ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙතින් සියලු මාධ්‍ය ආයතන වෙත විශේෂ නිවේදනයක්

0
127
ලංකාවේ කොතැනක හෝ කිසියම් සිද්ධියක් සිදු වූ සැණින් අදාළ සිද්ධිය වාර්තා කිරීම සඳහා මෙරට ක්‍රියාත්මක වන: විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ආයතන යුහුසුලුව කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි.නමුදු ඒ ඇතැම් සිද්ධිවල සානුකම්පිත සහ මානුෂික පාර්ශ්වය අමතක කර හුදෙක් මස් කැබැල්ලකට පොර බදන සුනඛ රැළක් හෝ කපුටු රෑනක් සේ අදාළ සිද්ධිය අලෙවි කිරීම පමණක් සිය එක ම පරමාර්ථය කරගත් ඇතැම්: මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ආයතන පැවතීම කනගාටුවට කරුණකි.

මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය දිනෙක සිදු වූ පාසල් දරුවන් දෙදෙනකුගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් මෙරට: මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකළ ආකාරය පිළිබඳ පැරැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මානුෂීය ලෙස කටයුතු කළ මාධ්‍ය ආයතන සියල්ලට ම එම සංගමයේ කෘතඥතා පූර්වක ස්තුතිය පුද කරන අතර ම ඇතැම් මාධ්‍ය (මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය) ක්‍රියා කළ අන්දම පිළිබඳව සිය කනගාටුව සහ පිළිකුල ප්‍රකාශ කර ඇත.

එමෙන් ම සදාචාර සම්පන්න හා මානුෂීය හර පද්ධතිවලට අනුකුලව මහජන සෞඛ්‍යයට සහ යහ පැවැත්මට අදාළ මාධ්‍ය වාර්තා කරණයක් සඳහා මාධ්‍ය ආයතනවලට අවශ්‍ය යාවත්කාලින දැනුම සහ මාර්ගොපදේශ ලබා දීමට වුව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිරන්තරයෙන් සුදානමින් සිටින බව ද එම නිවේදනය මගින් ඔවුන් අවධාරණය කරනු ලැබ ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

පසුගිය දින කිහිපය තුලදී මෙරට මධ්‍ය මගින් ඉහල ප්‍රචාරයක් ලබාදුන් පාසල් දරුවන් දෙදෙනෙකුගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් අපගේ විශේෂ අවධානය යොමු විය. එම පුවත් ජනගත කිරීම සදහා මෙරට මාධ්‍ය යොදාගත් ක්‍රමවේදයන් පිලිබදව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිරීක්ෂණයන් පහත දැක් වේ.

 

1. පාසැල්  යන වයසේ දරුවන් දෙදෙනෙකුගේ මරණය, ඔවුන්ගේ පෙද්ගලිකත්වයට හා අනන්‍යතාවයන්ට හානි සිදුවන පරිදි අධිතාත්විකත්වයක් ආරෝපණය කරමින් ප්‍රචාරය කිරීමට හා එමගින් ප්‍රේක්ෂක අවධානය ස්වකීය නාලිකාවන් වෙත හරවා ගැනීමට බොහෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය උත්සහ කරනු දක්නට ලැබිණි.

2. පුද්ගල මරණයකදී ඕනම පුරවැසියෙකුට හිමි නිසි ගරුත්වය භාගෙකි කාලයකදී පවුලේ සමීපනයින්ට ලබාදිය යුතු පෞද්ගලික නිදහස බොහෝ ඉලෙක්ට්‍රොනික හා සමාජ මාධ්‍ය ජාලයන් සිය වැඩසටහන් ප්‍රචාරණයේදී නිසි අවධානයකට ලක් නොකරනු අයුරු නිරීක්ෂණය විය.

3. විපතට පත් දරුවන් හදුනගත හැකිවන පරිදි දර්ශන පෙළ ගස්වීමට සමහරක් මාධ්‍ය ආයතන කටයුතු කල අවාසනාවන්ත ආකාරය පැහැදිලිව හදුනාගත හැකි විය.

4. මරණයට හේතුව නිශ්චිත සාක්ෂි මත පදනම්ව ප්‍රකාශයට පත් නොකර ඇති පසුබිමක, විවිධාකාර වූ උපකල්පනයන් යොදා ගනිමින් ප්‍රේක්ෂක අවධානය සිය නාලිකාවන් වෙන රදවා ගැනීමේ උත්සහයක් දක්නට ලැබිණි.

මරණයක් වාර්තා කිරීමේදී, විශේෂයෙන් ළමා මරණ, සියදිවි හානිකර ගැනීම් හා එම උත්සාහයන් වාර්තා කිරීමේදී අන්තර් ර්ජාතිකව පිලිගත් මාධ්‍ය සදාචාර නියමයන් හා හර පද්ධතීන් පවතින අතර, මරණයට ලක් වූ පුද්ගලයගේ අනන්‍යතාවයට, පෞද්ගලිකත්වයට හානියක් නොකිරීම, ශෝක වීම සදහා සමීපතයින්ට ඇති අයිතියට ගරු කිරීම, නැවත වරක් එවන් සිද්ධියක් ඇතිවීමට උත්ප්‍රේරණයක් ඇති නොවන අයුරින් වාර්තා කිරීම හා එම අවස්ථාව උපයෝගී කරගනිමින්, සහන සේවාවන්ට හා අනෙකුත් උපකාරක සේවාවන් සම්බන්ධ කරගත හැකි ආකාරය ප්‍රචාරය කිරීම මේ අතර ප්‍රධාන වේ.

අවාසනාවකට බහු නරයක් මාධ්‍ය එම මානුෂිය හා සදාචාරාත්මක නියමයන් නකීමකට ලක් නොකරන ආකාරයක් දක්නට ලැබිණි. සදාචාරත්මක මාධ්‍ය වාර්තාකරණයක් සදහා පෙනී සිටින මාධ්‍ය අංශ අගය කරන අතරම, ස්වකිය රාජකාරිය ඉටුකරන අවස්ථාවන්හිදී ඉහන දැක්වූ මාධ්‍ය හා මනුෂිය නියමයින්ට අනුගත වෙමින්, නිවරදි හා සදාචාර සම්පන්න ලෙස තොරතුරු දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කරන ලෙස සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.

මතු දැක්වෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

(සටහන : ජයසිරි අලවත්ත)