වෘක්ෂයක් අභියස ජීවන අරගලයේ යෙදෙන වින්කල් බාස්.!

0
517

IMG-20190916-WA0008මීගමුව , කුට්ටිදූව මාළු වෙළඳපලට යන පාරේ ඇති මංසන්ධියේ කුඩා මල්ලක යතුරු කිහිපයක් තබාගත් කුඩා මිනිසෙකි. ඔහු තම ආයුධ මල්ල පසෙක තබාගෙන අසල තාප්පය උඩ හිඳගෙන සිටියි. ස්වල්ප වේලාවකින් බයිසිකල් දෙක තුනක් එහි නතරවේ. ඉන්පසුව ඔහු තම මල්ල දිගහැර වැඩට බසී. දැන් ඒ ස්ථානය වින්කලයක් බවට පත්වේ.
මා දන්නා තරමින් මේ වර්ගයේ බයිසිකල් හදන ස්ථාන මීගමුවේ ඇත්නම් ඒ මේ වින්කලය පමණි .
යම් වේලාවක් බලා සිට ඔහු සමඟ කතා බහ කරන්නට අවස්ථාවක් ලැබින. ඔහුගේ පුද්ගලික විස්තර ටිකක් විමසා සිටියෙන් කුඩා අවදියේ සිට අතීතයේ තම පියාගෙන් ගුටිකමින් යහළුවන් සමඟ හැමිල්ටන් ඇලේ නාන්න ගිය විස්තර පැවසීය . ඒසමඟ අනෙක් දේවල් වැඩ කරන ගමන්ම ඔහු විස්තර කළේ් මෙසේය.මගෙ නම මහේන්ද්‍රන් . දැන් වයස අවුරුදු 56 ක්. බැන්දෙ නුවරින් . එයාගෙ නම මහාලිංගම් සරෝජිනී. දරුවො 4යි. පුත්තු 3යි, දුවල 1යි. දැන් අපිත් එක්ක ඉන්නෙ බාලපුතා විතරයි . අනෙක් තුන්දෙනාම බැඳල . මට සමහරු කියන්නෙ බාබු කියල . තවත් අය කියන්නෙ මයිකල් ජැක්සන් කියල .

ඇයි මයිකල් ජැක්සන් කියන්නෙ ?

මම විනෝදෙන් ඉන්නෙ . මොනවහරි උත්සවයක් තිබුනොත් , ෂොට් එකක් දාගත්තොත් ඩාන්ස් කරනවා. කව්රුත් කැමතියි ඒකට. ඒකයි ඒ නම කියන්නෙ .
වින්කල් රස්සාවට ඉස්සෙල්ල මොනවද කළේ?

තරුණ කාලෙ එක එක දේවල් කලා. මාළු ඇල්ලුවා . බෝට්ටුවල ගියා . පස්සෙ ගාමන්ට් එකක තමයි රස්සාව කළේ. සිනෝටෙක්ස් කියන මේ ගාමන්ට් එකේ අවුරුදු 5 ක් වැඩ කළා.
මේ රස්සාවට ආවෙ කොහොමද ?

ඒක අහම්බෙන් වුනු දෙයක් . මෙහෙම රස්සාවක් ගැන මම හිතල තිබුනෙ නෑ. ඉස්සර කොතලාවල පාලම පහල වින්කලයක් තිබුනා . මම එතනට යනව විනෝදෙටත් එක්ක. මොකද එතන දාං අදිනවා. මමත් අදිනවා . නැත්නම් බලා ඉන්නවා . අයිතකාරයත් දාං අදිනවා. ඒ වෙලාවට බයිසිකලයක් ආවොත් “බාබු අර බයිසිකලය බලපං” කියල අයිතිකාරය මට කියනව. මේ විදිහට තමයි මේ වැඩේ ඉගෙන ගත්තෙ. පස්සෙ මගෙ ගාමන්ට් රස්සාව නතර වුනහම මම දෙවෙනි පුතත් එක්ක යතුරු ටිකක් අරගෙන මෙතෙන්ට ආව. දැන් අවුරුදු 8 ක් විතර වෙනව මේ රස්සාව පටන් අරගෙන .
මේ රස්සාව කොහොමද ?
මේක හොඳයි . මුල් කාලෙ මට තනියෙන් කරන්න බැරි තරමට වැඩ ආව. සෙනඟ එන දවස් වලට රු. 5000/ ක් විතර හම්බ වෙනව. සමහර දවස් වලට මොකුත් නැතුවත් යනව. සාමන්‍ය දවස් වලට රු. 1000/, 2000/, 3000/ වගේ හම්බ වෙනව.ජීවිතේ කොහොමද ?
ජීවිතේ සතුටින් තමයි ඉන්නෙ , මගෙ බිරිඳ ,දරුවන්ගෙ දරුවො එක්ක . හැන්දෑවට TV එක බලනව. අතට කීයක් හරි හොයාගෙන විනෝදෙන් ගතකරවා. අපිට ප්‍රශ්ණ නෑ.
අපි හැමෝම ලෝකෙට ආවෙ රඟපාන්න . රඟපෑම අවසන් වුනට පස්සෙ අපි යන්න ඕනෙ. ස්කෝලෙ යනව, රස්සාවට බස්එකේ යනව. වැඩ කරනවා අන්තිමේ සේරම දාල යන්න වෙනව.මේ අතර ඔහු මගෙන් ප්‍රශ්ණයක් අහනව. ඔයාට වැඩියෙන් ආදරේ කව්ද ?

මම අම්මා , තාත්ත ආදී වශයෙන් කිව්වා . බිරිඳට තමයි තමන්ගේ ආදරය තිබිය යුත්තේ කියලයි ඔහු කියන්නෙ . “තමන්ගේ අසනීපයකදී, අවසන් අවස්ථාවේදී පවා ලඟින් ඉන්නෙ බිරිඳයි. ඒනිසා ඇයට තමයි අපි ආදරය කළ යුත්තේ . ”
ඔහු කිව්වෙ එහෙමයි .
අවසන් වශයෙන් මම ඉල්ලීමක් කළා පොඩි ඩාන්ස් එකක් දාන්න කියල . අසනීප තත්වයක් තිබුනු නමුත් ඔහු ඒ ඉල්ලීම ඉටු කළා .
අවසානයේදී මේ කුඩා මිනිසාට තම ජීවන අරගලය සඳහා මග හැදුනෙ අර කුඩා දාං ලෑල්ල නිසා කියල කිව්වොත් නිවැරදියි.