වෘත්තිය සමිති ව්‍යාපාරයේ ජේෂ්ඨයෙකු වන පෝලියර් ගුණවර්ධන අපෙන් සමුගනියි !

0
150

පොලියර් 1ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෝලියර් ගුණවර්ධන මහතා අද අළුයම මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වීය.
මාස කීපයක් රෝගාතුරව සිටි පෝලියර් ගුණවර්ධන මහතා මිය යන විට 74 වන වියේ පසූවූ අතර ඔහු  ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් මෙරට ගුරු විදුහල්පති සේවාවන් සඳහා සුවිශේෂ වැඩ කොටසක් කල පුද්ගලයෙකි.
සමාජවාදී ජනතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පෝලියර් ගුණවර්ධන පුහුණු ගුරුවරයෙකුව සිටියදී වාමාංශික දේශපාලනයට සම්බන්ධ විය.
ඔහු, උපන් ගම මාතර අකුරුස්ස මුල්කොට ගෙන  තරුණ කාලයේදීම කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී දේශපානයට සම්බන්ධවූ අතර ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ  අම්පාර දිස්ත්‍රික්කයේ ලේකම් ලෙස පත්වී ඉන් අනතුරුව එහි අභිවෘද්ධීය වෙනුවෙන් කැපවී ක්‍රියාකරමින් පසුව ජාතික ගුරු සංගමයේ ඉහල තනතුර සදහා පත්ව තිබුණි.
ඔහුගේ දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ   අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි අතර   ,”ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය”
සැකසීම සදහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කල ජේෂ්ඨ තම ගුරු නායකයෙක් විය. පෝලියර් ගුණවර්ධන මහතා  1980 වැඩවර්ජනය මෙහෙයවු නායකත්වය තුල ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටු කලේය.
අසුව දශකයේදී  උතුරේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුරු සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ එච්.එන්. ප්‍රනාන්දු මහතා සමග එක්ව පෝලියර් ගුණවර්ධන මහතා විසින් ‘‘ දේශපාලන සිරකරුවන්  නිදහස් කරගැනීම සදහා වූ ව්‍යාපාරය‘‘ දියත් කරමින් වෘත්තිය සමිති මට්ටමින් පෙරමුණ ගෙන ක්‍රියාකාරී විය.

ශ්‍රී ලංකාවේ  ජාතික ප්‍රශ්නය, දෙමළ , මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්   ක්‍රියාකාරී වූ  විවිධ වාමාංශික පෙරමුණ වල ක්‍රියාකාරී සාමාජකයෙකු වූ පෝලියර් ගුණවර්ධන මහතා මිය යන තෙක්ම ජාතීන්ගේ  සවයං නීර්ණ අයිතිය  පිළිබඳවූ  මූලධාර්මික එකඟතාවයන් ⁣වෙනුවෙන් පෙනී සිටිනු ලදී. 

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෝලියර් ගුණවර්ධන මහතාගේ  දේහය  හෝමාගම ,ජල්තර රජයේ සේවක නිවාස යෝජනා ක්‍රමයේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු  ඉරිදා සවස 5.00 ට හබරකඩ  පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතය.