ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ‘වැඩේ’ හරියටම කරලා – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ

0
172
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන ලෙස හා රටේ සාමාන්‍ය නීතිය වන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ත්‍රස්තවාදය සම්බන්ධ නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් කොමිෂන්
සභාව ඉතා මැනැවින් තම බලතල අනුව කටයුතු කර ඇතැයි ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය’ පවසයි.

ඒ අද (23) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැපවුණු නීතිඥවරුන්ගෙන් සමන්විත වූ ස්වේච්ඡා සංවිධානයකි. එය ආරම්භ කරන ලද්දේ 2009 වර්ෂයේදී ය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය පෙබරවාරි 15 වන දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිවේදනය ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ.

“ත්‍රස්තවාදයට එරෙහිව සහ ජාතික ආරක්ෂාව උදෙසා නීති සම්පාදනය කිරීමට ව්‍යවස්ථාදායකයට ඇති උත්තරීතර අයිතිය කෙරෙහි බලපෑම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට කිසිදු බලයක් නැතැයි” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා විසින් කරන ලදැයි පසුගියදා ජනමාධ්‍යයන්හි පළ වූ ප්‍රකාශය කෙරෙහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ විමතිය පළ කොට සිටියි.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 (ඇ) වගන්තිය යටතේ, මානව අයිතිවාසිකම් වැඩිදුරටත් ප්‍රවර්ධනය හා ආරක්ෂාව සඳහා නීති, පරිපාලන නියෝග හා විධිවිධාන සම්පාදනය කිරීමේදී රජයට උපදෙස් දීමට හා සහාය වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බලය පවරා තිබෙන බවත්, පනතේ 10 (ඉ) වගන්තිය යටතේ, ජාතික නීති හා පරිපාලන භාවිතාවන් ජාත්‍යන්තර ප්‍රමිති සමග අනුකූලදැයි සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලතල ද කොමිෂන් සභාවට තිබෙන බවත් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සිය නිවේදනය මගින් වැඩිදුරටත් දක්වා ඇත.

සම කැඳවුම්කරුවන් වන ලාල් විජේනායක, කේ එස් රත්නවේල්, සුදත් නෙත්තසිංහ, කේ ඩබ්ලිව් ජනරංජන සහ සුදර්ශන ගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ අත්සනින් නිකුත් කොට ඇති නිවේදනයෙහි වැඩි දුරටත් මෙසේද සඳහන් වෙයි.

“මානව හිමිකම් කොමිසන් සභා පනතේ 10 (ඊ) වගන්තිය යටතේ, මානව හිමිකම් ක්ෂේත්‍රයේ ගිවිසුම් හා වෙනත් ජාත්‍යන්තර නීතිමය පටිපාටිවලට දායක වීමට හා එකඟ වීමට රජයට නිර්දේශ කිරීමේ බලය ද කොමිෂන් සභාවට පවරාදී තිබේ.

ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන ලෙස හා රටේ සාමාන්‍ය නීතිය වන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ත්‍රස්තවාදය සම්බන්ධ නීති සම්පාදනය කරන ලෙස ඉල්ලාසිටීමේදී කොමිෂන් සභාව ඉතා මැනැවින් තම බලතල අනුව කටයුතු කර තිබේ.

“කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානවලට ආවරණය වෙමින් පාපෝච්ඡාරණ ලබාගැනීම හා ඒවා මත පදනම්ව නඩු මෙහෙයවීම හරහා රජය විසින් සියලු පිළිගත් නීතිමය මූලධර්මවලට පටහැණි ආකාරයට පුරවැසියන්ගේ මූලික හා මානව අයිතිවාසිකම් අශෝභන ලෙස උල්ලංඝනය කරන ආකාරය පිළිබඳ අත්දැකීම් අනුව බවට සැකයක් නැත.”

1978 වසරේදී විශේෂ විධිවිධාන පනතක් ලෙස අවුරුද්දක කාලයක් සඳහා හඳුන්වාදෙන ලද මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉන්පසු දීර්ඝ කරන ලද අතර දැන් එය ස්ථාවර නීතියක් බවට පත්වී තිබෙන බව සඳහන් කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය මෙම භයානක නීතියේ විධිවිධාන මගින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කොට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා මානව හිමිකම් අගය කරන සියළු රාජ්‍යයන් විසින් පිළිගනු ලැබ තිබෙන ජාත්‍යන්තර සම්මුති නොසලකා හරිනු ලැබෙන බවත් සිය නිවේදනයෙහි දක්වා ඇති අතර අපගේ නීති පද්ධතියෙහි කලු පැල්ලමක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද සඳහන් කරයි.
theleader.lk