‘ සංචාරක ආකර්ශනයක් ඇතිකිරීමට නම් මීගමුව නොනිදන නගරයක් කළ යුතුයි“

0
36
වෙද්‍ය සී.ජේ්‍ඉයන් මහතා

මීගමුව බ්‍රිටිස් ඔප්ටිකල් ආයතනයේ අධිපති වෛද්‍ය ඉයන් මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.

මහා තෙප්පම් – මීගමුව කලපුව

මීගමුව නගරයේ සොරකම්, මංකොල්ලකෑම් වගේ දේවල්  පසුගිය කාලයේ අඛන්ඩව  සිදුවුණා. වර්තමානයේදී මීගමුව නගරයේ ආරක්ෂාව සම්බන්ධව ඔබේ අදහස් දැනගන්න කැමතියි.

මීගමුව ව්‍යාපාරික සංගමයේ සභාපති විදිහට මම පත්වුණා .මට කලින් හිටපු සභාපතිවරුත් එකතුවෙලා විශේෂයෙන් එයාලා තමයි මේ වැඩසටහන පොලිසියත් සමඟ සම්බන්ධ කරගෙන පටන් අරගෙන තිබුණේ .ඒ වැඩසටහනට කිව්වේ
” උකුස්සා ” වැඩසටහන කියලා.ඒක නගරයේ ආරක්ෂාව සම්බන්ධව තමයි පටන් ගත්තේ. ව්‍යාපාරික සංගමය ඒ සඳහා ලක්ෂ ගානක විශාල මුදලක් වියදම් කෙරුවා. ඒ වැඩසටහනෙන් නගරයට විශාල ආරක්ෂාවක් සැලසෙනවා.විශේෂයෙන්ම ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කෙරුවා. ඒකෙන් නගරයේ සොරකම් ,මංකොලකෑම් වගේ දේවල් සෑහෙන්න අවම කරගන්න හැකියාව ලැබුණා. නමුත් ඒ වැඩසටහන තවත් පුළුල් කරන්න අවශ්‍යයි. එහෙත් ඒ සඳහා ලොකු වියදමක් දරන්න වෙනවා.ඉතින් ව්‍යාපාරික සංගමයටත් එච්චර ලොකු මුදලක් දරන්න අමාරුයි.අනිත් එක පොලිසියටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා.
මේ උකුස්සා වැඩසටහනෙන් පමණක් අපට නගරය ආරක්ෂාව ගැන  සෑහීමකට පත්වෙන්න අමාරුයි.ඒක නිසා අපි යෝජනා කරලා තියෙනවා මේ වෙද්දි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වෙන සීසිටීවී  කැමරා පද්ධතියක්. පොලිසියේ ජෙෂ්ඨ උසස් නිලධාරීන් සියලුම අය එකඟ වුණා. ඒ එක්කම හිටපු නගරාධිපති තුමා පවා ඒකට එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ  මීගමුව නගරය පුරාම ආවරණය වන විදිහට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන සීසීටීවී කැමරා පද්ධතියක් ස්ථාපිත කරලා ,ඒ සඳහා වෙනම මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කල යුතුය.  ඒ මෙහෙයුම් මැදිරිය පොලිසියේ හෝ වෙනත් තැනක අපි ඒක ස්ථාපිත කරනවා. එතැන ඉඳලා නගරයේ වෙන හැම දෙයක්ම හොඳින් නිරීක්ෂණය කරන්න පුලුවන් වෙන විදියට තමයි , මේ වැඩසටහන නිර්මාණය කරන්නේ. මේ වැඩසටහනිත් ක්‍රියාත්මක කර ගන්න පුළුවන් වුනොත් මීගමුව නගරයට  දැනට වඩා වැඩි ආරක්ෂාවක්  සැලසිය හැකියි. ඒකටත් මිලියන 04 ක් ,05ක් , වගේ පිරිවැයක් අපිට දරන්න වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා  වියදම් වන විශාල පිරිවැය වැනි ගැටලු නිසා තමයි මේ   වැඩසටහන   තාම ක්‍රියාත්මක කරගන්න  නොහැකි වුණේ .නමුත් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන අදහස තවම තියෙනවා.ඒක අත්හැරිලා නෑ.

අද වෙද්දී බොහෝ විට මීගමුව නගරයේ සහ නගරය ආශ්‍රිත   මාර්ගවල විශාල වාහන තදබදයත් තියෙනවා  දැකගන්න පුළුවන්. මේ ට්‍රැෆික් ප්‍රශ්නය අවම කරගන්න ඔබත් විසඳුම් කිහිපයක් ම ඉදිරිපත් කර තිබුණා පහුගිය කාලයේදී. ඒ විසඳුම් වලට මොකද වුණේ?

අපි ව්‍යාපාරික සංගමය හැටියට, මීගමුවේ  රථවාහන පොලිසිය සමග එකතුවෙලා ක්‍රියාත්මක කරන ට්‍රැෆික් කොමිටි එකක් ඒ කියන්නේ රථවාහන කමිටුවක්  තියෙනවා. ඒ කමිටුව හරහා අපි පහුගිය කාලයේ නගරයේ  ඒක මාර්ගීක ධාවන ක්‍රමයක් ඒ කියන්නේ වන් වේ  සිස්ටම් එකක් ක්‍රියාත්මක කෙරුවා.ඒක බොහොම සාර්ථක වුණා.
නමුත්  නගරයේ සමහර ව්‍යාපාරිකයෝ මැසිවිලි නැගුවා  විශේෂයෙන්ම බස් රථ වැනි පොදු වාහන ඇතුළු අනෙකුත් වාහන එක පැත්තකින් පමණක් ධාවනය වීම හේතුවෙන්  එයාලගේ කඩ වලට බිස්නස් නැහැ කියලා. ඉතින් ඒ අය නිතරම කියන්න ගත්ත, ඒක එයාලට විශාල පාඩුවක් කියලා. ඒ නිසා ඒ වන් වේ ක්‍රමය අතරමග නතර කරන්න සිද්ධ වුණා. නමුත් මම පෞද්ගලිකව හිතන්නේ අපි හොඳින් අපේ බිස්නස් එක කරනවා නම්, අපි කොහේ හිටියත්, අපිව හොයාගෙන අපේ ගනුදෙනුකරුවෝ  ,අපි ළඟට එනවා කියලයි. ඔය වන් වේ ක්‍රමයේදී අපිට RDA එක PRDA එක වගේම මීගමුව මහා නගර සභාවත් එකතුවෙලා හිටියා. ඒ ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී පාරවල් කැඩිලා තිබුණොත්  ඒ පාරවල් ඉක්මනට අලුත් වැඩියා කරන්න .ඒ වගේම පාරවල් වල කැලි කසල ටික ඉක්මනින්ම ඉවත් කරගන්න  වගේ දේවල් වලට මේ  ආයතන සහයෝගය දුන්නා. ඉතින් මේ වන් වේ ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී  නගරයට යන එන වාහන මාර්ගවල එක පැත්තකින් ධාවනය කරද්දී, මාර්ගය අනිත් පැත්තේ වාහන නවතා තබන්න හැකි වුණා. ඒකෙන් නගරයේ ට්‍රැපික් එක සෑහෙන දුරකට අඩු වුණා,ඒ වගේම නගරයට එන අයට විශේෂයෙන්ම කඩ සාප්පු වලට යන අයට තමන්ගේ වාහන නවතා තබා බඩු බාහිරාදිය ගන්න අවස්ථාව ලැබුණා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රමය නැති වුණාම මාර්ගය දෙපැත්තෙන්ම වාහන ධාවනය වෙනවා. දැන් කඩ සාප්පුවලට එන අයගේ වාහන නවතා තබන්න ඉඩක් නෑ. අනික  දැන් නගරයේ තියෙන ට්‍රැපික් එක නැති කරන්න රථවාහන පොලිසිය මගින් ඔත්තේ ඉරට්ටේ ක්‍රමයක් ඇති කරලා තියෙනවා සතියේ දින 07 පදනම් කරගෙන. ඉතින් දන්නැති කෙනෙක් හරි නගරයට ඇවිල්ලා අදාල පැත්තේ නැතිව අනිත් පැත්තේ වාහන නතර කලහම පොලිසියෙන් ඇවිත් දඩ කොළ දෙනවා. ඉතින් මට මේ සමහර ව්‍යාපාරිකයෝ ඇවිල්ලා පැමිණිලි කෙරුවා, පොලිසියේ මේ දඩ කොළ ප්‍රශ්නය නිසා මීගමුවට මෙතෙක් බඩු භාණ්ඩ ගන්ඩ ආපු බොහෝ  අය දැන්  මීගමුව නගරයට එන්නේ නැතුව බඩු බහිරාදිය ගන්න වෙනත් නගරවලට යන්න පෙළඹිලා තියෙනවා කියලා පොලිසියේ මේ දඩ කොල ප්‍රශ්නය නිසා.ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ , පහුගිය කාලේ වගේ වන් වේ ක්‍රමයක් ක්‍රියාත්මක කලහම. දැන් බලන්න කොළඹ.   කොළඹ නගරයේත් ඊට තදාසන්න ප්‍රදේශවලත් ඒ වන් වේ ක්‍රමය සාර්ථක වෙලා තියෙනවා.. ඉතින් ඕක මීගමුවේ නගරයේත් අඛණ්ඩවම කෙරුව නම් , මේ තියෙන ට්‍රැපික් එක සෑහෙන දුරකට අවම කරගන්න පුළුවන්.

ඔබ හිතන්නේ මේ නගරයේ රථ වාහන තදබදයට හේතු වෙන්නේ අර කලින් වගේ වන්වේ ක්‍රමයක් නැතිකම සහ නගරයට එන වාහන නවතා තබන්න  පහසුකම් නැති ප්‍රශ්නය විතරක්ම ද ?

නෑ තව ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ පදික වෙළඳාම.අද පදික වෙළඳාම. බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි.මොකද බොහෝ දෙනෙක් කැමති අඩුවට බඩු ගන්න. අපිත් කැමතියි අඩුවට බඩු ගන්න. අඩුවට බඩු ගන්න බොහෝ දෙනෙක් පදික වෙළදාම් කරන අය සොයා ගෙන තමයි යන්නේ.විශේෂයෙන්ම මීගමුවේ නයිට් බසාර් එක. පවත්වන්නේ නගරයේ තියෙන මාර්ගයක් සම්පූර්ණයෙන්ම වහලා දාලා. නයිට් බසාර් එක තියෙන දවසට ඒ පාරෙන්  වාහන වලට තියා පයින් යන කෙනෙකුට පවා යන්න බැහැ. අපි කියන්නෙ නෑ පදික වෙළෙඳන්ව මේ නගරයෙන් ඉවත් කරන්න කියලා. ඒ අයටත් එයාලගේ බිස්නස් කරගන්න අවස්ථාවක් අපි හදලා දෙන්න ඕන.  ඒ අයට ඒ වෙළඳාම විධිමත් විදිහට කර⁣ගෙන යන්න අවස්ථාවක් සලසා දෙන්න ඕන.ඒකට විකල්ප තියෙනවා.දැන් ඔය ක⁣ඩොල්කැලේ ක්‍රීඩාංගනය නිකන්මයි තියෙන්නේ. අවශ්‍ය නම් ඒක සෙනසුරාදට නයිට් බසාර් එක දාන්න ඒ පිට්ටනිය දෙන්න පුළුවන්.එහෙම නැත්නම් එයාලටම කියපු වෙනම ස්ථානයක්,  වෙන් කරලා දෙන්නත් පුළුවන්.දැන් ඔය බස් නැවතුම්පොළ ට ටිකක් එහායින් තියෙනවනේ තැබෑරුම් වත්ත කියලා ඉඩමක්. ඕක එයාලට වෙන් කරලා දෙන්නත් පුළුවන්.ඒකේ ස්ථිර විදිහට කඩ ටිකක් හදලා. සෙනසුරාදට විතරක් නෙමෙයි හැමදාටම වුනත් එතන වෙළඳාම් කරන්න හදලා දෙන්න පුළුවන්. ඒ මිනිස්සු ජංගම වෙළෙන්දෝ හරි පදික වෙළෙන්දෝ හරි ඒකත් මේ නගරෙට අත්‍යවශ්‍ය බිස්නස් එකක්. ඒ බිස්නස් එක එයාලට හොඳින් කරගෙන යන්න, ඒ වගේම ඒ බිස්නස් එක ගෞරවාන්විතව කරගෙන යන්න  අපි අවස්ථාවක් හදලා දෙන්න ඕනා. දැන් මහ නගර සභාවට  ඔය නයිට් බසාර් එ⁣කෙන් මාසෙකට මිලියන ගණනක් ලැබෙනවා කියන නිසා ,, ඉතින් ඔය නයිට් බසාර් එකේ වෙළඳුන්ට,ඒ කියන්නේ වැඩි පුරම එතැන ඉන්නේ පදික වෙළෙන්දෝනේ. ඉතිං ඒ අයට ඒ තැබෑරුම් වත්තේ හොඳ කඩ ටිකක් හදලා දුන්නොත් ඒ අයගේ බිස්නස් තව වැඩි වෙනවා.  ලොකු ආදායමක් ගන්නත් පුළුවන්. අනික දැන් බලන්න ඔය පාරේ දාගෙන නයිට් බසාර් එකේ බඩු විකුණද්දි, හදිසියේ හරි වැස්සක් වැස්සොත්, ඔය රෙදි පිලි , කෑම ජාති, සහ අනෙකුත් භාණ්ඩ සේරම වැස්සට තෙමෙනවානේ. වැස්ස වෙලාවට නයිට් බසාර් එකේ වෙළදම් කරන මිනිස්සු ඒ වැස්ස වෙලාවට ලොකු දුකක් විඳිනවා , ඒ විකුණන  බඩු ටික වැස්සෙන් පරිස්සම් කරගන්න.
ඉතින් මම යෝජනා කරන්නේ නගරයේ තියෙන පාරවල්  වහලා දාලා නයිට් බසාර්  පවත්වන්නේ නැතුව එයාලට විධිමත් විදියට සකස් කරපු ස්ථානයක් වෙන්කරලා දීලා ඒ බිස්නස් එක ගෞරවාන්විතව සහ හොඳින් කරන්න හොඳ කඩ ටිකක් හදලා දෙන්න කියලයි.

දැන් එංගලන්තේ ලන්ඩන් අගනුවර තියෙනවා එක ප්‍රදේශයක්, “පෙටිකෝට් ලෙන්” කියලා. ඒක අද  ගමක් වගේ හැදිලා තියෙන්නේ. එතන ඉන්නවා පදික වෙළෙන්දෝ, ඒත් එක්කම ඔය පාරේ කෑම ජාති විකුණන අය ඒ කියන්නේ ස්ට්‍රීට් ෆුඩ්ස් , ඒත් එක්කම පොඩි රෙස්ටුරන්ට් වගේ ඒවා.වෑන් රථ ,කුඩා ලොරි රථ, අත් කරත්ත, එහාට මෙහාට අරන් යන්න පුළුවන් තහඩුමඩු වගේ හදපු වාහන , ඒවා වලින්  ඇවිල්ලා එතන වෙළදම් කරනවා. ඒ වගේ එතැන ස්ථිරවම හදපු කුඩා කඩ එහෙමත් තියෙනවා. ඉතින් ඔය පෙටි කෝට් ලේන් එකට සතියේ දවස් හතේම හුඟක් ජනතාව එනවා, අඩුවට බඩුමුට්ටු , කෑම බීම වාගේ දේවල් අරන් යන්න. ලොකු පිරිසක් එනවා. ඉතින් නගරයට කිසිම වාහන තදබදයකුත් නැහැ. බඩු ගන්න එන අයටත් ලේසියි. වෙළෙන්දන්ටත් ලේසියි. අන්න ඒ විදිහට මීගමුව නගරයේත් කරන්න පුළුවන්. අපි ඒ කුඩා වෙළෙන්දන්ව, එයාලගේ බිස්නස් ගැන අපි මීට වඩා ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඒකට වෙනමම ස්ථානයක් එයාලට හදලා දෙන්න ඕන.ඒකට අවශ්‍ය ස්ථාන වෙන් කර ගන්නත් පුළුවන්. මම හිතන්නේ ඒ වගේ තැනකට ගිහිල්ලා බිස්නස් කරන්න, ඔය බිස්නස් කරන අයත් කැමතියි. ජනතාවත් කැමති වෙනවා. එහෙම නැතුව පාරවල් වහලා, වෙළඳාම් කරන එක මීගමුව වගේ ප්‍රසිද්ධ නගරයකට හැම අතින්ම ගැලපෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. මොකද මේ යන විදිහට ගියොත් පදික වෙළෙන්දන් මුළු නගරයම ආක්‍රමණය කරයි. එහෙම වුනොත් නගරයේ ව්‍යාපාරික කටයුතු ඇතුළු නගරයේ අනෙකුත් වැඩ කටයුතු වලට ඒක විශාල ප්‍රශ්නයක් ගරටළුවක් වෙන්න පුළුවන්. එවාගේම නගරයට ඔය ප්‍රශ්නය විශාල තර්ජනයක් වෙන්නත් පුළුවන් ඉදිරි කාලයේදී.

ඔබ පහුගිය කාලේ ,යම් යම් අවස්ථාවලදී ප්‍රකාශ කරල තිබුණා මේ නගරයේ තියෙන අර්බුද සහ ගැටලුවලට ස්ථිර විසඳුම් සොයන්න නම් විධිමත් සැලසුමක් තිබිය යුතුයි කියලා ?

ඇත්තෙන් ඔව්, මම ඒක අදත් කියනවා. මේ නගරයේ තියෙන අඩුපාඩු ප්‍රශ්න ගැටලු මේ හැම දේකටම විසඳුම් සොයද්දී මූලිකවම තිබිය යුතු දෙයක් තමයි  නගර  නිර්මාණ සැලැස්මක්. මම යෝජනා කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලය වැනි පිළිගත් ආයතනයක් හරහා අපි මීගමුව නගරයට ගැලපෙන නගර නිර්මාණ සැලසුමක් සැකසිය යුතුයි. ඒ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වැනි පලපුරුදු ආයතනයක් සම්බන්ධ කරගෙන ප්‍රථමයෙන්ම මුළු මීගමුව ප්‍රදේශයම රිසර්ච් එකක් කළ යුතුයි. එහිදී මීගමුව නගරයේ පිහිටීම හඳුනාගත යුතුයි.ඉන් පසුව පුළුවන්, කඩ සාප්පු කෙසේ සකස් විය යුතුද, පදික වෙළඳුන්ට ගැලපෙන ස්ථාන මොනවාද, වාහන නවතා තබන්නට රථ ගාල් වැනි ස්ථාන ,ඒ වගේම වාහන තදබදය අවම කිරීමට රථ වාහන මාර්ග සැලැස්මක් එලෙසම නගරයේ ආරක්ෂාව සම්බන්ධව ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධව සැලැස්මක් ආදී සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි තවත් කාර්යභාරයන් ද ඔය නගර නිර්මාණ සැලසුමට අන්තර්ගත කළ හැකියි. එතකොට සම්පූර්ණ නගරයම ආවරණය වෙන පරිදි සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම විධිමත් හා ක්‍රමවත් ලෙස යම් සැලසුමකට අනුව ඒ ඒ ස්ථාන ස්ථාපිත කළ හැකියි. එ නිසා මම නම් යෝජනා කරන්නේ ම මේ හැම දෙයකටම කලින් මීගමුවට විධිමත් නගර නිර්මාණ සැලැස්මක් සැකසිය යුතුයි කියලයි.

දැන් අපි දන්න විදිහට මීගමුව කියලා කියන්නේ සංචාරක පුරවරයක්. නමුත් මීගමුව නගරයට රාත්‍රී කාලයේ විදෙස් සංචාරකයෝ එන්නේ නෑහැ. ඇයි එහෙම වෙන්න හේතුව ?

විදෙස්  සංචාරකයේ පමණක් නෙවෙයි  මේ මීගමේ ඉන්න මිනිස්සු වත් රෑට මීගමුවට එන්නේ නෑහැ. මොකද ඒකට හේතුව රෑ 7.00 පහු වෙද්දි මීගමුව නගරයේ කඩ සාප්පු වහලා දානවා. කොටින්ම කියනවා නම් රෑට මීගමුව නගරය  ” ඩෙත් සිටි “එකක් ඒ කියන්නේ මැරිච්ච නගරයක්. එහෙම වෙද්දී මිනිස්සු එයිද මේ නගරයට. පිටරටින් එන සංචාරකයන් හුඟක් කැමති රාත්‍රි කාලයට. ඒ අය කන්න බොන්න  එළියට යන්න කැමති  හුඟාක්ම රාත්‍රී කාලයට. ඒ වගේමයි ෂොපිං කරන්න, තව විනෝද කටයුතුවල නිරත වෙන්න එයාලා එන්නේ  රාත්‍රී කාලයට. ලංකාවට එන බොහෝ විදෙස් සංචාරකයන් පැමිණෙන බොහෝ ආසියාතික රටවල් ඇතුළු යුරෝපයේ  සෑම රටකම පාහේ  “නයිට් ලයිෆ්” එකක් , ඒ කියන්නේ රාත්‍රී ජීවිතයක් තියෙනවා.  අපේ රටෙත් හුඟක් නගරවල ඒක දැන් තියෙනවා. මීගමුව නගරයේ  විතරයි ඒක නැත්තේ.  මං මේ ලඟදි කුරුණෑගලට ගියා රාත්‍රී කාලයේ, මම ගියේ දිවුලපිටිය,  කොටදෙනියාව පාරෙන් ඒ යද්දි ඒ කුඩා නගර විශේෂයෙන්ම දිවුලපිටිය කොටගෙනියාව, බඩල්ගම, මිනුවන්ගොඩ, ගිරිඋල්ල වගේ කුඩා නගර රාත්‍රී කාලයට විවෘත වෙලා තියෙනවා දැක්කහම මට ඇත්තටම මීගමුව නගරය ගැන ලොකු කණගාටුවක් දැනුනා. දැන් බලන්නකෝ  ඔය මීගමුට ටිකක් එහායින් තියෙන අක්කර පනහ වගේ ප්‍රදේශයක්.. ඒ ප්‍රදේශයත් මේ වෙද්දි රාත්‍රියට විවෘතව තියෙන  තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයෙත් නයිට් ලයිෆ් එකක් හැදෙන්න පටන් අරන් තියෙනවා.
මීගමුවේ හොටෙල් සයිඩ් එකේ පමණයි, නයිට් ලයිෆ් එකක් තියෙන්නේ.

තව දෙයක් කියන්න ඕන, මීගමුට එහායින් තියෙන පෙරියමුල්ල ප්‍රදේශය අද වෙද්දි නොනිදන නගරයක් බවට පත්වෙලා තියෙනවා. ඒ රාත්‍රී හෝටල් ටික විදුලි ආලෝකවලින් අලංකාර කරලා තියෙනවා. මම දන්න විදියට එතන ඉන්නේ මුස්ලිම් ප්‍රජාව. ව්‍යාපාර කටයුතු කරන්නේ මුස්ලිම් ප්‍රජාව. ඒ අයට අපි ඇත්තටම ප්‍රශංසා කරන්න ඕනා, ඔය ප්‍රදේශය ඔය විදිහට අලංකාරවත්ව තියන් ඉන්න විදිහට. හරියට ඒ ප්‍රදේශයේ මම දකින්නේ ඇමෙරිකාවේ ලස් වේගාස් වගේ නොනිදන නගරයක් විදිහට.ඇත්තටම  කියනවනම් ඒ මුස්ලිම් ප්‍රජාවට අපි ප්‍රශංසා කළ යුතුයි., පෙරියමුල්ල ප්‍රදේශය විසි හතර පැයේම විවෘත නගරයක් විදිහට තියාගෙන ඉන්නවට. ඒක ඇත්තටම මීගමුවටත් අලංකාරයක්.

එතකොට අපිට පේන දෙයක් තමයි මීගමුව අවට සහ මීගමුවට ඈතින් තියෙන කුඩා නගර මේ වෙද්දී කිසිම සැලසුමක් නැතුව මීගමුව නගරයට වඩා රාත්‍රියට විවෘත නගර බවට පත්වෙමින්  දියුණු වෙමින් පවතිනවා. දැන් බොහෝ පිරිස් රෑට කන්න බොන්න මීගමුව නගරයෙන් පිට යන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ තත්ත්වයට වහාම නැවතීමේ තිත තැබිය යුතුයි. ඉතින් මීගමුව නගරය අර මම කලින් කිව්වා වගේ  යම් විධිමත් සහ ක්‍රමවත් නගර සංවර්ධන සැලසුමකට අනුව  දියුණු කළ යුතුයි. මේක රජයට හෝ නගර සභාවට තනිවම කල නොහැකි දෙයක්.මේ සඳහා රජය සහ මහ නගර සභාව වගේම නගරයේ ව්‍යාපාරිකයන් ,  විද්වතුන්, ඇතුළු ප්‍රජාව එකතු විය යුතුයි.

මීගමුව කියලා කියන්නේ ඇත්තටම ම සංචාරක ආකර්ෂණය දිනු නගරයක්.මීගමුව දැනට තියෙන තත්ත්වයට වඩා   වැඩි දියුණුවක් ආකර්ෂණයක් ලබන්න නම් මේ නගරයට අලුතින් එකතු විය යුතු නවාංග මොනවද

මං කියන්නේ අලුත් දේවල් එකතු කරලා දියුණු කරන්න කලින් අපි කලින් කියපු ප්‍රශ්න ටික විසඳගන්න ඕන. ඉතින් ඒකෙ මූලික දේ තමයි අර මම කලින් කිව්ව වගේ නගර නිර්මාණ සැලැස්මක්  හදාගෙන හැම ක්ෂේත්‍රයකම ක්‍රමවත් සහ විධිමත් බවකට පත් කිරීම කළ යුතුයි සංචාරක ආකර්ෂණය දිනාගන්න නම් මේ නගරයට නයිට් ලයිෆ් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ මම කලින් කිව්වා වාගේ මීගමුව  නොනිදන නගරයක් බවට පත්විය යුතුයි. එතකොට මේකේ දියුණුවක් ඇතිවෙනවා අනිත් එක තමයි දියුණුවක් ලබන්න නම් අනිවාර්යයෙන්ම නගරයේ අලංකාරවත්  වෙන්න ඕන. අලංකාරයක් තිබුනොත් තමයි නගරයට ආකර්ෂණයක් ඇතිවෙන්න අර මම කලිනුත් කිව්වා වගේ මේ හැම අවස්ථාවකදීම නගර සභාව, පොලිසිය ඒවගේම අනෙකුත් රජයේ ආයතන, පල්ලිය පන්සල කෝවිල ඒවගේම ව්‍යාපාරිකයෝ ,සහ ප්‍රජාව එකතුව වැඩ කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ නගරයේ තියෙනවා සංවිධාන.රොටරි, ලයන්ස්  වගේ. ඒවා වලින් දැනටමත් ලොකු සේවයක් සිදුවෙනවා.නමුත් මීටත් වඩා ඔවුන්ගෙන් ඒ සේවාවන් ලබාගත යුතුයි.විශේෂයෙන්ම නගරයේ අලංකාරවත්ව පවත්වාගෙන යන්න නගරයේ පිරිසිදුකම හොඳින් පවත්වාගෙන යා යුතුයි.අද නගරයේ හැම තැනකම වගේ කුණු කසල දානවා, ප්ලාස්ටික් බෝතල් ෂොපිං බෑග් වගේ දේවල් බැහැර කරනවා. ඒ දේවල් වලින් කානු අවහිර වෙනවා. ඉතින් මුළු නගරයම අපිරිසිදු වෙනවා. මේ විදියට තැන තැන නගරයේ කැලිකසල සහ ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් දාන අයගෙන් දඩ ගහන ක්‍රමවේදයක් ඇති කරන්න ඕනා. සමහර අවස්ථාවල කාණු මාර්ගවල අනවසර ඉදිකිරීම් කරලා තියෙනවා. මේ නිසා නගරය අක්‍රමවත් වෙනවා.   ඒ අවිධිමත් හා අක්‍රමවත් ඉදිකිරීම් නැවත හරිගස්සන්න ඕන. ඒ සඳහා ජනතාව දැනුවත් විය යුතුයි.  මේ නගරයේ තියෙන සියලු ප්‍රශ්න වලට විසදුම් සොයන්න නගර සභාවට ,පොලිසියට විතරක් තනියම කරන්න බෑ.ඒ ඒ සඳහා ප්‍රජාවද එකතු විය යුතුයි.දැන් පාරක වළක් හැදිලා තිබුණොත්, ආයේ නගර සභාව එනකල් ඉන්න අවශ්‍ය නැහැ, පස් ටිකක්  දාලා වහලා දාන්න පුළුවන්.  ප්‍රජාව හැටියට අපිත් යම් දෙයක් මේ නගරය වෙනුවෙන් කළ යුතුයි.ආයේ ආණ්ඩුවෙි ආයතන එහෙම නැත්නම් නගර සභාව එනකල් බලන් ඉන්න දෙයක් නෑ.අපේ නගරේ, අපේ ගම  දියුණු කරන්න  ප්‍රජාව හැටියට අපටත් දායක විය හැකියි.

ඒත් එක්ක මම මෙතනදි කියන්න ඕනා, මේ නගරයේ විද්වත් පිරිස් ඉන්නවා.නගර සංවර්ධන කමිටුව හැටියට මම ඒ හැමෝටම ආරාධනා කරනවා, මීගමුව නගරය දියුණු කරන්න අලංකාර කරන්න ඔයාලගේ අදහස් සමග නගර සංවර්ධන කමිටුවේ අපව මුණගැහෙන්න සහ අප හා සම්බන්ධ වෙන්න කියලා.

ඔබ රෝහල් සංවර්ධන කමිටුවේ ආරම්භක සභාපති, ඒ වගේම මේ වන විට ඔබ ඒ කමිටුවේ උපදේශකවරයෙක් .එනිසා මීගමුව රෝහල තුළින් ජනතාවට සැලසෙන සෞඛ්‍ය පහසුකම් ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි.

මීගමු රෝහලෙන් හොඳ සුව සේවාවක් ජනතාවට සැලසෙනවා. දැන්  රෝහල මධ්‍යම රජයට පවරාගෙන තියෙන්නේ. ඉතින් මම  රෝහල් සංවර්ධන කමිටු සභාපති  හැටියට ඉන්න කාලේත් මධ්‍යම රජයෙන් අපි සෑහෙන  ඉල්ලීම් කෙරුවා මීගමුව රෝහල පළාත් සභාවෙන් මධ්‍යම රජයට පවරගන්න කියලා.ඒත් එක්කම මම ඔය රෝහල් සංවර්ධන කමිටුවේ සභාපති ව ඉන්න කාලෙදි ඔය රෝහල් ගොඩනැගිල්ල කඩා වැටෙන තත්ත්වයකට පත්වෙලා තිබුණා
පසුව එවකට   බලයේ  සිටි රජය දැනුවත් කරලා, ඒ සඳහා විශාල ප්‍රතිපාදනයක්  වෙන් කරගෙන, මොරටුව විශ්ව විද්‍යාලයේ විද්වත් පිරිසක් ගෙනල්ලා, සමීක්ෂන කරලා   රෝහල් ගොඩනැගිල්ලට අලුතින් කොන්ක්‍රීට් කණු ඉදිකරලා, ආපහු සැරයක් ඒ ගොඩනැගිල්ල සවි ශක්තිමත් කළා. එලෙස ඒ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරලා, ඒ ගොඩනැගිල්ල සුරක්ෂිත කරලා අද වෙද්දී ගොඩනැගිල්ලේ සියළු රෝහල් කටයුතු පවත්වාගෙන යනවා.ඒත් එක්කම අපිට හැකිවුණා,  තාවකාලික ගොඩනැගිලි හතරක් මේ රෝහල් භූමිය තුළ ඉදිකරන්න.

මේ වෙද්දි රෝහලේ ඖෂධ අඩුපාඩු ප්‍රශ්නයක් තියෙනවා.ඒක ඉතින් මුළු ලංකාවටම බලපාන සමස්ත ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ මීගමුව රෝහල දැන් ශික්ෂණ රෝහලක් බවට ඒ කියන්නේ ටීචින් හොස්පිටල් එකක් බවට පත්වෙනවා නම් හොඳයි.එතකොට මීට වඩා වැඩි පහසුකම් ලැබෙනවා.තවත් වෛද්‍යවරු හෙද හෙදියෝ ලැබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය තුළ කථිකාචාර්ය මට්ටමේ විශේෂඥ වෛද්‍යවරු මේ රෝහලට ලැබෙනවා.ඒ වගේම වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් රෝහලට පැමිණෙනවා. එතකොට ඒ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද වෛද්‍යවරුන්ගේ සහයට පැමිණෙනවා. එතකොට මීටත් වඩා හොඳ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මීගමුව රෝහල තුළින් ජනතාවට සලසා ගන්නට හැකි වෙනවා..

ඒත් එක්කම කියන්න ඕන මේ මීගමුව රෝහලේ තියෙන මෝචරිය දැන් ගොඩනගන්න පටන් අරගෙන තියෙනවා.නමුත් ඉතිං ඒකේ තාම වැඩ අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා.ඉතින් ඒක අපිට කරන්න බෑ .රජය ලවා තමයි කළ යුත්තේ. ඉතින් මෝචරිය සම්බන්ධ කාරණාවේදී අපිට කරන්න හැකිවෙන්නේ රජයට ඉල්ලීම් කරන එක පමණයි.පුළුවන් තරම් ඉතින් රජයෙන් ඉල්ලීම් කරලා තමයි මේ වැඩේ අපි ඉක්මනින්ම කරගත යුත්තේ කියලයි මම හිතන්නේ.

මීගමුව කියන්නේ විවිධ ජාතීන්  සහ විවිධ ආගමිකයන් ජීවත් වන  වාර්ගික සහ ආගමික ගැටුම් නැති නගරයක් . මේ නගරයේ තියෙන ආගමික සංහිඳියාව සහ ජාතීන් අතර තියෙන සහෝදරත්වය එකමුතුකම තවත් වැඩි වර්ධනය කිරීම සඳහා කළ යුතු දේවල් මොනවද ?

මම හැමදාමත්ම කියනවා වගේ මීගමුව නගරය කියන්නේ ම මල්ටි එත්නික් සොසයිට් ( Multi Ethnic Society ) එකක් ඒ කියන්නේ බහු වාර්ගික සමාජයක් සහිත නගරයක්. වෙන නගරවල සහ වෙන ප්‍රදේශවල පසුගිය කාලේ ජාතීන් අතර ආගමිකයන් අතර ගැටුම් ඇතිවුණා. නමුත් මේ  නගරය තුළ එහෙම සිදුවුණේ නෑ.මේ නගරයේ ජාතීන් අතර සහ ආගමිකයින් අතර තියෙන මේ සංහිඳියාව සහෝදරත්වය තවත් වැඩි වර්ධනය කරන්න නම් පන්සල පල්ලිය කෝවිල කියන මේ පූජනීය ස්ථාන  මීටත් වඩා එකතු විය යුතුයි. ඒ කියන්නේ මේ ආගමික ස්ථාන වල ඉන්නෙ පූජක පක්ෂය මැදිහත් වෙලා ප්‍රජාව සමග මීට වඩා  සබඳතාවයක් ඇතිකර ගත යුතුයි  මේ ප්‍රදේශය විතරක් නෙවෙයි, මේ රටේම ජාතීන් අතර සහ විවිධ ආගමිකයින් අතර  භේද ඇති කළේ දේශපාලන පක්ෂ විසින්. එනිසා මේ රට දේශපාලන පක්ෂවලටවත් එහෙම නැත්නම් දේශපාලනඥයන්ටවත් අයිති නැහැ.මේ රට අයිති මෙරට මිනිස්සුන්ට. මිනිස්සු කොයි ජාතියේද, කොයි ආගමේද කියන එක අදාල නෑ. එනිසා මේ රටේ හැම දෙයක්ම සිදුවිය යුත්තේ දේශපාලන පක්ෂවල ඉන්න දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට නෙවෙයි.රටේ සමස්ත මිනිස්සුන්ට අවශ්‍යය විදිහටයි. ඒක නිසා මම යෝජනා කරනවා ඉදිරි කාලයේදී පුළුවන් නම් මේ  ආගමික සිද්ධස්ථාන හරහා සමාජයට වැඩක් පලක් කරන උගත් බුද්ධිමත් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන ක්‍රමවේදයක් හදන්න කියලා. එහෙම  මුදල් වරදාන වරප්‍රසාද ගන්නේ නැතුව තමන්ගේ අතේ තියෙන මුදල් යොදවලා සමාජයට වැඩ කරන, සමාජ සේවය කරන  බොහෝ දෙනෙක් අපේ සමාජයේ අද ඉන්නවා. ඒ අයට ඕනේ කීර්තිය නම්බුව විතරයි.ඉතිං ඒක දුන්නට කමක් නෑ. සමාජයට වැඩක් කරන සේවාවක් කරන කෙනෙකුට ගෞරව කිරීමක් ,නම්බු නාමයක් දුන්නට කමක් නෑ. අන්න පුළුවන්නම් එහෙම අයව අපි පාර්ලිමේන්තුවට යවමු. දේශපාලනය කියන එක රස්සාවක් නෙමෙයි.ඒක ජනතා සේවාවක්.  දේශපාලනයට ඇවිල්ලා වැටුපක් ලබන එක වැරදියි. වැඩකටයුතු කරගන්න වාහනයක් වගේ දුන්නට කමක් නෑ. හැබැයි එයාලට වැටුපක් දෙන්නේ හොඳ නෑ. එතකොට ඒක ජනතා සේවාවක් වෙන්නෙ නෑ. පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම්  ආගමික ස්ථාන වල තියෙන සමිති සමාගම්වලින් ජනතා සේවාවන් කරන උගත් බුද්ධිමත් මුදල් යහමින් තියෙන අයව පාර්ලිමේන්තුවට එවන්න. ආගමික ස්ථානවල ඉන්න ගරු ස්වාමීන් වහන්සේලා සහ පූජකතුමන්ලා මැදිහත්ව එහෙම අයව තෝරලා පාර්ලිමේන්තු යවන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරුවොත් අපේ නගරය පමණක් නෙමෙයි මේ මුළු රටම ඉක්මනින්ම අපට දියුණු කරන්න පුළුවන් වෙනවා. එතනදි ආගමික සංහිඳියාව ජාතීන් අතර සුහදතාවය සහ සහෝදරත්වයත් ඉබේම මීට වඩා වර්ධනය වෙනවා , කියන එකයි මගේ අදහස.