වෙළඳපලක් වෙනුවට වල්බිහිවූ බිමක් !බොරු පොරොන්දු නිසා රැවටුන ජනතාවක් ….

0
91

මීගමුව, කාමච්චෝඩය ප්‍රදේශයේ පොදු වෙළඳපලක් වශයෙන් තිබුණු ඩඩ්ලි සේනානායක වෙළඳපල කඩා දමා වසර ගනනාවක් පසුවී ඇත. එහි වෙළඳුන්ගේ කැමැත්තටද පිටුපාමින් කරන ලද මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා ඉතිරි වී ඇත්තේ වල්පැල වලින් පිරි බිමක් පමණි. පාලකයින්ගේ කතාව තුළ මෙම ගොඩනැගල්ල වෙනුවට සම්පූර්ණවූ කඩකාමර සහිත ගොඩනැගිල්ලක පොරොන්දුවක් තිබුණු බවත් , නමුත් අද එය සුරංගනා කතාවක් පමණක් වී ඇති බවත් පාරට වැටුනු එම වෙළෙන්දෝ පවසති.

ඔවුන් ජීවිකාව කර ගත්තේ මෙම ගොඩනැගිල්ල තුළ කරන ලද වෙළහෙලඳාම් කටයුතු මගිනි. නමුත් අද ඔවුන්ට ජීවත්වීමේ මාර්ගය ඇහිරී පාරට වැටෙන තත්වයට පත්වූයේ පාලකයින්ගේ අමන තීරණ සහ පොරොන්දු නිසාය.

මෙම ගොඩනැගිල්ල කැඩීමට එරෙහිව විරෝධතාවයක් තිබුනද, එය තම නිලයේ බලයෙන් යටකර ගැනීමට පාලකයින් සමත්විය. මෙවැනි තත්වයක් වෙළෙන්දෝ බලාපොරොත්තු නොවීය. ඔවුන්ට තාවකාලිකව හෝ තම වෙළඳාම් කටයුතු කර ගැනීමට ස්ථානයක් නැතිවිය.

ඒ වෙනුවට තහඩු වලින් කරවන ලද කාවකාලිකව ස්ථානයක් ගොඩනගා ඇති නමුත් එහි කුලිය තමන්ට දරා ගත නොහැකි බවත්, එසේම වෙළඳාම සඳහා මෙම ස්ථානය නොගැලපෙන බවත් මෙම කඩ කාමර වල සිටින වෙළෙන්දෝ පවසති.

මීගමු නගරයේ ගොඩනැගිලි හැදෙති.ගොඩනැගිලි කැඩෙති. ඒ ජනතා අවැසිතා මත නොව පාලකයින්ගේ අභිමතය අනුවය. පොදු දේපල මෙසේ පරිහරණය කිරීම ගැන නගරයේ ඇති සංවිධාන හෝ සමිති සමාගම් තුළින්ද කිසිදු විරෝධතාවයක් නොතිබීම වගකිවයුත්තන්ගේ එකී ක්‍රියාවන් සඳහා පහසුවක් වී ඇත. නමුත් දිනෙක ඔවුන්ට මේ සියල්ල සඳහා පිළිතුරු දීමට සිදුවනු ඇතිබව අපගේ විශ්වාසයයි.
සැම්සන් ඥානසිරි