ශාන්ත සෙබස්තියන් මාවතේ පාලම අබලන්, හැදෙන්නේ කවදාද ?

0
4

මීගමුව, ආවේ මරියා රෝහල අසලින් එනම් පිස්කල් හන්දියේ (පරන හලාවත පාරේ) සිට වැල්ලවීදිය දේවස්ථානය ඉදිරිපිටට දිවෙන ශාන්ත සෙබස්තියන් මාවතේ ඇති පාලම දැනට වසර කිහිපයකට පෙර සිට අබලන්ව ඇති බව දැක්වෙන පුවරුවක් එම මාර්ගය ආසන්නයේ දක්වා ඇත.  ශාන්ත සෙබස්තියන් මාවතේ හැමිල්ටන් ඇළ හරහා ඉදිකර ඇති මෙම පාලම අබලන් වී ඇති බව සඳහන් පුවරුද මාවත දෙපැත්තෙන්ම සවිකර දැනට වසරකටත් වඩා කල් ගතවී ඇත.
එහෙත් මේ වනතුරු මෙම පාලම අලුත් වැඩියා කරන්නට හෝ නව පාලමක් ඉදිකරන්නට හෝ කිසිඳුු විධිමත් සැලැස්මක් නොමැති බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.මීගමුව නගරයේ සිට වැල්ලවීදිය දෙසටත් එලෙසම පෝරුතොට , කොච්චිකඩේ ප්‍රදේශයට යාමට පැමිණෙන පාපැදි සහ යතුරු පැදි ඇතුළු රථ වාහන වලටත් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් යා හැකි ප්‍රධාන අතුරු මාර්ගයක් ලෙසද මෙම ශාන්ත සෙබස්තියන් මාවත හඳුන්වාදිය හැක.

වැල්ලවීදිය ප්‍රදේශයෙන් ආරම්භ වී පළඟතුරේ ප්‍රදේශය දක්වා විහිදෙන සංචාරක හෝටල් කලාපයටද මීගමු නගරයේ සිට ඉක්මනින්ම ළඟා විය හැකි කෙටි මාර්ගයක් ලෙසද මෙම මාවත හඳුන්වා දිය හැක.එහෙත් මේ වන විටත් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් මේ මාර්ගයේ රථවාහන ධාවනය යම් ආකාරයකින් සීමා කර ඇත. එමෙන්ම මෙම මාවත පළල්ව සකස් කර ඇතත් , බොහෝ කලකට ඉහත ස්ථාපිත කර ඇති මෙම පාලම ඉතා පටුය. මේ නිසා නිතරම විශේෂයෙන්ම පාසල් පටන් ගන්නා සහ පාසල් ඇරෙන වේලාවන් වල මෙම මාර්ගයේ රථවාහන ධාවනය කිරීමට බාධා සිදුවේ. මේ හේතුන් නිසාම ප්‍රදේශවාසීන් ප්‍රශ්න කර සිටින්නේ මේ පාලම නිසියාකාරයෙන් අලුත් වැඩියා කිරීමක් හෝ මේ සඳහා නව පාලමක් ඉදි කරන්නේ නම්, එය සිදුවන්නේ කවදාද යනුවෙනි.

ඡායාරූප – රොෂාන් පීටර්