සජබ නඩය යන්නේ කොහාටද? – (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

0
242

මෙවර අතුරු අයවැය ඡන්ද විමසීමේදී සමගි ජන බල වේගය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඊට හේතු කාරණා “ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සිරකරුවෙකු වීමය. (සජිත් ප්‍රේමදාස) , “අයවැය හොඳ වුවද, ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නිසාය.” (හර්ෂ සිල්වා) , “ ලබන මැතිවරණයට එජාපය සහ පොහොට්ටුව එකට ඡන්ද ඉල්ලීමය. (රෝහණ බණ්ඩාර) , “අයවැය කියා අපට ආණ්ඩුව හුරතල් කරන්න බෑ (මුජිබර් රහුමාන්) ආදි සජබ නඩය කළ ප්‍රකාශ හරහා තේරුම් ගත හැකිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ පවුලේ ග්‍රහණය තුළ සිර වී සිටීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. සජිත්  හෝ ඩලස් ජනාධිපති වුවත්, පොහොට්ටු බහුතරය සමග වැඩ කළ යුතුවේ. යම් පමණකට හෝ ආකල්ප වෙනස් සිදුවන්නේ පුද්ගලයා අනුවය.

පුද්ගලිකත්වය ගත් විට, සජබ නඩය ඩලස්ට වඩා රනිල් සමීපය. එකඟ විය හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අතුරු අයවැය සම්බන්දව සජබ නඩය මෙසේ හැසිරෙන්නේ ඇයි?

ගිය සතියේ අප අනිද්දා පත්‍රයෙන් පැහැදිලි කළ පරිදි, රාජපක්ෂලාට සින්න විමට නොදී ජනාධිපති රනිල්ගේ මතවාදි දැක්ම ශක්තිමත් කොට, රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහන ලබා දීම සජබයේත් අරගලයේත් වගකීමකි. ගෝඨාභය පළවා හැරීයාට පොහොට්ටුවේ පාර්ලිමේන්තු බහුතර බලය එසේමය.

 

අරගලයේ අපේක්ෂාවන් දිනා ගැනීමට නම් පාර්ලිමේන්තුවටත් ඉහළින් ක්‍රියාත්මක විධායක ජනාධිපති නම් බර අවිය හැසිරවීම විපක්ෂය වග බලා ගත යුතුවේ.   ඕනෑම අරගලයකදී අවි ආයුධ සතුරන් අතට පත් කිරීම ප්‍රායෝගික නොවේ.  ලංකා ඉතිහාසයේ 1818 කැරැල්ල අසාර්ථක වී කැප්පෙටිපොලලා මැරුම් කෑවේ, ඉංගිසින් සතු අවි ආයුධ ඔවුන්ටම භාරදී කැති පොලු කඩු රැගෙන දේශප්‍රේමී වර්ණාන්ධ භාවයෙන් හැසිරුණ හේතුවෙනි.

 

බඩගින්නට නැතිබැරිකමට දේශයක් භාෂාවක් ආගමක් සංස්කෘතියක් නැත. ජනතා මුදලින් තුන් වේලම යහමින් කනබොන පාර්ලිමේන්තු පර පුට්ටන් මේ මොහොතේත් ජනතා උවමනාවන්ට වඩා සිය නායකයන් වෙනුවෙන් කඩේ යති.

සජබය අයවැය මග හැරීමෙන් සජිත්ගේ කුහකකම සහ දේශපාලන මන්ද බුද්ධික භාවය පෝෂණය කරනු පමණකි. හර්ෂ සිල්වාලා, මරික්කාර්ලා මුජිබර් රහ්මන්ලා හෘදය සාක්ෂියට එකඟව තමන්ට ගැලපෙතැයි කියන ප්‍රතිපත්තින්ට සහාය නො දීමෙන් එය තහවුරු වේ.

 

වසර 17ක් රාජපක්ෂලාට කඩේ ගිය පොහොට්ටුවේ බහුතරය, සිය දේශපාලන ප්‍රති මල්ලව රනිල් වික්‍රමසිංහට සිය සහාය පළ කරමින් සිටින්නාහ. ඊට සාපේක්ෂව දිගු කලක් රනිල්ගේ නායකත්වය පිළිගත් සජබ නඩය සහාය මෙසේ හැසිරෙන්නේ රනිල් රට ගොඩ දැම්මොත් සජිත් ප්‍රේමදාසට කෙළවේය යන බියෙනි.

 

සජබ නඩය ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රතිපත්තින්ට සහාය දෙනවාදැයි පොහොට්ටුවන් විමසමින් ප්‍රශ්නය මඟ හැර යන්නේ එජාප විරෝධයද, රනිල් විරෝධයද, නැති නම් සජිත් කෙරෙහි පවත්නා ගැතිකම නිසාද?

රාජපක්ෂ විරෝධි පනස් පන් ලක්ෂයක් අතරමං කරමින් සජිත් සමගි ජන බල වේගය ආරම්භ කළේ රනිල් සහ එජාපය එකට බැඳ දියේ ගිල්වා විනාස කිරීමටය.

සජිත් සජබය ආරම්භ කරන විට, ගෝඨාභය රටේ ජනාධිපතිව සිටියේය. ඒ මොහොතේ රටට අවශ්‍ය තිබුණේ රාජපක්ෂ පාලනයට මුහුණ දිය හැකි ශක්තිමත් බලවේගයක් මිස, පුද්ගල න්‍යාය පත්‍රයක් නොවේ. හරියටම සියල්ල අමතක කොට වර්තමානයේ රට ගොඩ දැමීම මෙන් පොදු අරමුණකි.

සජිත් සහ සජබය එදා මෙන් අදත් තම තකතීරු දේශපාලනයෙන් මිදී නැත. සජබයට අදත් මාතලේ රත්නපුර අනුරාධපුර දිස්ත්‍රික් සඳහා නායකයත් පත් කළ නොහැකිව ලතවන්නේද ඒ නිසාය.

image 8ed0afd10e
න්‍යායාත්මක දැක්මක් තිබුණා නම් සජිත් කළ යුතුව තිබුණේ 2020 මහ මැතිවරණයෙන් පොහොට්ටුවට ඒකරාශී වන ජන මතය දිය කිරීමය. එහෙම කල්පනා කළා නම් පොහොට්ටුව තුනෙන් දෙකක් ගන්නේ  නැත. සජිත් එදා මෙන් 2022දීත් රටේ නායකත්වය භාර නො ගැනීමෙන් කරගත් හානිය සුළුපටු නොවේ.

සජිත් රනිල්ගෙන් එජාලයෙන් කැඩී වෙන් වූ දවසේ මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පතිවරයා මූ බූරුවෙක් යයි කී විට, ඒ කවුදැයි අසන තරමට මම අන්දමන්ද වීමි. ඔහු සිනාසෙමින් කීවේ ප්‍රේමදාසගේ පුතා කියාය. ඔහු ඉත්තේරුවටම රාජපක්ෂාලට තුනෙන් දෙක ලැබෙන බවට අනාවැකි කීය.

ඔහු කීවේ ඇත්තකි. 1919 වන විටත් රටේ 95 පැට්රල් ලීටරය රුපියල් එකසිය විසි ගණනකි. ගෑස් සිලින්ඩරය එක් දහස් හතලිස් ගණනකි. පාන් රාත්තල කීයද? පැනඩෝල් පෙත්ත කීයද? 2018 නොවැම්බරයේ  මහින්ද වෙනුවට, රනිල් වෙනුවෙන් පෙනී සිටි සජිත්ලා, හර්ෂලා, මුජිබර්ලා, මරික්කාර්ලා රෝහිණි විජේරත්නලා තලතා අතුකෝරාළා 2022 ජූලියේ රනිල් වෙනුවට එදා මහින්දට අත ඉස්සූ ඩලස් වෙනුවෙන් පෙනී සිටියහ.

මේ අවස්ථා දෙකේදීම පාර්ලිමේන්තු බහුතරය ජනතාව වෙනුවෙන් පෙනී සිටියහ.

20 වෙනි සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා අහෝසිව, අධිකරණය ව්‍යවස්ථාදායකය පසෙකට තල්ලු කර ගෝඨාභයලා ගිය ගමන හේතුවෙන් රට වැටීමට රාජපක්ෂලා තරමටම වගකිව යුතු සජබ නඩය සජිත් වෙනුවෙන් අදත් රටට ඒ විනාසය කරමින් සිටියි.

 

ගෝඨා බලයට පත්ව එක් අවුරුදු අට මසක් ගෙවුණ තැන පොහොට්ටුවේ බහුතරයට ගෝඨා වෙනුවට රනිල් රටේ ජනාධිපති කරවීම යනු යථාර්ථය දැකීමකි. වරද නිවැරදි කිරිමකි. 2020දි රනිල් ප්‍රතික්ෂේප කළ සජබ නඩය, අදත් රනිල්ට වෛර කරති. සජබය මග හැරීමෙන් වැටෙන්නේ රනිල් වික්‍රමසිංහ නොවේ. හේතුව ඔහුට වැටෙන්න තැනක් නො තිබීමය. වැටෙන්නේ රටේ බඩගින්න විරැකියාව නිසා ඔත්පලව සිටින රටේ ජනතාවය.

 

නීතිය අක්‍රිය කොට, ව්‍යාපාරිකයන්ට බදු සහන දෙමින් රට කරවූ රාජපක්ෂ ක්‍රමය වෙනුවට රනිල්ට රට භාර දීමත් සිස්ටම් චේන්ජ් එකකි.

කෙටි කාලීන සහ දිගුකාලින දැක්මකින් මිස මේ රට වැටි ඇති තැනින් ගොඩ ගත නොහැකිය.

ජනාධිපති තේරීමේදී සජබය සහාය දුන්නේ ඩලස්ටය. ඩලස් පොහොට්ටුවේය. නිකම්ම පොහොට්ටුවෙක් නොවේ. වාසුදේවලා මෙන් දශකයකට වැඩි කලක් මැද මුලන ගේට්ටුව ළග දනින් වැටී සිටි දැක්මෙන් ශක්තියෙන් දිළින්දෙකි.

මේ අවුල රටේ නිර්මානය නො වුණා නම්, නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති කරවීමටත් සැදී පැහැදී සිටි ඩලස් වෙනුවෙන් හර්ෂ සිල්වා සැකසුවේ යහ පාලනයේ ආර්ථික දෘෂ්ඨියට අනුගත ආර්ථික වැඩ සටහනකි. එකී සාධනීය වැඩ සටහන සජබය, රනිල් ජනාධිපති නිසා ප්‍රතික්ෂේප කරයි. ඩලස් ජනාධිපති වුණා නම් හර්ෂලා එරාන්ලා පොහොට්ටුව සමග ඒ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවාය.

මෙහෙම කියන්නේ ඩලස්ගේ නම යෝජනා කළ සජිත් පවා පොහොට්ටු බහුතරය ඩලස් වෙනුවෙන් පෙනී සිටිතැයි විශ්වාස කිරීමය.

 

ඒ අනුව, සජබ නඩය මේ කැස කවන්නේ ජනාධිපති රනිල් විනාස කිරීමේ දේශපාලන යාගයට රනිල් නිසා යන්තම් හුසුම ගන්නා රටේ ජනතාව බිලි දීමට ය.  ගෝඨාභය පළවා හැරියද, විධායක බලය බැසිල් රාජපක්ෂ විසින් රිසි සේ හසුරවමින් සිටින්නේද සජිත්ලාගේ මේ කුහකකම නිසාය.

 

ඔවුන් ඉල්ලා සිටින මැතිවරණය කිසි විටෙකත් පාර්ලිමේන්තු බහුතරය විසින් ලබා නොදෙනු ඇත. අයවැය පරාද කර ඒ අරමුණ ඉටු කර ගැනීමට සජබය උත්සාහ නො කළේ ඉක්මන් නත්තලට අකමැති කළුකුමාලා මෙන් හදිසි මැතිවරණයට පාර්ලිමේන්තුවේ කිසිවෙකු කැමති නැති නිසාය.

කොවිඩ් කාලයේ බෙදූ රුපියල් 5000.00ක මුදල රුපියල් 25000.00ක් විය යුතු යයි මොර දුන් සජිත් ප්‍රේමදාස හෘදය සාක්ෂිය එකඟ නම් කළ යුතුව තිබුණේ ඩලස්ට මේ කප් දමා ජී.එල්.ගේ දේශපාලන නාඩගමද සමග අයවැය ශක්තිමත් කිරීමය.

සජිත්ගේ විධානයට බියවී දරුවන් අධි මන්ද පෝෂණයේ බවත් ලංකාවේ හැට එක් දහසකට කන්ඩ නෑ කියන රෝහිනී විජේරත්නලා ප්‍රතික්ෂේප කළ රනිල්ගේ ඇයවැය සහන මල්ලකි.

අඩු ආදායම් පවුල් 61000කට රුපියල් 10,000.00 බැගින් යෝජිත දීමනාවක්, සමෘද්ධි සහනාධාරය රුපියල් 5000,00 සිට රුපියල් 7500.00 තෙක් වැඩි කිරීම සම පොරොත්තු ලේඛනයේ දිළින්දන්ට රුපියල් 5000.00ක දීමනා යෝජනාවක්, ගැබිනි මව්වරුවන්ට රුපියල් 20,000.00ක වර්තමාන දීමනාවට අමතරව, රුපියල් 2500.00ක අමතර දීමනාවක්, ආදි ක්ෂණික සහන සැලසීමය.

එකී සහන ඇතුළත් අන්තර් අයවැය සහ පක්ෂ දේශපාලනය අතර ඇති ගැලපීම කුමක්ද? මේ සහන ජනතාවට ලැමේ නම් ඒ කාගෙන්ද යන්න ප්‍රශ්නයක් වන්නේ කෙසේද? රෝහිනීලා, හර්ෂලා, මරික්කාර්ලා මේ කැස කවන්නේ සජිත්ගේ අනාගත හතුරා නිශ්ක්‍රිය කිරීමට මිස රටට ආදරයෙන් නොවේ.

එසේම සමාජ ආරක්ෂණ පනත් කෙටුම්පත නීතියක් වීම වැළැක්වීමට ජවිපෙය සමග සජබය ක්‍රියාත්මක වේ. රජයේ ආදායමෙන් 80%ක් වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැයවේ. ණය සහ පොලී සඳහා 70%ක් වැය වේ. කකුල් මාට්ටු දැමීමෙන් මේ වැය බර සජිත් ජනාධිපති වන ආණ්ඩුවත් දරන්නට සිදු වුණොත් එදාටත් ජවිපෙය ඒකම කරනු ඇත.

107091259 1658301922067 gettyimages 1240907474 SRI LANKA WICKREMESINGHE
මැයි 9 වෙනිදා හිස් වූ අගමැති පුටුවේ හිමිකම විපක්ෂ නායකට අයිති වුවද, එය එසේ නො වුණේ අර්බුදය නම් මරාලයට බිය වූ  සජිත්ගේ දේශපාලන නපුංසක භාවය නිසාය. රනිල්ට රටේ විධායක ජනාධිපති පුටුව තෙක් යන මාවත කැපුණේ එහෙමය.

සජිත් දැමූ සද්දයට ගෝඨා ගියා නම්, රටේ ජනාධිපති වන්නේ මහින්ද හෝ බැසිල් මිස, වසන්ත මුදලිගේවත් පැතුම් කර්නර්වත් නොවේ. මොනවා හෝ කියා සජිත් මග හැරිම ගැන සජබය අදටත් බෙදිලාය.

පොදු යහපත පිණිස කැප වන්නෙකු වෙනත් ආශාවන් කෙරෙහි ඇති පවත්නා ආශාවන් තුනී කළ යුතු යයි වර්ගීස් කුරියන් නම් භාරත කිරි විප්ලවයේ පියා ලෙස සැලකෙන විශිෂ්ඨ ඉන්දිය ජාතිකයා කියා තිබේ. මේ ප්‍රකාශය සජිත් ප්‍රේමදාසලා අහලාවත් නැතුවාට සැක නැත.

2022 මාර්තුවේ ගෝඨා කැඳවූ රනිල්ද සහභාගි වූ සර්ව පාක්ෂික සමුළුවට සජිත් නො ගියේ තමන්ට වඩා රනිල්ට ප්‍රමුඛ මාධ්‍ය ආවරණයක් ලැබේ යයි යන සැකය නිසා ය.  එකී සමුළුව ආරම්භයේම ගෝඨාට ප්‍රසිද්ධියේ රනිල් ගෙන් සමාව ගැනීමට සිදුවීමෙන් සජිත් තිගැස්සී ගිය බව කියති.

 

එකී සමුළුවේ දී රනිල් රට ගොඩ ගැනිමට කොන්දේසි විරහිතව සහාය දිය යුතු යයි කළ ප්‍රකාශය හෙටටත් වලංගුය. ඊට අනුගත නො වුණහොත් අනාගතයට අපට ඉතිරි වන්නේ ඇද වැටුණ රටකි. නටඹුන් දේශයකි.

 

කෑදරකම සහ නායකත්වය හඳුනා නො ගැනීම නිසා සජබ හැමදාම පරාදය. තම පියාගේ දේශපාලන වපසරිය වූ මැද කොළඹ අතහැර සජිත් හම්බන්තොට තෝරා ගත්තේ යාල සහ වන සත්ව අරමුදල් පිළිබඳ පැවති බැඳියාව නිසාය. 2000දී සජිත් කළ දේශපාලනික වරද නිවැරදි කළේ විසි වසරකට පසුව, 2020දීය.

2019 ඔක්තෝබර් 3 වෙනිදා එජාපය ජනාධිපති අපේක්ෂකයා ලෙස  සජිත් නම් කරන විට, ඇල්පිටිය පළාත් පාලන අතුරු මැතිවරණයට තිබුණේ දින 08 කි. එජාප ජයග්‍රාහි රැළිය ඔක්තෝබර් 11 වෙනිදා පසුව පැවැත්විය යුතුය යන එජාපයේ කැමැත්තට එරෙහිව සජිත් ඔක්තෝබර් 11 වෙනිදාට කැඳවූ  ගෝල්පේස් රැළියේ රැස් ප්‍රභා ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලයෙන් සේදී ගියේය.

අයවැය මග හැරීම සජිත්ගේ අලුත්ම  දේශපාලන තීන්දුව වේ. පසුගිය මාර්තු අවසානයේ රටේ දේශපාලනය ගැන විග්‍රයක් කරමින් මේ ලියුම්කරු 2022 අප්‍රේල් 03 දින අනිද්දා පත්‍රයට ලියු ලිපියේ මෙසේ දැක්වේ.

පසුගිය මාර්තු 23 වෙනිදා පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ එජාප නායක රනිල් සංවිධානය කළ සත්‍යග්‍රහයට මාර්තු 25 දින සජබය නියෝජනය කරන පාඨලීගේ 43 කණ්ඩායම එක්විය. සර්ව පාක්ෂික සමුළුව යනු දේශපාලන කතිකාවක් නොව රටේ ප්‍රශ්නය සම්බන්ධව ගොඩ නැගෙන එකමුතුවකි. මේ වනවිට සමුළුවට සහභාගිවීම නිසා රනිල් නව චරිතයක් ලෙස ගොඩ නැගෙනු දැකිය හැකිය. එය සජිත්ගේ දේශපාලන අනාගතයට තර්ජනයකි. සජිත් සමුළුවට නොයාමේ තීරණය සජබය තුළම අවතක්සේරු වෙමින් පවතී.

 

ගිය සතිය අවසන් වන විට, තැනින් තැනට යමින් සිටි පාඨලී චන්ද්‍රිකාට එකතු විය. සජබයේ කුමාර වෙල්ගම නව පක්ෂයකට අත් පොත් තැබීය.

 

සැප්තැම්බර් 6 වෙනිදා පැවති එජාප සංවත්සරය සර්ව පාක්ෂික හමුවකි. යථාර්ථය යනු මගහැර යා නොහැකි බලවේගයකි. ගෝඨා ගෙදර ගොස් රනිල් රටේ පාලකයා වුණේ 2015 ජයග්‍රාහී යථාර්ථයට ඉඩ සලසමිනි.

සජිත් ඇතිව හෝ නැතිව ඒ යථාර්ථය යළි සක්‍රිය වෙමින් පවතී.

අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here