ශ්‍රී ලංකාව ‘ශිෂ්ඨාචාර අර්බුදයක’

0
270

_91167558_sunilwijesiriwardana

ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉහල මට්ටමක් සහිත, දියුණු, ශිෂ්ඨාචාරවත් රටක් බවට පත්කිරීමට නම් කලාව හා සංස්කෘතිය වෙනුවෙන්ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රවීන කලාකරුවන් පිරිසක් පෙන්වා දෙති.

රටක දියුණුව සඳහා ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

සමාජය සහ ජීවිතය සම්බන්ධයෙන් කලාව ලබා දෙන දැනීම, වෙනත් කිසීම මාර්ගයකින් ලබාගත හැක්කක් නොවන බවත් කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

“අපිව මනුස්සයෝ කරන එක ක්‍රමයක් තමයි කලාව. අපි කලාව රසවින්දන බවට කියන නමුත්, ඊට පිටිපස්සේ කලාව හා මනෝභාවයන්ට සම්බන්ධයක් තිබෙනවා,” ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)

“ඊට අමතරව කලාව තුලින් අපිට විද්‍යාත්මක සමාජය ගැන දැනගන්න පුළුවන්. අපි දන්නා විශේෂ කලාවන් ගණනාවක් තිබෙනවා, ඒ කලාව හරහා ජීවිතය එක මිටට හසු කර ගෙන, සාකල්‍යවාදී දැනීමක් ලබාගන්න පුළුවන්. කලාවෙන් ගොඩනැඟුණ දැනීම අනාදේශීයයි. ඒක ආදේශ කරන්න බැහැ.”

‘කලාව හා සංස්කෘතික ප්‍රතිපත්තියක්’

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කලාකරුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට කලාව හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ කාර්යයේ නිරතව සිටිති. එම ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ අධ්‍යයන චාරිකාවක් සඳහායි ආචාර්ය විජේසිරිවර්ධන පසුගියදා බ්‍රිතාන්‍යයට පැමිණ සිටියේ.


සිය සංචාරය අතරවාරයේ ඔහු සංදේශය මැදිරියට පැමිණි ඔහු ‘පුරවැසි ක්‍රියාදාමයක්’ ලෙසින් දියත්ව තිබෙන සිය ප්‍රයත්නය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීය.

“මා සමග කලාකරුවෝ, විද්වත් කලාකරුවෝ ඇතුළු එම අංශයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් වැඩ කරමින් සිටිනවා. මේ අපි කරන ක්‍රියාදාමය සපුරන්න අඩුම වශයෙන් තව වසර අවුරුදු දෙකක් වත් ඕන වෙනවා. මේ මගින් අපේ සමාජය හා කලාව අතර තිබෙන සම්බන්ධය පරික්ෂා කරනවා,” ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

සමාජයකට කලාව අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳව කලාකරුවන් සහ රසිකයන් අතර සංවාදයක් දියත් කිරීම කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය ඒකකයේ උත්සාහයයි. (සංදේශයට සවන්දෙන්න)

‘සංස්කෘතික පුනරුදයක්’

“මේකෙන් අපේ මුලික අරමුණු වන්නේ සංස්කෘතික පුනරුදයක් ගොඩනැගීම. ඒ ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් වශයෙන් ප්‍රතිපත්ති නිර්දේශ මාලාවක් අවශ්‍ය වන්නේ. එහෙම ක්‍රියාදාමයක් ගොඩනැගුණොත් ඒක බල ගන්වන්න පුළුවන්. නැත්නම් ඒක කොලයකට විතරක් සීමාවේවි.”

වෘත්තීය තුළ සදාචාර පදනම් බිඳවැටීම ශිෂ්ටාචාරය අර්බුදයක මූලික ලක්ෂණයක් වී ඇති බවත් ප්‍රවීන කලාකරුවා පවසයි.

“1950 ගණන්වල ආසියානු කලාපයේ අනෙකුත් රටවල් එක්ක බැලුවා නම්, ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් දියුණු, සියලු සම්පත්වලින් පිරිච්ච රටක් විදිහට ඉතා ඉක්මනින් දියුණු වෙන්න පුළුවන් කියන බලාපොරොත්තුව ජාත්‍යන්තරයට තිබුණා. දැන් බැලුවාම හැම ක්ෂේත්‍රයකම අපි ලොකු අර්බුදයක ඉන්නේ.”

මේ අර්බුදයෙන් ගොඩ එනු පිණිස අධ්‍යාපනය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා මෙන්ම කලාව වෙනුවෙන්ද ‘කොලයකට සීමා නොවුණු’ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි.

එම අර්බුදය පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක් වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන: “අපේ ගුරුවරු ඇත්තටම ගුරුවරු ද, අපේ වෛද්‍යවරු ඇත්තටම වෛද්‍යවරුද අපේ මාධ්‍ය කරුවන් ඇත්තටම මාධ්‍ය කරුවන් ද? එහෙම බැලුවාම පේනවා මේ වෘත්තීය තුළ සදාචාර පදනම් ගැලවිලා ගිහිල්ලා. ඔන්න ඒක තමයි ශිෂ්ටාචාරය අර්බුදයක මූලික ලක්ෂණය.”
බිබිසි සංදේශය