ආගමික නිදහස රැක දෙන්න ශ්‍රී ලංකාවේ බලධාරීන් පියවර ගනී

0
190

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ආගමික අන්තවාදීන් සිදු කරන අපරාධ ගැන ඉදිරිපත් කරලා තියෙන නඩු කීපයක් විභාග කරන්න ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කැමති වෙලා තියෙනවා. 2013 ඉඳලා සාක්ෂිකරුවන් අන්තවාදී බෞද්ධ භික්ෂූන්ගේ මැර ප්‍රහාරයන්ට, තර්ජනවලට සහ බැණවැදීම්වලට ලක් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ වෙනත් කුඩා ආගමික කණ්ඩායම් මේ වගේ අසාධාරණකම්වලට ලක් වෙන්නේ ඔවුන්ව ආරක්ෂා කරන්න පොලීසිය ක්‍රියාමාර්ග නොගන්නා නිසයි. ඒ නිසා ආගමික අන්තවාදීන් කිසි බයක් සැකක් නැතුව වැඩි වැඩියෙන් ඒ දේවල් කරමින් ඉන්නවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න හේතු වුණ සිද්ධීන්

2014 මාර්තු 1වෙනිදා තලාවේදී (උතුරු මැද පළාත) යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියන් දෙන්නෙක් තමන්ගේ ආගමික විශ්වාසයන් ගැන අනිත් අයට කියමින් හිටියා. ඒක ශ්‍රී ලංකාවේ නීති විරෝධී දෙයක් නෙමෙයි. “බලෙන් ආගමට හරවනවා” කියලා බෞද්ධ භික්ෂූන් දෙන්නෙක් සහ පොලිස් නිලධාරීන් දෙන්නෙක් චෝදනා කරලා ඒ දෙන්නාව පොලීසියට අරගෙන ගියා. පොලිස් නිලධාරීන් සහ භික්ෂූන් පැය ගාණක් තිස්සේ පොලීසියේදී ඔවුන්ට බැණවැදුණා. ඒ කාන්තාවන් අපරාධකරුවන් විදිහට සැලකුවේ නැති වුණත් මුළු රැය පුරාම රඳවගෙන හිටියා.

2014 ඔක්තෝබර් 29වෙනිදා සාක්ෂිකරුවන්ට වලස්මුල්ලේදී (දකුණු පළාත) තවත් සිද්ධියකට මුහුණ දෙන්න වුණා. කාන්තාවන් 4දෙනෙක්ව (පින්තූරේ ඉන්න අය) අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරයට දැම්මා. ඔවුන්ට මුළු රැයක් පුරාම දරුණු අපරාධකරුවන් එක්ක ඉන්න සිද්ධ වුණා. ඔවුන් පහරකෑම්වලට ලක් වුණේ නැතත් පැය ගාණක් තිස්සේ දරුණු බැණවැදීම්වලට ලක් වෙන්න වුණා.

මේ අවස්ථා දෙකේදීම සාක්ෂිකරුවන් අදාළ නිලධාරීන්ට විරුද්ධව හා මූලික අයිතිවාසිකම් උල්ලංගනය වීම පිළිබඳව පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුවා. ඒ පැමිණිලි සලකා බලපු ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩු විභාග කරන්න එකඟ වුණා. ඒ ගැන තලාවේ සාක්ෂිකාරියන් දෙන්නා කිව්වේ මෙහෙමයි. “නඩුව අහන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එකඟ වුණ එක ගැන අපිට හරි සතුටුයි. මේකෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන අපේ විශ්වාසය තවත් වැඩි වුණා.” 2015 මැයි 29වෙනිදා තිබුණු මුල් නඩු විභාගයේදී විනිසුරුවරයෙක් වන සිසිර ඩි ආබෲ මහතා කිව්වේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “හරිම කරුණාවන්ත සෙනඟක්,” ඔවුන් බෙදාහරින ආගමික පොත් පත් “බෞද්ධ ධර්මයට විරුද්ධව පළ කරපු ඒවා නෙවෙයි” කියලයි. ඊළඟ නඩු විභාග තියෙන්නේ මේ අවුරුද්දේ අවසානයෙයි.

පොලීසිය ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන අභියාචනාධිකරණයට

පොලීසියෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධ සිද්ධීන් 11ක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොළඹ අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුවා. මේ එක සිද්ධියකදී නිරෝෂන් සිල්වාට බෞද්ධ භික්ෂුවක් දරුණු විදිහට පහර දීලා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාන්න බලෙන්ම පොලීසියට අරගෙන ගියා. ඒ වෙලාවේ ඔහුව ආරක්ෂා කරනවා වෙනුවට පොලීසියෙනුත් ඔහුට දරුණු විදිහට පහර දුන්නා.

සිල්වා මහතා මෙහෙම කිව්වා. “අපි විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉල්ලන්නේ හැමෝටම නිදහසේ ආගම අදහන්න තියෙන අයිතිය ලබා දීලා යුක්තිය ඉටු කරන්න කියලයි.” ඒ නඩුව අහන්න අධිකරණය එකඟ වුණා.

වත්මන් තත්වයේ යම් දියුණුවක්

ආගමික අසාධාරණකම් වෙනවා කියලා පිළිගන්න රජය “ආගමික නිදහස රැක දෙන්න පියවර ගන්නවා” කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒක හොඳ ලකුණක් කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතනවා.

සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටින මූලික අයිතිවාසිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා මෙහෙම කිව්වා. “දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව බහුආගමික රටක්. මෑතක් වෙන කල්ම සියලුම ආගම් සාමයෙන් එකමුතුව ජීවත් වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටත් කුඩා ආගමික කණ්ඩායම්වලටත් හිංසා කරලා, තර්ජනය කරලා සමහරු ඒ සාමය නැති කරලා තියෙනවා. එහෙම කරන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාක්ෂිකරුවන්ගේ අයිතීන් උල්ලංගනය කිරීමක්. ඒ නිසා බලධාරීන් බොරු චෝදනා පිළිගන්නේ නැතුව ඒවා හොඳින් විභාග කරලා බලන්න ඕනේ.”

තමන්ට නිදහසේ ආගමික කටයුතු කරගෙන යන්න තියෙන අයිතිය අධිකරණයෙන් රැක දෙයි කියලා සාක්ෂිකරුවන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔවුන් බලාගෙන ඉන්නේ ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් තහවුරු කරන නීතියක් රජයෙන් පනවන තුරුයි.

උපුටා ගැනීම – https://www.jw.org/si/

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here