..
රජයේ වෛද්‍ය සේවාවෙන් විශ්‍රාම ගිය, එහෙත් තවමත් පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදී සිටින විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ අපරීක්ෂාකාරී බව හා නොසැලකිල්ල හේතුවෙන් මීගමුව ,කට්ටුව ප්‍රදේශයේ විසු 65 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බවට වාර්තා විය.
මීගමුව, කට්ටුව, ප්‍රදේශයේ රා තැබෑරුම ආසන්නයේ නැතහොත් තැපැල් ලිපිනය අනුව,කොච්චිකඩේ, නැගෙනහිර පළඟතුරේ අංක 182/03 දරණ නිවසේ පදිංචි වී සිටි, එක් දරු පියෙකු වූ ජයකොඩි ආරච්චිගේ ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතා මෙලෙස අවාසනාවන්ත ලෙස ඊයේ (28/03/2025) උදෑසනදී මීගමු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
ඔහුගේ දකුණුපස ඇතිවූ හර්ණියා රෝීගී තත්ත්වයකට මීගමුව ආවේ මරියා පුද්ගලික රෝහලේදී සිදු කරන ලද ශල්‍යකර්මයක් ඉතාම නොසැලකිලිමත්ව හා අපරීක්ෂාකාරී අන්දමින් සිදුකිරීම නිසා මෙම මරණය සිදුවී ඇතැයි ඔහුගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් ඇතුළු ඥාතිමිත්‍රාදීන්ද චෝදනා කරති.
ඔහුගේ බිරිඳ වන ඩබ්. ජසින්තා තමෙල් මහත්මිය ප්‍රකාශ කරන්නේ සුළු ව්‍යාපාරිකයකු වූ තම සැමියා වන ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතා වෙනත් කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව නිරෝගී දිවිපෙවෙතෙක් ගත කළ අයෙකු බවයි. ඔහුව උදරයේ දකුණු පස ඇතිවී තිබූ හර්නියා රෝගී තත්ත්වයක් සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීමට පසුගිය 18 වැනි (18/03/2025) අඟහරුවාදා දින මිගමුව, ආවෙි මරියා පුද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ .හර්නියා රෝගී තත්වයකට සිදු කරනා ශල්‍යකර්මය සිදුකර දිනක් හෝ දින දෙකක් ඇතුළත රෝගියාට රෝහලින් නික්ම යාමට අවසර ලැබුණත් , ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාව දින 04 ක් එනම් මාර්තු 22 වෙනිදා දක්වාම එම පුද්ගලික රෝහලේ තබාගෙන ප්‍රතිකාර සිදුකර තිබේ. ඔහු එම පෞද්ගලික රෝහලින් නික්ම 22 වෙනි දින නිවසට පැමිණියත් ඉන්පසු දින 02 ක් පසුවන විට ඔහුගේ උදරය ඇතුළතින් දැඩි වේදනාවක් ඇතිවී තිබේ. එලෙසම ඔහුට නිසි ලෙස මුත්‍රා පිට කිරීමට පවා නොහැකි වී තිබිණි. තවද ඔහුගේ ශරීර ශක්තිය ද යම් ප්‍රමාණයකින් අඩපණ වී ශරීර ශක්තිය ද ක්‍රමයෙන් දුර්වල මට්ටමකට පත්ව තිබිණි.
ඒ අනුව ඔහුව පසුගිය මාර්තු 24 වැනි දින සවස නැවත වරක් ඔහුට හර්නියා ශල්‍යකර්මය සිදුකළ මීගමුව ආවේ මරියා පෞද්ගලික රෝහලට ඇතුලත් කර තිබේ. ඒ අවස්ථාවේදී එම පුද්ගලික රෝහලේ සේවයේ යෙදී සිටි ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී සිදු කරන ලද ස්කැන් පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඔහුගේ හර්ණියා රෝගී තත්ත්වය සඳහා ශල්‍ය කර්මය සිදු කිරීමට පෙර එම හර්ණියා තත්ත්වය පුපුරා ගොස් එයින් විසිරී ඇති සැරව අභ්‍යන්තරව විසිරී ගොස් ඇති බවත්, එම සැරව ඉවත් කිරීමක් එම පුපුරා ගිය ස්ථාන වලට කිසිදු නිසි ප්‍රතිකාරයක් සිදු නොකොට හර්නියා රෝගී තත්වය සඳහා භාවිතා කරන නෙට් එකක් පමනක් දමා නොසැලිකිළිමත්ව හා අපරීක්ෂාකාරීව එම ශල්‍යකර්මය සිදුකර ඇති බවය
එවැනි තත්ත්වයක් තුළ එම සැරව මගින් ඇති වූ විෂබීජ වකුගඩු වෙත ඇදී යාමක් සිදුව ඇති බවත් එවැනි තත්ත්වයක් ඔහුගේ ජීවිතය කෙරෙහි දැඩි අවදානම් සහිත තත්ත්වයක් ඇති කළ හැකි බවත් එම රෝහලේ වෛද්‍යවරු හඳුනාගෙන තිබුණි.
ඒ අනුව එම පුද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ ඉතාම ඉක්මනින් ඔහුව මෙම පුද්ගලික රෝහලට වඩා පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මෙවැනි අවදානම් සහිත තත්ත්වයකින් පසුවන රෝගියෙකුට ලබා දිය යුතු කඩිනම් ප්‍රතිකාර ආරම්භ කිරීමට අවශ්‍ය බවය.
මෙහිදී අවේ මරියා පුද්ගලික රෝහලේ දැනුම්දීම මත මේ ශල්‍යකර්මය සිදු කළ ඩී.යාපා නමැති විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාද මේ ස්ථානයට පැමිණ තිබේ. මේ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීගමු නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඔහුව ඇතුළත් කළ යුතු බවයි. එහිදී ප්‍රේමලාල් මහතාගේ බිරිඳ, ජසින්තා තමෙල් මහත්මිය මේ ශල්‍ය වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ නිරෝගීව ශල්‍යකර්මය සඳහා පැමිණි තම සැමියාට මෙවන් ඉරණමක් අත් වූයේ කෙසේද යන්නයි.එවිට ශල්‍ය වෛද්‍යවරයා පවසා ඇත්තේ ” අපිත් මනුස්සයොනේ ,අපේ අතිනුත් වැරදි සිදු වෙනවා, මෙයද අත්වැරදීමක් නිසාම සිදුව ඇති බවයි. කෙසේ වුවද, ඒ අනුව ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාව එදිනම සවස මීගමුව,නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.එම ස්ථානයටද මෙම විශේෂඥ ශල්‍ය මෛද්‍යවරයා පැමිණ තිබේ. එහිදී ශල්‍ය වෛද්‍යවරයා ඔහුගේ ඥාතීන් වෙත පවසා ඇත්තේ මොහුට ඉක්මනින්ම ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවත් , ඔහු දැන් සිටින ඔහුගේ සෞඛ්‍ය තත්වය අනුව එලෙස ශල්‍යකර්මයක් සිදු කළත් ඔහුට යළිත් සිහිය නොඑන බවය
මේ පිළිබඳව සැක සිතූ ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාගේ පවුලේ උදවිය මෙම ශල්‍ය වෛද්‍යවරයාට යෝජනා කර ඇත්තේ මේ අවස්ථාවේදී රෝගියාව මීගමු රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීම සුදුසු බවයි. එහෙත් ඔහුගේ පවුලේ උදවිය පවසන්නේ ඒ අවස්ථාවේදී මෙම ශල්‍ය වෛද්‍යවරයා එම යෝජනාවට එරෙහිව ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කළ බවයි. එහිදී මෙම ශල්‍ය වෛද්‍යවරයා පවසා ඇත්තේ “” මම හිටපු මීගමු රෝහල ගැන මම දන්නැද්ද ,මේ වෙලාවේ එතනට ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ” යනුවෙනි. මෙම ශල්‍ය වෛද්‍යවරයා එක හෙලාම පවසා ඇත්තේ මීගමු රෝහලට මොහුව රැගෙන නොයන ලෙසයි. එහිදී ඔහු පවුලේ උදවියට යෝජනා කර ඇත්තේ ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මෙම රෝගියාව රැගෙන යන ලෙසයි. එහිදී මෙම වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමාගේ හිතවත් වෛද්‍යවරයෙකු ගම්පහ රෝහලේ සිටින බවත්, එම වෛද්‍යවරයා ලවා මොහුට ප්‍රතිකාර ලබා දිය හැකි බවය.ඒ අනුව ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙක් වෙත මෙම ශල්‍ය වෛද්‍යවරයා විසින් ලිපියක්ද ලියා මියගිය ක්‍රිෂ්ට් ප්‍රේමලාල් මහතාගේ ඥාතීන් වෙත භාරදී තිබේ. එහෙත් ඔහුගේ ඥාතීන් ගම්පහ රෝහලේත්, රාගම රෝහලේත් දැඩිසත්කාර ඒකක වල ඇඳන් හිස්ව ඇතිදැයි කරන ලද සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණේ එම දැඩි සත්කාර ඒකකවල හිස් වු ඇඳන් නොමැති බවයි. එහෙත් මෙම වෛද්‍යවරයා පවසා ඇත්තේ ” ඇඳන් නොමැති වුවත් ගම්පහ රෝහලට රැගෙන යන ලෙසත් එවිට එහි සිටිනා වෛද්‍යවරුන් කුමක් හෝ දෙයක් කරයි යනුවෙන් ප්‍රකාශ කළ බවයි. එහෙත් ඥාතීන් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ මීගමු රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ හිස් වූ එක ඇඳක් ඇති බවත්, ඒ අනුව ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාව එදිනම එනම් පසුගිය 24 වැනි සඳුදා දින රාත්‍රියේදීම මීගමු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඉන්පසුව එහිදී ලබා දුන් ප්‍රතිජීවක (Antibiotics) ඇතුළු වෙනත් ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් ඔහුට යම් පමණක තාවකාලික සුවයක් ලැබී තිබිණි. ඒ නිසාම ඔහුට කලින් සිදු කළ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ශල්‍යකර්මය මෙවර නිවැරදි ලෙස මීගමු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් විසින් සිදුකර තිබේ. එහෙත් ඒ වනවිටත් ඔහුගේ හර්නියා තත්ත්වය යටතේ විසිරී ගිය සැරව හේතුවෙන් ඒවා විෂබීජ බවට පත්වී ඔහු ගේ වකුගඩුවලට දැඩි බලපෑමක් එල්ල කර තිබිණි. එම බලපෑම ඔහුගේ හෘදයේ නිසි ක්‍රියාකාරීත්වයද අඩපණ කර තිබිණි. ඒ අනුව එම තත්ත්වය උත්සන්න වීමෙන් අද දින එනම් මාර්තු මස 28 වැනි සිකුරාදා දින උදෑසනදී ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතා මීගමු රෝහලේ ,දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම මියගොස් තිබේ.
මියගිය ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාගේ බිරිඳ වන ජසින්තා තමෙල් මහත්මිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසන්නේ මීගමු රෝහලේ පැවති මරණ පරීක්ෂණයෙන්ද තහවුරු කර ඇත්තේ ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාට මුලින්ම ආවේ මරියා පුද්ගලික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මය නොසැලිකිළිමත් ලෙස සහ අපරීක්ෂාකාරීව සිදුකිරීමෙන් ඔහුගේ වකුගඩුවලට විෂබීජ එකතු වීම නිසා වකුගඩු වලට දැඩි බලපෑමක් සහ හානියක් සිදුවී ඇති බවයි.එමෙන්ම එම තත්ත්වය ඔහුගේ හෘදයේ නිරෝගී ක්‍රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපෑම් ඇතිකර ඇති නිසා එම අයහපත් තත්ත්වය උත්සන්න වීමෙන් ඔහුගේ මෙම මරණය සිදුවී ඇති බවයි.
බැලූ බැල්මට මෙවැනි සිදුවීමක්,වෛද්‍යවරයෙකුට නම් ඉඳ හිට සිදුවන සුළු අත් වැරැද්දක් වීමට ඉඩ තිබේ.එහෙත් එම සුළු අත්වැරැද්දෙන් අහිමිව යන්නේ වටිනා මිනිස් ජීවිතයකි. මිනිස් ජීවිතයක අගය සහ එහි වටිනාකම තක්සේරු කළ හැක්කේ කාටද?
ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාගේ අකල් මරණය වෛද්‍යවරුන්ටත්, සමාජයේ බහුතරයක් දෙනාටත් සංවේදී කරුණක් නොවීමටද ඉඩක් තිබේ.එහෙත් ඔහුගේ මිය යෑමේ පාඩුව තදින්ම දැනෙනු ඇත්තේ ඔහුගේ ආදරනීය බිරිඳ වන ජසින්තා තමෙල් මහත්මියටය. එමෙන්ම ඔහුගේ එකම පුතුටය.එලෙසම ඔහුගේ ඥාතිමිත්‍රාදීන් ඇතුළු ඔහුගේ ප්‍රදේශවාසී හිතවතුන්ටය. ඒ නිසා මේ ශල්‍ය වෛද්‍යවරයා පවසා ඇති ආකාරයට මෙම මරණය ලෙහෙසියෙන් සුළුකොට අමතක කර බැහැර කළ නොහැකි තත්ත්වයකි. මින් ඉදිරියට හෝ වෛද්‍යවරුන්ගේ අතින් සිදුවන නොසැලකිල්ල හා අපරීක්ෂාකාරී බව හේතුවෙන් සිදුවන අකල් මරණ වලක්වා ගැනීමට සමාජයම එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.
මේ මරණය සම්බන්ධයෙන් ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාගේ බිරිඳ සහ එකම පුතු ඇතුළු ඥාතීන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ වරදින් සහ නොසැලකිලිමත්කමින් සිදුවන මෙවැනි අවාසනාවන්ත මරණයන් මින්පසු හෝ වළක්වාලන්නට මෙම මරණය පාදක කර ගනිමින් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස රජයේ සෞඛ්‍ය බලධාරීන්ව දැනුවත් කිරීම සඳහා, මීගමු මූලස්ථාන පොලිසියට ඉතා නුදුරේදීම පැමිණිල්ලක් ගොනු කිරීමට තමන් සූදානම් බවයි..
ඒ අනුව ම්ය ගිය ක්‍රිෂ්ටි ප්‍රේමලාල් මහතාගේ දේහය මේ වන විට ඔහු පදිංචිව සිටි මීගමුව, කට්ටුව, රා තැබැරුම ආසන්නයේ ඇති ඔහු ජීවත්ව සිටි නිවසේ තැන්පත් කර ඇත.එම දේහය පිළිබඳ භූමදාන කටයුතු එළඹෙන 31වෙනි සඳුදා දින සවස 4.00 ට,කතෝලික ආගමික වතාවත් අනුව ,මීගමුව පොදු සුසාන භූමියේදී (මඤ්ඤොක්කාහේන) සිදුකිරීමට නියමිතව ඇත.