සංහිඳියාව ගමනක අග ද?

0
203

disap 2


ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස කළු ජාතිකයෙකු ඝාතනය වූ විට සුදු කළු භේදයකින් තොරව බහුතරය එම ඝාතනය සාධාරනීකරණය කරන්නට ගියේ නැත. එම අරගලය වඩාත් ආකර්ෂණිය වන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ තර්ජනය කිරීම් මැදත් ජනපද ආණ්ඩුකාරවරු මෙන්ම ප්‍රාන්තවල පොලිසිය සහ හමුදා නිලධාරීන් ද විරෝධතාකරුවන්ට සහය පළකෙරෙමින් තිබීමෙහිය. ඔවුහු කිසිවෙක් මරා දැමුණු කළු ජාතිකයාගේ ඝාතකයා කිසි විටෙක රණවිරුවකු ලෙස උත්කර්ෂයට නන්වන්නේ නැත. එවැනි දේ සිදුවන්නේ ලංකාවේය.

වඩාත් උත්ප්‍රාසාත්මක වන්නේ වසංගතය සමඟ මෙරට ජාතිවාදය, ආගම්වාදය වඩ වඩාත් ඉස්මතු කරමින් මාධ්‍ය ප්‍රචාරයන් දියත් කළ, ජාතිවාදීන් මේ මොහොතේ ඇමෙරිකාවේ මරා දැමුණු කළු ජාතික ජෝර්ජ් ෆොලෝයිඩ් වෙනුවෙන් #SayNoToRacism යැයි කැම්පේන් කිරීමෙහිය. ලංකාවේ ඇත්ත ප්‍රශ්නය සහ උතුරේත් දකුණේත් දහස් ගණනක් මිනිසුන්ගේ ඇත්ත වේදනාවන් සමඟ අනන්‍ය වීමට නොහැකි ඔවුහු මේ සාධාරණය ඉල්ලා සිටින්නේ ඇමෙරිකාවෙන් වීම විහිළු සහගතය. ඊලඟ විසුළු සහගත දෙය නම් ලංකාවේදි අමෙරිකාවට විරුද්ධ වීම ද ගුටි කන තරම් වරදක් වීමයි.

කේන්ද්‍රීය ප්‍රශ්නය

පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනා වසංගතය විසින් විතැන් කිරීමට උත්සාහ දැරූවද ලංකාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ වසර තිහකට ආසන්න කාලයක් පැවති යුද්ධය ඇති වීමේ හේතු සහ එහි ඵල විපාකයන්ය. සංහිඳියා ක්‍රියාවලිය සහ සංක්‍රාන්තික යුක්ති ප්‍රවේශය යනු මෙම ගැටලු‍‍‍ව ආමන්ත්‍රණය කිරීම සඳහා ගෙන එන ලද ව්‍යුහාත්මක සහ මානූෂීය ප්‍රවේශයයි. සංහිඳියාව ගොඩනැගීම විෂයෙහි පවතින වාස්තවික අභියෝගයන් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඒ අවධානය මැදිහත් වීමක් කරා යොමු කරවීම මේ මොහොතේ අත්‍යවශ්‍යව ඇති හෙයිනි.

‘ද හින්දු’ වාර්තාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රණවිරු සැමරුම් උළෙල අමතමින් පසුගිය 19 වැනිදා සිදුකළ කතාව අරඹයා පසුගිය 20 වැනිදාවේ වාර්තාවක් ගෙන එනිද හින්දු’ පුවත්පත පෙන්වා දෙන්නේිශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් මෙන්ම ඉහළ නිලධාරීන් ගණනාවක් යුද සමය තුළත් ඉන් අනතුරුවත් සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා තිබුනත් දකුණේ සිංහල බහුතරයක් ඔවුන් සිය ගැලවුම්කරුවන් ලෙස සලකන බවත් එයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙන බවයි. විශේෂයෙන්ම පසුගිය දිනෙක ජනාධිපති සමාව ලැබූ කෝප්‍රල් සුනිල් රත්නායක දරුවන් තිදෙනෙක්ද ඇතුලු‍ දෙමළ වැසියන් අට දෙනෙකු මරා දැමීමට චූදිතයෙකු වූ බවත් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වත්මන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කොරෝනා වසංගතය මැඩලීම සම්බන්ධයෙන් පත් කර තිබෙන කාර්ය සාධක බලකායට නායකත්වය දෙන බවත්ය’.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා “යුද විරුවන් ඉලක්ක කොට ගෙන කරන චෝදනා ශ්‍රී ලංකාවට රුස්සන්නේ නැත” යනුවෙන් හින්දු පුවත්පත වෙත ප්‍රතිචාර දක්වන ජනාධිපති මාධ්‍ය ඒකකය, පෙන්වා දෙන්නේ මීරා ශ්‍රීනිවාසන්ගේ මෙම වාර්තාවිසැබෑ තත්ත්වය’ විදහා නොදක්වන බවයි. යුද සමයේත් ඉන් පසුවත් කරන ලද මානව හිමිකම් උල්ලංඝන ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එහි පවසා ඇත්තේ “යුද්ධයකදී පුද්ගලයකුගේ මානව හිමිකම් සුරැකීම වැස්සකදි මඩ වගුරු ඇති වීම වළක්වනවාට සමාන ක්‍රියාවක්,”බවයි. යුද්ධයේ ඇති බිහිසුණු බව නිසා ජාත්‍යන්තර මානවවාදී නීති කිසිවෙකුට ‍එරෙහිව චෝදනා එල්ල කීරිමට ප්‍රමාණවත්වන තරම් පැහැදිලිව සුදු කළු ලෙස වෙන් කොට හඳුනා ගත නොහැකි බවයි.

වර්තමාන හමුදාපතිවරයා “යුද අපරාධවලට ‍චෝදනා ලැබූ ජනරාල්වරයෙක් ”ලෙස එල්ල කරන ලද චෝදනාවිසත්‍යතාවයෙන් තොර පදනම් විරහිත’ කාරණා බවත් පෙන්වා දී තිබේ.

අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට හමුදාව සම්බන්ධ වී සිටීම පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ මතුවෙමින් තිබෙන හමුදාකරණය පිළිබඳ ගැටලු‍වක් ලෙස ද හින්දු වාර්තාව පෙන්වා දී තිබූ අතර එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය අවධාරණය කර ඇත්තේ, “යුද්ධය පැවති ප්‍රදේශවල හමුදාවත් සාමාන්‍ය ජනතාවත් අතර සමීප සබඳතා ගොඩනැගීම එමඟින් පැහැදිලිව ඉස්මතු වන” වන බවයි.

මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා විපක්ෂයේ සිටියදීත් දිගින් දිගටම වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබුණේ වුවද මෙම ප්‍රතිචාරය විසින් යුද සමයේ සිදුවූ අපරාධ, යුද්ධයක් අතරතුර නොවැළැක්විය හැකිව තිබෙන තත්ත්වයක් ලෙස පෙන්වා දීමට ආණ්ඩුව උත්සාහ කර තිබේ.

සංහිඳියා භීතිකාව

රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වූ වහාම අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත සමාලෝචනය කළ යුතු බව කීවේය. ඉන් පසු යහපාලන රජය විසින් 2015 සහ 2019 වසරවලදී සමඅනුග්‍රහකත්වය දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවලින් වහා ඉවත් වීමට රජය තීරණය කර ඇතැයි පසුගිය පෙබරවාරියේ නිවේදනය කරනු ලැබීය. හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සංචාරක සීමා පැනවීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම යෝජනාවලිය අකුලා ගැනීමට තීරණය කළ බව ආණ්ඩුව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන්නා වූ මෙම යෝජනාව ඉවත්කර ගැනීම මාර්තු මස අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාචික ප්‍රකාශයට, අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ඉදිරිපත් කෙරෙන සංහිඳියා ක්‍රියාදමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතනවල සහය ආණ්ඩුව ප්‍රතික්ෂේප නොකරන බවයි.

එහෙත් ජනාධිපතිවරයා රණවිරු සැමරුමට සහභාගී වෙමින් කියා සිටියේ,ිරටට සහ රණවිරුවන්ට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනයේ හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට තමන් පසුබට නොවන බවයි’.

මැතිවරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගැනීම

ආණ්ඩුව 30/1 යෝජනාවලියෙන් ඉවත් වන බව කීවේද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමාලෝචනය කරන බව කීවේද පූර්ව මැතිවරණ ප්‍රචාරයන් ලෙස දැයි යන සැකය පවතී. පසුගිය මාර්තු 02 වැනිදාවේ පාර්ලිමේන්තුව විසුරවන විට ආණ්ඩුව මෙම ප්‍රචාරයන් කරමින් සිංහල ජාතිකවාදීන්ගෙන් ලකුණු රැස් කර ගනිමින් සිටියේය. අප්‍රේල් 25 පැවැත්වීමට තිබුන මැතිවරණය එළැඹෙන අගෝස්තු මස පැවැත්වෙන නිසා නැවත වටයකින් රටේ ස්වෛරීත්වය පවා නොදෙන බවට සපථ කිරීම්, රණවිරුවන් දඩයම, ජාතික ආරක්ෂාවට ඇති තර්ජන, මුස්ලිම් අන්තවාදය, සයිබර් ප්‍රහාර, ජාතිවාදය, ආගම්වාදය කරලියට ඒමට නියමිතය. කොරෝනා වසංගතය මර්දනයට හමුදාව යොදා ගැනීමෙන් සිවිල් ක්‍රියාකාරකම් සඳහා හමුදාව මැදිහත් කරවීමට ආණ්ඩුව සමත්ව තිබේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනද මාධ්‍ය සංදර්ශනයක් ලෙසින් පැමිණේ. මේ සියලු‍ තත්ත්වයන් විමසා බැලු‍ විට එළැඹෙන මහ මැතිවරණයේදී ජාතික සමගිය හෝ සංහිඳියාව දකුණේ කිසියම් ම හෝ අපේක්ෂකයෙකුගේ ඡන්ද සටනේ ප්‍රධාන සටන් පාඨයක් වනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකිය.

විපක්ෂයේ ස්ථාවරය

2015 වසරේ ශ්‍රී ලංකාවේ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කර ගත් 30/1 යෝජනාවලියට සමඅනුග්‍රාහකත්වය දෙනු ලැබුවේ යහපාලන රජයයි. ඒ අනුව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා ඇති කර ගැනීම ඇතුලු‍ ප්‍රබල යාන්ත්‍රණ ගණනාවක් මන්දගාමීව නමුත් ඇති කර ගැනීමට යහපාලන ආණ්ඩුව සමත් විය.

රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස් වෙතින් නිර්දය විවේචනයට ලක්වන්නේද දැන් අකුළා දැමීමට සැරසෙන්නේද එම සංහිඳියා ක්‍රියාවලියයි. එහෙත් ඊට එරෙහිව විපක්ෂයෙන් කිසිදු තිව්‍රර හඬක් දැන් නොනැගෙන තරම්ය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රධාන විපක්ෂය බෙදීමේ මතු පිට හේතූන් බොහොමයක් පෙනුනද සෑබෑ හේතුව මෙම ජාතික ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරය යැයි අනුමාන කළ හැක.

සමඟි ජනබලවේගයේ අගමැති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මීට පෙර සිය ජනාධිපතිවරණ රැළියකදි කියා සිටියේ, අපේ රට කළ යුත්තේ කුමක්දැයි වෙනත් බාහිර රටවලින් උපදෙස් නොගත යුතු බවයි. එසේම ත්‍රස්තවාදය තුරන් කිරීමේ ජාතික ප්‍රයත්නයට නායකත්වය දුන් නිලධාරියෙකු වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ අයට සංචාරක තහනම් පැනවීමට තමන් එරෙහි වන බවත්ය.

කෙසේ වුවත් කෝවිඩ් මර්දනයේදි ආණ්ඩුව පෙන්වූ මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායකවරයාගේ ද හඬ නෑසුන තරම්ය. ඒ අනුව ආණ්ඩුව සහ විපක්ෂය සිංහල – බෞද්ධ ඡන්ද සඳහා අනුගමනය කරන්නේ එකම උපක්‍රමය බව පැහැදිලිය.

මිලිටරීකරණය

‘ශ්‍රී ලංකාව විසින් කෝවිඩ් 19 සම්බන්ධයෙන් දක්වනු ලබන හමුදාකරණය වූ ප්‍රතිචාරය සිවිල් අධීක්ෂණයකින් තොර වීම බරපතළ මානව හිමිකම් ගැටලු‍ මතු කරන බව’ සත්‍ය යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය අප්‍රේල් 08 වැනිදාවේ නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ.ිසංකීර්ණ මහජන සෞඛ්‍ය සහ බෙදාහැරීම් සම්බන්ධීකරණය කළ යුත්තේ සිවිල් සේවයේ පළපුරුදු වෘත්තිකයන් මිස යුද හමුදාව නොවන බව’ එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා යැස්මින් සූකා අවධාරණය කරයි.

2019 නොවැම්බරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවෙහි ප්‍රජා අවකාශය වසා දැමීම හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමත් වේගවත් වී තිබෙන බව මාර්තු 03 වැනිදාවේ වාර්තාවක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

‘අපේ සමාජය තුළ සිවිල් හා මිලිටරි වශයෙන් කෘතිම බේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ට උත්සාහය හෙළා දකිමු. කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියෙක් පත්කරනු ලැබුවහොත් එය මිලිටරීකරණය හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සාමාජිකයෙකු නොවේ’ යනුවෙන් මැයි 18 වැනිදාවේ රණවිරු සැමරුම වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසයි.

කාර්ය සාධක බලකායන්

එහෙත් ජුනි 2 වන දින ජනාධිපතිවරයා දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 13 දෙනෙකුගෙන් යුත් “සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නිත්‍යනුකූල සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය”ක් පිහිටුවමින් ගැසට් පත්‍රයක් නිකුත් කළේය.ිමෙම කාර්ය සාධක බලකාය සිය බලතල තවදුරටත් පුළුල් කිරීම සඳහා කෝවිඩ් 19 වසංගතයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන රජයක් විසින් ඉක්මවා යා හැකි තවත් ක්‍රියාවක් වන බවත් ශක්තිමත් ස්වාධීන සිවිල් නායකත්වයෙන් යුතු ප්‍රතිපත්ති සම්පාදනය අවශ්‍ය වන මොහොතක, එම වරම ඉක්මවා ගොස් හමුදා සහ පොලිස් සාමාජිකත්වය බලගන්වන’ බවත් ජාත්‍යන්තර විනිසුරන්ගේ කොමිසම ජුනි 05 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කලමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට ජුනි 02 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එහි ගැටලු‍ව ඇත්තේ, නැගෙනහිර වැනි මුස්ලිම් දෙමළ බහුතර ප්‍රජාවක් ජීවත් වන ප්‍රදේශයක කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 10 දෙනාම සිංහල පමණක් වීමෙහිය.

මාධ්‍ය හැසිරීම

සංහිඳියාව ගොඩනැගීමෙහිලා විශාල කාර්ය භාරයක් ජනමාධ්‍ය වෙත පැවරී තිබුණද බහුතරයක් මාධ්‍ය කටයුතු කරන්නේ එයට ප්‍රතිපක්ෂවය. ලංකාවේ මෙන්ම ලෝකයේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළද කෝවිඩ් 19 වසංගතය සමඟ ජාතිවාදී ආගම්වාදී වංසගතය ද ඉස්මතු වනු පැහැදිලිව අත්දකින්නට ලැබෙන අතර ඒ සඳහා ජනමාධ්‍යයේ දායකත්වය විශාලය.

කෝවිඩ් 19 ආශ්‍රිතව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ හා ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කොට ඇති වෛරී ප්‍රකාශනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැත. මුස්ලිම්වරුන් හිතුවක්කාරී ලෙස ඇඳිරී නිතිය කඩ කරන බව, ඔවුන්ගේ වගකීම් විරහිත හැසිරීම් වසංගත ව්‍යාප්තියට හේතු වන බව, ආගමානුකූලව අවසන් කටයුතු කිරීමට තැත් කිරීමේ හානිය ප‍්‍රධාන දාරාවේ මෙන්ම බොහෝ සමාජ මාධ්‍ය විසින් සමාජ ගත කරන කතාය. මේ තත්ත්වය කෙතරම් බරපතළ වූයේද යත් සොඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් වෙනම උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද සිදුවිය.

නමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති හිටපු ඇමැති තොණ්ඩමන්ගේ අවමංගලය උත්සවය සහ ඔහුගේ ප්‍රත්‍රයාගේ කළ එළිබැසීම උත්සවයේ නිරෝධායන උපදෙස් කඩවූ ආකාරය එම මාධ්‍ය විසින්ම එතරම් ගණන් නොගෙන සිටීමෙන් පෙනෙන්නේ එම මාධ්‍ය ක්‍රියාත්මක වන න්‍යාය පත්‍රයයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම

‘රටේ වත්මන් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව රට පාලනය කිරීමේ අපේක්ෂාව රජය විසින් ප්‍රකාශ කර ඇති අතර එය බරපතළ ව්‍යවස්ථා අර්බුදයකට තුඩු දී ඇති බව’ පසුගිය 29 වැනිදාවේ ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියි.

මාර්තු 02 වැනිදාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවා හැරීමෙන් අනතුරුව මේ වන තෙක් පාර්ලිමේන්තුව ඇත්තේ අක්‍රීයවය. පාර්ලිමේන්තුව හා අධිකරණය යන දෙකම අක්‍රීය වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා තනිව රට පාලනය කිරීමෙන් ආණ්ඩු‍ක්‍රම ව්‍යවස්ථාව මගින් රට පාලනය කිරීම යන සංකල්පය නොතකා හැර ඇති බව පෙනෙන්නට තිබේ. ජනතාවගේ ස්වෛරීත්වය නියෝජනය කරන පාර්ලිමේන්තුව අකර්මන්‍ය වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බරපතළ බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබේ. ජනාධිපතිවරයාද වගකිව යුතු ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි. එය අක්‍රීයව තිබිමෙන් වසංගතයට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව පියවර ගැනීම සමඟ බරපතළ නීතිමය විෂමතා මතු විය. විශේෂයෙන්ම සමාජ දුරස්ථකරණය සඳහා පැන වූ ඇඳිරි නීතිය, අපදා කලමනාකරණයද ඇතුළුව විවිධ කාර්යන් සඳහා වරින් වර පත් කළ කාර්ය සාධක බලකායන් පාර්ලිමේන්තු අනුමැතියකින්, අධීක්ෂණයකින් තොරව වලංගු වී තිබේ. රටේ වාර්ගික සහ ආගමික විවිධත්වය නියෝජනය කරන ආයතනය වන පාර්ලිමේන්තුව තුළ සංවාදයකින් තොරව මේ දේවල් සිදුවීම, සියලු‍ ජන කණ්ඩායම් තීරණ ගැනීමේ ක්‍රියාවලියට හවුල් කර ගැනීම සහමුලින් අහෝසි වීමකි.

සිවිල් සමාජයේ ඉටුකම

සංහිඳියාව ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම පසුගිය කාලය පුරා සිවිල් සමාජ න්‍යාය පත්‍රයේ ප්‍රධාන තැනක් ගත්තේය. එහෙත් කොරෝනා වසංගතය විසින් ඇති කර තිබෙන සමාජ දේශපාලනික ව්‍යාකූභාවය, විපක්ෂය දුර්වල වීම, මැතිවරණය මානසිකත්වය, මිලිටරිකරණය, මෙන්ම ආණ්ඩුවේ සංහිඳියා විරෝධය විසින් සංහිඳියා වැඩපිළිවෙළ ඉදිරියට ගැනීම අධෛර්යමත් කර ඇත.

මේ සංහිඳියා ගමනක නිමාවද? මේ අභියෝගය තුළ අවස්ථාවක් ඇත්තේම නැද්ද? මැතිවරණ කාලය, සංහිඳියා න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ඒමට අවස්ථාවක් කරගන්නේ කෙසේද? කොරෝනා වසංගතය විසින් ඇති කර තිබෙන ව්‍යාකූලභාවය සංහිඳියා ක්‍රියාවලියට උපකාරයක් කර ගත නොහැකි ද? ආගමික සංස්ථාවන් සහ මාධ්‍ය සංස්ථාවන් වෙත බලපෑම් සහගත වන විකල්ප සමාජ මතයක් ගොඩනගන්නේ කෙසේද? රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සංහිඳියාව දෙසට හරවා ගන්නේ කෙසේද? පසුගිය කාලයේ ආණ්ඩුව සහ රාජ්‍ය ආයතන සමග එක්ව කෝවිඩ් 19 සඳහා ප්‍රතිචාර දැක්වූ යාන්ත්‍රණයක් ලෙස කටයතු කළ සිවිල් සමාජ ව්‍යාපාරයට දැන් එම ක්‍රියාවලිය සංහිඳියාව දක්වා දිගු කළ නොහැකි ද? රටේ ආර්ථීකය ගොඩ නැගීම ජාත්‍යන්තර ආයතනවල සහයෝගයෙන් තොරව සිදුකළ නොහැකිය. මේ සියලු‍ අවස්ථාවන් සදහා මැදිහත් වීමට සිවිල් සමාජයට අවස්ථාව තිබේ.

සිවිල් සමාජය ලෙස අප මෙතෙක් පෙනී සිට ඇත්තේ සමාජයේ ජනප්‍රිය නොවන මතවාදයන් වෙනුවෙනි. සිවිල් සමාජය තමන් සතු සීමිත සම්පත් උපරිම අයුරින් ආයෝජනය කරමින් ජාතික සමගිය සදහා නිරීක්ෂක සහ සාධනීය මැදිහත් වීමක් කළහැකි පුරවැසි බලවේගයක් නිර්මාණය කර ගැනීම මේ මෙහොතේ කළ යුතුම එවැනි ජනප්‍රිය නොවන දෙයකි.

 

ජයනි අබේසේකර විසින් සමබිම ඉරිදා අතිරේකය සඳහා ලියන ලද ලිපියකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here