වෙඩිල්ලක්සේ ගත් උත්සාහය කෝටිපතියෙකු බිහිකරයි !

0
196

Anura 1

ඔහු  ඉතා  වේගයෙන්  ව්‍යාපාරික  සමාජය  අභිබවනය  කරමින්  කෝටිපතියෙක්  බවට  පත්විය.  නමුත්  තම  ගැමිකම  අමතක  නොකර  හමුවන  සෑම  අයෙකුටම  අයියා,  මල්ලි, පුතා  ,  දරුවො,  නැන්ද,  මාම  ආදී  වශයෙන්  අමතයි.  සාමාන්‍ය  ගැමියෙකු  සේ  මිගමුව  දළුපත  ගමේ  ගෙවල්  වල  ඇවිදියි .  ඔහු  නිදහස්ය,  විවෘතය,  විනෝදකාමීය,  කේන්ති  ගිය  තැන  දැඩිය.  ඔහුට  පාරම්පරිකව  උරුමවූ  බූදලයක්  නොතිබින.  නමුත්  ඉලක්කය  සපුරා  ගැනීම  උදෙසා  සියළු  බාධක  සමඟ  සටන්  කළ  ඔහු  super  sonic  මහා  ව්‍යාපාරයේ  අධිපති  අනුර  ප්‍රනාන්දුය.  මීගමු  ව්‍යාපාරික  චරිත  පිළිබඳ  ලියැවෙන  ලිපිමාලාවේ  එක්  සුවිශේෂී  පුද්ගලයෙකු  ලෙස  සැලකෙන  අනුර  මහතා  හමුවී  කථාබහක  යෙදීමේ  අදහසින්  ඔහුගේ  කොච්චිකඩේ  ඇති  ව්‍යාපාරික  ආයතනයට  ගොඩවැදුනෙමු.  වැඩ  අධික  කලබලකාරී  පරිසරයක  වුවද  අපවිසින්  ඉදිරිපත්කළ  ප්‍රශ්ණ  මත  ඔහු  තම  ජීවිත  අත්දැකීම  විස්තර  කළේ  මෙසේය.

ඔබේ  පවුලේ  විස්තර  සහ  පාසැල්  අවධිය  කොහොමද?

මම  1961  දි  උපත  ලැබුවෙ  කුරුණෑගල  මහ .රෝහලේදි.  මගෙ  අම්ම  මැගිලින්  ප්‍රනාන්දු,  තාත්ත  කලමුල්ලගේ ඉසිදෝරු  ප්‍රනාන්දු,  මගෙ  බිරිඳ  නිලන්ති  පෙරේරා.  මට   වැඩිදුර  අධ්‍යාපනයට  යොමුවෙන්න  හැකියාවක්  තිබුනෙ  නෑ.  පවුලෙ  බර  වැඩිනිසා  NCGE  විභාගයෙන්  පස්සෙ  ජීවත්වීමේ  අරගලය  පටන්  ගත්ත.  වෙළඳාමට  තමයි  අවධානයක්  දුන්නෙ.  පාසැලේ  ප්‍රාග්වෘතිය  විෂය  කරන  නිසා  ඒදැනුමත්  යොදා  ගැනීමට  මම  අදහස්  කළා.  ඒ  අනුව  කොහු  අරගෙන  ලණු  ඇඹරුව. ඒවා  තැනින්  තැනට  ගෙනිහින්  විකුණුව.  ඒ  වගේම  තේ කොළ  පැකට්  කරල  විකුණුව.පාසැල්  යන  අතරතුර  තමයි මේව  කළේ.  මට  සහෝදර  සහෝදරියො 7දෙනෙක්  ඉන්නව.  ඒ  අය  නඩත්තු  කිරීම  අපහසුවෙන්  හරි  කරන්න  එපායැ.  මේ  නිසා  මම  වැඩිදුර  අධ්‍යාපනයට  යොමුවුනේ  නෑ.අදත්  නෑදෑයින්ට,  සහෝදර  සහෝදරියන්ට  උදව්  කරගෙන  මගෙ  ගමන  යනවා.anura 2

පාසැල්  අවධියෙන්  පස්සෙ..

පාසැල්  ගමන  නතරවුනාට  පස්සෙ  පිටකොටුවෙ  තොග වෙළඳුන්ගෙන්  එළවළු  ගෙනැවිත්  දිනපතා දළුපත  පල්ලිය  ලඟ  සහ  ඉරිදා  පොළේ  විකුණුවා.  ඒක  සෑහෙන  සාර්ථක  වුනා.  ඒවෙනකොට  මගෙ  වයස  අවුරුදු  19ක්  විතර  ඇති. මේ  තත්වයට   ඊර්ෂ්‍යා  කළ  අය  තමන්ගෙ  මඩ ප්‍රහාර,  අවලාද   ,  බොරු  ප්‍රචාර  පටන්  ගත්ත. .ආරම්භයේදී  පොඩි  කලකිරීමකුත්  දැනුන.  මේ  තත්වයන්  නිසා  කලක්  මොකුත්  නොකර  නිකං  හිටිය.  නමුත්  මම  සමාජගතවෙල  වැඩියෙන්ම  නරක  අය  සමඟ  ඇසුරට වැටිල  කටයුතු  කළා. සූදු  කෙලින,  මත්පැන් බොන  ,සහ  පාතාලයට  සම්බන්ධ  අය  තමයි  වැඩියෙන්  ඇසුරු  කරන්න  ලැබුනෙ. මම ඒවයිනුත්  පාඩම්  ඉගෙන  ගත්තා.  නමුත්  මට  ඉලක්කයක්  තිබුණා.  ඒනිසා  නැවතත්  මගෙ  ගමන  පටන්  ගත්තා.ඒ  අනුව  මාළු  වාඩියකට  ගිහිල්ල  වතුර  ඇද්ද . එතනින්  මට  රු. 80/  ලැබුන  පඩිය  විදිහට.  මේ  මුදල්  රු.100/,  200/,  300/  එකතු කරල  ග්‍රාමීය බැංකුවේ  දැම්ම.

ඊට  පස්සෙ  රු.එක්දහස්  ගානකට  බයිසිකලයක්  ගත්ත.ඒ  කාලෙ  අපේ  ගමේ  පාපැදි  වුනත්  තිබුනෙ  පවුල්  10කට  එකක්  වගේ  තමයි.  තාත්තට  ලොකු  පඩියක්  ලැබුනෙ  නෑ.  එයා  මේසන්  බාස්  කෙනෙක්  ලෙස  වැඩ  කළා.  රු. 7/ක්, 8/ක්  වගේ ගානක්  තමයි  ලැබුනෙ.  අම්ම  නිතරම  මට  ඉතිරිකිරීම  සඳහා  උනන්දු  කළා.  ඒනිසා  සුළු  මුදල  හරි  කැටයකට  එකතුකළා.  මේ  අතරෙදි   ඊර්ෂ්‍්‍යාකාරයො  පිල්ලෑව  පාරෙ  එක  තැනකදි  මගෙ  බයිසිකලය  කෑලිවලට  කඩල දැම්ම.  ඊට  පස්සෙ  පයින්  සහ  බස්එකෙන්   ගිහිල්ල  තමයි  එළවළු,  පලතුරු  විකිණීම  කළේ.  එහෙම  කරල  රු.  5000/කට  මෝටර්  බයිසිකලයක්  ගන්න  පුළුවන් වුණා.  මේ  වෙනකොට  මමරු.  20,000/  විතර   මුදලක්  ඉතිරිකරගෙන  තිබුණා.

වෙළඳාම්   කටයුතු  දියුණු  කරගන්න  කව්රුහරි  උදව්  කළාද?

මට  මේ  කාලෙ  මුනගැහුන  මුස්ලිම්  යාළුවෙක්.  එයා  කිව්ව  ඉන්දියාවට  ගිහිල්ල  රෙදි  ගෙනාවොත්  විකුණගන්න  පුළුවන්  කියල.  ඒ  අදහස  හොඳයි  කියල  හිතුන  නිසා  මම  මෙහෙන්  සුවඳවිලවුන්,  සබන්  ,සාදික්ක   වලේ  දේවල්  ඉන්දියාවට  ගෙනිහින්  විකුණල  රෙදි  ගෙනැහිල්ල  පිටකොටුවෙ,  මීගමුවෙ  වෙළඳාම්  කළා.  ඒක  ඉතා  සාර්ථක  තත්වයට  දියුණු  වුණා.  ඊලඟට  රු.65000/කට  වෑන්රථයක්  ගත්තා.  මේ  විදිහට  මම  සාර්ථක  වෙද්දි   සමහරු  තුළ  සැකයක්  ,  කුතුහලයක්  ඇතිවුනා  මේ  සාර්ථකත්වය  ගැන. නමුත් 1985  වසරෙ  සමාජෙ   නරක  වෙළඳාම්   ආදිය  ව්‍යාප්ත  වී  තිබුනෙ  නෑ. ඒවුනත්  මට  විරුද්ධව  පෙත්සම්  ගැහිල්ල  පටන් ගත්තා.  නැවතත්  රු.  1,25000/කට  කාර්  එකක්  ගත්තා.  මීලඟට  අවුරුද්දකින්  විතර  රු. 2,75000/ක්  අරගෙන  ගියා  මාන්නප්පෙරුම  සේල්  එකට.  ඔවුන්  පුදුමඋනා,  සැකයකුත්  ඇතිවුනා  පෙඩි  කොල්ලෙක්  මේවගේ  මුදලක්  අරගෙන  කාර්එකක්  ගන්න  යනඑක  ගැන.  නමුත්  මම  කාර්එක  ගත්තා.  ඒක  ඒ  වෙකොට  තිබුනු  හොඳම  කාර්  එකක්. දුකසේ  හරිහම්බ  කරගත්  සල්ලි  වලින්  පාපැදියකින්  ආරම්භ  කළ  ගමන  තුළ  වාහන  ගනනාවක්  තබාගෙන  ව්‍යාපාර  කටයුතු  කරන  තත්වයට  පත්වුනා.1991  දි  මට ව්‍යාපාරික  කටයුත්තක්  සඳහා  සිංගප්පූරුවට  යන්නට  අවස්ථාවක්  ලැබුන.    එහෙදි  මට  යාළුවෙක්  හමුවුනා.  ඔහු වාහන  අමතර  කොටස්  අපනයන  කරන  ව්‍යාපාරිකයෙක්.  එයාගෙ  ආභාෂය  එක්ක  මට  ලොකු  ගමනක්   යන්න  පුළුවන්  වුනා.   ඒ  ගමන  තමයි  මේ වෙනතෙක්   යන්නෙ. ඒ  ගමනෙ  තීරණාත්මක  තැනක  දැන් මම  ඉන්නවා.  අද  ජපානෙ  අපේම  කියල  ව්‍යාපාරික  ආයතනයක්  පවත්වාගෙන  යන්නෙ ඒ  අනුවයි. අපි  එහෙ  ඉඳගෙන  වෙන  රටවල් (  අප්‍රිකාව  වගේ)   සමඟ  අපනයන  කටයුතු  කරගෙන  යනව.

 මේ  වෙනකොට  මුහුණදුන්  අභියෝග  මොනවද?

1989  වසරෙදි  විවිධ  ප්‍රශ්ණ  සහ  අභියෝග  වලට  මුහුණ  දුන්නා. පෙත්සම්  වැඩි වැඩියෙන්  ගහන්න  පටන්ගත්තා.  මම  ඒකාලෙ  දේශපාලන  වශයෙන්  ලැදිව  හිටියෙ  ශ්‍රි.ල.නි.ප.යට  මේ  වෙනකොට  බලයෙ  හිටියෙ යූ ඇන් පී  එක  ඒකත්  මට  නරකට  හිටිය.  එ.ජා.ප.  ප්‍රාෙද්ශීය   නායකත්වයෙන්  මට  නිතර  තර්ජන  ආව.  අපේ  ගේ  වටකළා.  රට  යද්දි   ගුවන්තොටුපලේදි  මාව  චෙක්  කරන්න  පටන්  ගත්තා.  දෙපාරක්  අත්අඩංගුවට  ගත්තා.  එක්  අවස්ථාවක  මාව වැටුනෙ  සිරගතවූ  විශ්ව විද්‍යාල  ශිෂ්‍යයන්  අතරට.  ඒක  ලොකු  අත්දැකීමක්  වුනා.  බය  කියන  එක  මට  ඇතිවුනා  වගේම  බය  මගෙන්  ඉවත්වුනා.  දැන්  මම  කිසිදේකට  බය නෑ.

අද  සිටින  තත්වය  ගැන  ඔබේ  අදහස.

පවුලේ  සාමාජිකයින්  හත්දෙනෙක්  නඩත්තු  කරමින්  ,   සේවකයින්  පනහකගේ පමණ  රැකියාව  සහතික  කරමින්  ආ  මේ  ගමන  ගැන  අද  මම  හුඟක්  සතුටින්  තමයි  ඉන්නෙ. නමුත්  එදත්  අදත්  විශාල  කැපකිරීමක් තුළ  තමයි   ජීවිතේ  ගෙවෙන්නෙ.