ය කලාවේ පෙරගමන්කරුවා වුණු හත්තෙට්ටුවේගම මහතා හා අනෙක් කණ්ඩායම් සමග අත්දැකීම කොහොමද?

පසුකාලීනව හත්තෙට්ටුවේගම මහත්තයාගේ කණ්ඩායම එක්ක අපි හවුල් වෙනවා. විවෘත්ත වීදි නාට්‍ය කණ්ඩායම, ගාලූ නඩේ, ජනතා වේදිකාව, ක්‍රිශාන්ත සේරම්ගේ බිගුසර, අපි ඔක්කෝම එකතු වෙලා පොදුවේ තැන් තැන් වල නාට්‍ය කරන්න ගියා. කොළඹ කොටුව, කුරුණෑගල වගේ තැන් වල එහෙම කළා. පස්සේ තමයි අර ජනතා සංස්කෘතික එකතුව හදා ගන්නේ.

ඇස්වාට්ටුව හන්දියේදී කාන්තා දිනේට පොලීසියෙන් එලව එලව ගැහුවා. මට මතකයි දීපානිලා හිටියා එතන. ඇස්වාට්ටුව අයිනේ තේ කඩ අස්සට රින්ගලා තමයි හැමෝම බේරුනේ.

ඒච්.ඒ.ලා, දීපානිලා වගේ අයගේ තිබුණු අබියොගවලට මුහුණදීමේ ශක්තිය පුදුමයි. එච්.ඒ.ට වැඩමුළුවක් කරන්න ආරාධනා කළාම කොහේ වුනත් ප්‍රශ්ණයක් නෑ එයා බයිසිකලේ එනවා. සල්ලි බලාපොරොත්තුවක් නෑ. ප්ලේන්ටියක් තිබුණාම ඇති. වැඩේ කරනවා. මුදල් වලට එහා ගිය සමාජ වගකීමක් අපට තියෙනවා කියන තැනට එන්න ඒ දේවල් අපිට බලපෑවා.

සෑහෙන කාලයක් ඔබ සහ ඔබේ කණ්ඩායමේ අය මේ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. නමුත් සමාජය වේගයෙන් වෙනත් පැත්තකට ගමන් කරමින් තියෙන්නේ?

ඒක හරිනේ. අපි පොඩි වැඩක්නේ මේ කරන්නේ. ඒකත් අඛන්ඩව වෙන්නේ නෑ. ප්‍රධාන ධාරවේ මාධ්‍ය භාවිතය අස්සේ අපි මේ කරමින් සිටින සංස්කෘතික බලපෑම ප්‍රබල නෑ. අපි නාට්‍යයක් කරලා මිනිස්සු වෙනස් වෙයි කියලා හිතනවා නම් ඒක මාර අපරාධයක්නේ. සමාජ වෙනසක් වෙන්න විශල ඵදඩැපැබඑ එකක් අවශ්‍යයි. අපේ එහෙම එකක් නෑනේ. මේ වෙනකොට එක එක්කෙනාගේ පුද්ගලික ඇජෙන්ඩා වලට තමයි අපි වැඩ කරමින් ඉන්නේ. මගේ ටාගට් එකට යන්නේ කොහොමද කියන එක තමයි හැමෝගෙම ඔළුවේ තියෙන්නේ. අනිකාට හෙන ගැහුවත් මට කමක් නෑ. ඒක අද සංවිධාන හැටියටත්, පුද්ගලයින් හැටියටත් එක විදිහමයි. අපි සමාජයට බයිලා කියනවා. නමුත් පැක්ටිස් එකේ නෑ. එතකොට මේ සමාජය වෙනස් වෙන්නේ කොහොමද, කොතනනින්ද? අපි වෙනස් වෙන්නේ නැතුව අනික් අයට කියනවා වෙනස් වෙන්න කියලා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නමුත් පොඩ්ඩක්වත් අනෙකාට ඇහුම්කන් දෙන්න අපි සූදානම් නෑ. අපි හයරාකී එක, පිරමිඩි එක ප්‍රතික්ෂේප කරනවා කියලා කියනවා. නමුත් අපි මේවා ඇතුළේ පිරමිඩි හදමින් ඉන්නවා.

ලෝක සමාජ සමුළුව වගේ විශාල ජාත්‍යන්තර සංස්කෘතික අවස්ථාවන් පිළිබද ඔබට අත්දැකීම් තියෙනවා?

ඒවා දැවැන්ත සංවිධානය වීම්. නමුත් අද වන විට එවැනි ලෝක තත්ත්වයන් පවා නතර වෙලා නේ. ටී ශර්ට් එක මුද්‍රණය කරන එක, තොප්පිය ඩිසයින් කරනඑක, බැණ්ඩ් එකක් අතේ බ`දින වුනත් ඒ අයගේ මේ ඔක්කෝම වෙනස්. ඔවුන්ගේ ප්‍රධාන තේමාව වෙලා තිබුණේ වඩා යහපත් ලෝකයක් ගොඩනැගිය හැකිය කියන එක. මේ සමාජ ක්‍රමය වෙනස් කරගන්න අවශ්‍යයි කියලා හිතන මිනිස්සු ලෝකේම ඉන්නවා. ෆේස් බුක් වගේ දේවල් පවා නොතිබුණු කාලෙක හුදෙකලාව වැඩ කරමින් හිටපු අයට ලෝක සමාජ සමුළුව ලොකු හයියක් වුණා. අපි කියන දේ පිළිගන්න ඒ වෙනුවෙන් වැඩ කරන මේ තරම් පිරිසක් ඉන්නවා කියලා කියලා දැනුනාම ඒක වටිනවානේ. කෑ ගහලා, ඛෙර ගහලා, සිංදු කියලා විශල කොඩි දාලා පාරවල් පුරා මහා ජන ග`ගක් එනකොට ඇස් නිලංකාර වෙනවා වගේ. ඒකේ පෙළපාලියට අමතරව වවිධ රැස්වීම් සම්මන්ත්‍රණ, සාකච්ඡා හා උද්ඝෝෂණ තිබුණා. ඒවා එක එක වෙලාවට වෙන්නේ. කැමති වැඩසටහනකට මට සහබාගි වෙන්න පුළුවන්. ඒ දවසේ ඇජෙන්ඩා එක ලැබුණට පස්සේ ඒ අදාල තැන් වලට ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්, බැණගන්න පුළුවන්.

අද වෙනකොට ඔබේ කණ්ඩායම හා අනෙක් එවැනි කණ්ඩායම් පිළිබද තත්ත්වය කෙබදුද?

අමාරුවෙන් නමුත් අපි අදත් ඒ වැඩේම කරමින් ඉන්නවා. අද සමහර අය සල්ලි නැත්නම් සම්බන්ධ වෙන්නේ නෑ. නමුත් තවම සල්ලි නෙමේ මේ වැඩේ කරන්නයි ඕනේ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. සමාජය අවුල් වෙමින් යාම අපේ වැඩ වලට සාපේක්ෂව බැලූවාම ඉතා වේගවත්. ඇත්තටම කියනවා නම් අපි එදාට වඩා වැඩියෙන් වැඩ කරන්න අවශ්‍යයි. නමුත් ඒ කාලේ තිබුණු කණ්ඩායම් අද නෑ. හැදෙනවා, විසිරෙනවා වගේ එකක් වෙමින් තියෙන්නේ. හත්තෙට්ටුවේගම මහත්තයාලාගේ කණ්ඩායම තාම කරගෙන යනවා. නමුත් අර තරම් ගැම්මක් දැන් නෑ. මොකද පස්සේ කාලේ දේශපාලන පක්ෂ වලටයි, කොම්පැනි වල ප්‍රොමෝශන් වලටයි මේ කලාව පාවිච්චි කරන්න ගන්නවා. එතකොට වැඩේ එතනම ඉවරයිනේ.

නාට්‍ය කලාවට විකල්පයක් තමයි වීදි නාට්‍ය කියන්නේ. වීදි නාට්‍යයේ අන්තර්ගතය ඊට සාපේකෂව වෙනස් වෙන්නේ නෑ. මොකද කාලීන දේවල්නේ අපි කතා කරන්නේ. නමුත් ක්‍රමවේදය යම් පමණකට වෙනස් වෙනවා. ග්‍රීසියේ රවුම් රංගභූමියම තමයි අපිත් පාවිච්චි කරන්නේ. දවුල ගහලා සින්දුවක් කියලා, වටේ ගියහම මිනිස්සු රවුමක් හැදෙන විදිහට සෙට් වෙනවා. කෝලම් නාට්‍ය වලත් ඕකමයි. ශාන්තිකර්ම වලත් ඒකමයි.

වීදිනාට්‍ය කරුවන්ට තමන් කියන දේට පටහැනිව ජීවත් වෙන්න බෑ. අපි සමහර බහුජාතික සමාගම් වලට එරෙහිව නාට්‍ය කරලා ඒ අයගේ නිෂ්පාදන ම පාවිච්චි කරනවා නම් ඒකේ අවුලක් තියෙනවා. චිත්‍රපටයේදී, වේදිකාවේදී කලාකරුවාට ඒ නිදහස තියෙනවා. ඔහු හුදු නළුවෙක් විතරයි. නමුත් වීදිනාට්‍යකරුවා සමාජ විපර්්‍යකාරකයෙක්.

සේක්ෂ්පියර්ගේ ජුලියස් සීසර් වගේ නාට්‍යයක් ගත්තහම, රාජ්‍ය කියන්නේ මාකක්ද, පුරවැසියා කියන්නේ මොකක්ද? කියන ප්‍රශ්ණය කතා කරනවානේ. බෘෘටස් සීසර්ව මරලා මිනිය වේදිකාවට ගෙනහම කතා දෙකක් තියෙනවා. එකක් බෘෘටස්ගේ, අනික මාර්ක් ඇන්ටනීගේ. දෙදෙනාම සීසර්ගේ සමීපතමයන්. බෘෘටස් තමයි මිනීමරුවා. මාර්ක් ඇන්ටනී බෘෘටස්ට එරෙහිව ඉන්නේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අනුව මාර්ක් ඇන්ටනීටත් කතවක් කරන්න දෙනවා. පළමු කතාව කරන්නේ බෘෘටස්. කලබල වෙලා ඉන්න මිනිස්සුන්ට බෘෘටස් කියනවා. මම සීසර්ට ආදරේ නොකළා නෙමෙයි, නමුත් මම ඊට වඩා රෝමයට ආදරේ කළා. ඔබ අතරේ කවුරුහරි ඉන්නවාද වහලෙක් වෙන්න කැමති. නැත්තන් නීචයෙක් වෙන්න කැමති, අන්න එයාටයි මම මේ කතා කරන්නේ කියලා. මිනිස්සු කෑ ගහනවා බෘෘටස්ට ජය වේවා කියලා. මාර්ක් ඇන්ටනී එනවා. දැන් මිනිස්සු ඉන්නේ බෘටස්ගේ පැත්තේ. එයා කියනවා බෘෘටස් මගේ හොද මිත්‍රයෙක්. මම ඔහුට ආදරෙයි. හැබැයි ඔහු චෝදනා කරනවා, සීසර් අධිරාජ්‍යයෙක් වෙන්න උත්සාහ කළා කියලා. මම තුන් පාරක් සීසර්ට ඔටුන්න පිළිගැන්නුවා. නමුත් ඔහු ප්‍රතික්ශේප කළා. අධිරාජ්‍යයෙක් වෙන්න උත්සාහ කළා ඔහු ඒක ප්‍රතික්ශේප කරයිද? මාර්ක් ඇන්ටනීට ජයවේවා කියලා මිනිස්සු බෘෘටස්ව මරන්න එලවාගේන යනවා. බෘෘටස්ලාට ඕන වෙන්නේ සීසර්වාදය පරාජය කරන්න. නමුත් අවසානේ ආයේ බලයට එන්නේ සීසර් කෙනෙක්.

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

Anidda Newspaper