තමන්ගේ විවිධ අවශ්‍යතාවයන් උදෙසා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය භාවිතා කරන බොහෝ දෙනෙකු දෛනිකව දකින දසුනක් වන්නේ මාර්ගය දෙපස කුරුල්ලන් හෝ වෙනත් කිසියම් හෝ සත්වයෙකු මියගොස් සිටීමයි.
ඒ අතරට විවිධ වර්ගයේ කුරුල්ලන් කබරයන් සුනඛයන් වැනි විශාල සතුන් ප්‍රමාණයක් අයත් වේ.
අප සැම දෙනාම හොදින් දන්නා කරුණක් වන්නේ මෙම අධිවේගී මාර්ගය මුතුරාජවෙල තෙත් බිම හරහා ඉදිකර තිබීමයි.රටක් දියුණු වන්නේ නම් ඊට අදාලව අධිවේගී මාර්ග ඉදිකල යුතු බව අවිවාධිතව පිළිගත යුතු නමුත් මෙහිදී පැණ නගින කරුණ වන්නේ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන වැඩ කටයුතු සිදුකිරීම සදහා යොදා ගන්නේ කුමන ප්‍රදේශයන්ද යන්නයි.
විශාල ජෛව විවිධත්වයක් ඇති මුතුරාජවෙල වැනි වූ සංරක්ෂිත ප්‍රදේශයක් හරහා මෙවැනි මාර්ග ඉදිකිරීමේදී අප විසින් අවහිර කරන්නේ එම තෙත් බිම තම වාසභූමිය කරගත් දහස්ගණන් වූ සතුන්ගේ දෛනික ගමන් මාර්ගයන් විය හැක.
එම නිසාම අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා විවිධ වර්ගයේ කුරුල්ලන් වේගයෙන් පැමිණෙන වාහන වල ගැටී මියයාම සුලබකරුණකි. ඒ අතර මයිනන් ඇටිකුකලන් වැනි කුරුල්ලන් සුලභව දැකිය හැක. අවස්ථා කිපයකදිම මෙසේ එක් දිනක් තුලදි නිරික්ෂණය කරන්නට යෙදුන , මිය ගොස් සිටි මයිනන් ගණන 5 ඉක්මවා තිබුණි.
එලෙසම පාර හරහා මාරුවන උරගයන් හා සිවුපාවුන්ගේ ද ඉරණම වන්නේ මරණයයි. මේ කාරණයේදී වාහනවල රියදුරන්ට වරද පැටවීම සාධාරණ ව්න්නේ නැත.
මන්ද ඔවුන් පැමිණෙන වේගයත් සමග ඔවුනට මෙම සතුන් දුටු විට එක වර වේගය අඩුකර ගැනීමට නොහැකි බැවිනි. එසේනම් මේ සදහා විසදුම විය යුත්තේ කුමක්දැයි සෙවීමට දැන්වත් අදාල බලධාරීන් කටයුතු කළ යුතුය. එසේ නොමැතිම් වැඩි කාලක් නොගොස් මුතුරාජවෙල තෙත් බිම අවට ජීවත් වන සතුන් හා කුරුල්ලන් වදවී යනු ඇත.
එලෙසම මාර්ගය අවට ජීවත් වන සුනඛයන් තමන්ගේ වාසස්ථානය කරගෙන ඇත්තේද මෙම අධිවේගී මාර්ගයයි. එමනිසා වාහනවලට යටවී මියයන සුනඛයන් ප්‍රමාණයද දිනෙන් දිනම වැඩිවෙමින් පවතී.
මේ සදහා විසදුමක් සෙවිමේදී අපට දියුණ රටවල් සපයන උදාහරණ බෙහෙවින් පිටුවහල් වේ. එවැනි රටවල් මෙවැනි අභයභූමි හරහා අධිවේගී මාර්ග ඉදිකරන්නේ නම් අවට ස්වාභාවික පරිසරයම භාවිතා කරමින් සතුන්ට මාරුවීම සදහා මංපෙත් අධිවේගී මාර්ගය හරහා ඉදිකර ඇත.
එවිට සිදුවන සතුන්ගේ අකල් මරණ ප්‍රමාණය අඩුවන්නේ ඔවුන් තමන්ගේ ගමනාන්තයන්ට ළගා වීම සදහා එලෙස කෘතිමව ඉදි කල මාර්ග භාවිතා කිරීමෙනි.
එලෙසම මාර්ගයට ඇතුළු වන සුනඛයන් එයට ඇතුළු වීම වැළැක්වීම සදහා මාර්ගය පුරාවටම දිවෙන විධිමත් ලෙස ඉදිකල වැටක් ඉදිකිරීම හා නියමිත පරිදි එම වැට ප්‍රතිසංස්කරණය කරමින් පවත්වා ගැනීම වැදගත් වේ. දැනට මාර්ගය දෙපස එවැනි වැටක් ඉදිවී තිබුනත් සුනඛයන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමෙන් පැහැදිලි වන්නේ එම වැට අදාල ප්‍රමිතීන්ට අනුව ඉදිවී නොතිබීමයි.
මේ සියලු කරුණු සලකා බැලීමේදී අප අදාල බලධාරීන්ට යෝජනා කරන්නේ අප විසින් ඉහත සදහන් කල ආකාරයට අපේ අවශ්‍යතාවයන්ට අහිංසක සතුන්ගේ ජීවිත බිලිවීමට ඉඩනොදී අවශ්‍ය පිලියම් යොදා මෙ සතුන්ගේ ජීවිත ආරක්ෂා කරණ ලෙසයි.