සජිත් 2020 මහ මැතිවරණයට !පොදු සන්ධාන අපේක්ෂකයා 2019 ජනාධිපතිවරණයට!

0
49

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ රත් වූ දේශපාලන පිටිය ඒ උණුසුමින්ම ජනාධිපතිවරණයකටද මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව දැන් ප්‍රධානම මාතෘකාව වී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සහ අපේක්ෂකයන් කවුරුන්ද යන්නයි.

ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මෙම කාරණයේදී දැඩි උණුසුම් මතවාදයන් සමඟ ගැටෙමින් තිබෙන අතර අනෙක් පසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ද අපේක්ෂකයන් මවමින් තිබේ.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයද වරින් වර එක එක වර්ගයේ මුට්ටි දමමින් බලන අතර තවමත් හරි හැටි දෙයක් කරගැනීමට ඔවුන්ටද හැකි වී නැත.

දේශපාලනය වෙනස් වන වේගය අනුව හෙට කුමකින් කුමක් වේවිද යන්නත් සැක සහිත පසුබිමක තවත් අය මේ කුට්ටම් අනා ගන්නා ආකාරය නිරීක්ෂණය කරමින් හිඳියි.

කෙසේවෙතත් දැන් ප්‍රධාන දේශපාලන ධාරාවේ නායකයෙක් දැනටමත් සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

එහෙත් ඔහු තවමත් නිල වශයෙන් පත්කර නැත.

ඒ වෙන කිසිවෙකුත නොව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය.

අවස්ථා කිහිපයකදීම එජාපයේ නායකත්ව පුටුවට සජිත් ප්‍රේමදාස යෝජනා වෙමින් යට යමින් පැවතුණි. දැන් නැවත වරක්  ප්‍රේමදාස සාධකය කරළියට පැමිණ තිබේ.

එජාපයේ ගමේ පොඩි මිනිහාගේ හද ගැස්ම ලෙස හඳුන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ කලබලයත් සමඟ යමක් අමතකව  ගොස් ඇති බව නම් පෙනෙන්ට තිබේ.

දේශපාලන පිටියේ තෙම්පරාදු වූ තැනැත්තන් එය දක්වන්නේ සජිත්ට දැන් එලෝ මෙලෝ නැතිව ඇති තත්ත්වයකට පත්ව සිටින්නේද යන්නයි.

සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම දැන් ප්‍රචාරය කරමින් පවතින්නේ 2020 ජනාධිපතිවරණයක් ගැනය.

නියමිත පරිදි පොතේ හැටියට නම් ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 07 ට පෙර පැවැත්විය යුතු වෙයි. ඒ අනුව ජනාධිපතිවරණය එන්නේ මේ වසරේම අවසන් කාර්තුවේය.

2020ට නියමිතව ඇත්තේ මහ මැතිවරණයයි.

ඒ අනුව 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් සෙවීම හෝ සූදානම් වීම කළ යුතු අතර 2020ට ජනාධිපතිවරණයක් එන්නට විදිහක් නැත.

සජිත් ප්‍රේමදාස සහ සමාගමට ජනාධිපතිවරණ දිනයත් දැන්ම පටලැවී ඇති බවත් මේ පටලවිල්ලේ හැටියට තව මොනවා පටලවා ගනීවිදැයි යන්න බලා හිදීමත් එක්තරා ආකාරයක වින්දනයක් බව එකී සමාගම ගැන දන්නා ඇත්තෝ දැන් පවසති.

එහෙයින් ජනාධිපතිවරු වීමට පෙර කවුරු කවුරුත් කාලය නිවැරදිව නිර්ණය කර ගැනීම වටියි.

[LNW]