සජිත්ගේ පක්ෂ ඇතුලේ ගැටුම් : ශිරාල්, කීර්ති, සාලි හා මෛත්‍රී කොන් කරයි

0
88

Featured

හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක හා හිටපු  ආණ්ඩුකාරවරුන් වන කීර්ති තෙන්නකෝන් හා අසාත් සාලි යන මහත්වරුන්  සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන ‘සමගි ජන බලවේගයේ’ කිසිඳු තනතුරකට හෝ වගකීමකට පත් නොකිරීමට එම පක්ෂයේ බලධාරීන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අසාත් සාලි, ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබීම නිසා පක්ෂ නායකයාට එරෙහිව දිගින් දිගටම අවලාද අපහස සිදු කිරීමත්, නීතිඥ ශිරාල් ලක්තිලක සහ කීර්ති තෙන්නකෝන් යන දෙදෙනා පක්ෂය තුල දෙවන නායකත්වයක් ඉස්මතු කරලීමට හා කල්ලි කණ්ඩායම් ගොඩනැගීමට උත්සහ දැරීමත් නිසා එවැනි තීරණයක් ගෙන ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර සජිත් ප්‍රේමදාස පත්කිරීමට දේශපාලන කැරැල්ලක් මෙහෙයවූ ශිරාල් ලක්තිලක ‘සමගි ජන බලවේගය’ ගොඩනැගීමට විශාල කාර්යභාරයක් ඉටුකල අයකු ලෙස සැලකේ. 

එසේම, රජිත කීර්ති තෙන්නකෝන් ද සමගි ජන බලවේගය ගොඩනැගීමෙන් පසු එහි මාධ්‍ය අංශයේ ප්‍රධානියකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී මෙන්ම ඉන් අනතුරුවද විශාල කාර්යභාරයක් කළ අයෙක් බව පැවසේ. 

කෙසේවුවද ඔවුන් දෙදෙනාට ‘සමගි ජන බලවේගයේ’ කිසිඳු වගකීමක් නොදීමට තීන්දු කර ඇත්තේ, අලුතින් ගොඩනගමින් සිටින දේශපාලන ව්‍යාපාරයක ප්‍රධානින් ලෙස ඔවුන් කටයුතු කරන බවටත්, එහි නායකයා 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති බවටත් ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් බවද පැවසේ. 

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කමිටුවට හෝ නීතිඥ ශිරාල් ලක්තිලක එක්කර නොගැනීමට තීන්දුකර ඇත්තේ ඒ අනුව බව වාර්තා වේ. 

මෛත්‍රීටත් කැපිල්ලක් ! 

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ හිටපු ආණ්ඩුකාරවරයකු වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ද පක්ෂයේ වැඩකටයුතු වලින් කොන්කර ඇතැයි වාර්තා වේ. 

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රීක් සංවිධායකයකු ලෙස පසුගිය මහ මැතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත්වූ ඔහුට පසුගිය සෙනසුරාදා සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමට ආරාධනා කර නොතිබුන අතර පක්ෂයේ ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා බණ්ඩාරවෙල හෝටලයේ පැවති රැස්වීමට ද ආරාධනා කර නොතිබිණ. 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත්කර ගැනීම සඳහා ඔහු හා ශිරාල් ලක්තිලක විසින් මාතර සිට කොළඹ දක්වා සංවිධානය කර තිබු පාගමනට මාතර නගරයේදී ප්‍රහාරයක් එල්ලවූ අතර එය ‘කුරුඳුපොලු සටන ‘ ලෙස දේශපාලන ඉතිහාසයට එක්ව තිබේ.

මූලාශ්‍රය – ද ලීඩර්
(srilankamirror)