සමගිය ගොඩනැගීමට හැදූ ලිඳ සමගිය බිඳ දමයි.

0
293

මීගමුව , දළුපත , “ගෙවල් විස්ස ” යන නමින් හඳුන්වන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගේ ජල අවශ්‍යතාවය අරමුණු කර ගනිමින් පොදු ලිං දෙකක් සකස් කර දී ඇත. මෙය 1981වසරේදී එවක පැවති රජය විසින් ජනතාව වෙනුවෙන් ප්‍රදානය කළ බව කියති. මෙම නිවාස විස්ස හරහා යන පාරවල් දෙකක් ඇති අතර එකී පාරවල් මැදි කරගෙන මෙම ලිං දෙක ගොඩනගා මේ වනවිට වසර 41 පමණ පසුවී ඇත .

මෙම ලිං දෙකෙන් එක් ලිඳක් එක් පවුලක් පමණක් භාවිතා කරන බව පෙනේ. නමුත් එයද මේ වනවිට පවතින්නේ අබලන් තත්ත්වයකය. නමුත් ගැටුම් කාරී තත්ත්වයක් පැනනැගී ඇත්තේ කළින් සඳහන් කළ ලිඳ සම්බන්ධවය.

මෙම ලිඳ අදවනවිට අබලන්වී ඇති නමුත් නැවත එය යථාතත්වයට පත්කිරීමටද පසුගිය කාලය තුළ ලිඳ රැක ගතයුතුය යන අරමුණ පෙරදැරි කරගත් පිරිසක් උත්සාහ කරන ලදී . කෙසේ නමුත් ලිඳ තවමත් පවතින්නේ අබලන් තත්වයේම බව පෙනේ. ඒනිසා ලිඳ රැකගත යුතුය යන අදහසට වඩා ප්‍රදේශවාසීන් බහුතරයකගේ අදහස වී ඇත්තේ මෙය කඩා ඉවත් කළ යුතුය යන්නයි.

මෙම ගැටළුකාරී ලිඳ කඩා ඉවත් කළ යුතුය යන අරමුණ සහ එය රැකගත යුතු යැයි කියන අරමුණ මත පසුගිය දිනයක ගම තුළ කෝලාහලයක් දුරදිග ගොස් ඇති අතර එය අවසන්වූයේ පොලීසියෙනි. ලිඳ කඩා ඉවත් කළ අය පවසන ආකාරයට ඔවුන්ට තර්ජන එල්ලවී ඇත. එබැවින් මේ ගැන කතාබහ කිරීමට පවා සමහරු බියවී සිටිති. ඔවුන් පවසා සිටින්නේ ලිඳ කඩා ඉවත් කිරීමට උත්සාහ ගත් සෑම අවස්ථාවකදීම ඊට විරුද්ධ අය නීතිය තමන්ට වාසිවන සේ හසුරුවන බවයි.

පසුගිය කාලය තුළ දළුපත බරපතළ ලෙස ඩෙංගු රෝගය පැතිර ගිය අතර මෙම ප්‍රදේශයේද ඊට ගොදුරු නොවූ නිවසක් නැති තරම් විය. මෙම ලිඳ පිහිටා ඇත්තේද රජයේ විශේෂ ගොඩනැගිල්ලක් අසලය. ප්‍රදේශයේ ජනතාවගේ සායනික කටයුතු සිදුවන්නේ මෙම ගොඩනැගිල්ලේය. ග්‍රාමනිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ වෙනත් සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි ක්‍රියාත්මක වන්නේද මෙම ගොඩනැගිල්ල තුළය. මේ අනුව මෙය ප්‍රධාන වශයෙන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය කටයුතු ක්‍රියාත්මක කෙරෙන ස්ථානයයි. නමුත් පසුගිය ඩෙංගු වසංගතයට ගොදුරුවූ අය ගැන මෙම ස්ථානයෙන්ද වාර්තා විය.

ජලය යනු මිනිසාගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි. මේ අනුව ලිඳක් යනු සම්පතකි. අපේ පැරැන්නෝ ලිඳට කාසි දැමූහ, අඟුරු දැමූහ . එහි අරමුණ වූයේ කෘතගුණ සැළකීම සහ ලිඳ පිරිසිදුව පවත්වාගෙන යාමයි. මේ අනුව මෙය මිනිසා සහ පරිසරය අ⁣න්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධීකරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්වී තිබිණ .

නමුත් නිවාස විස්ස තුළ මතුවී ඇත්තේ විකෘතියකි. අද තමන්ගේ ප්‍රයෝජනයට සකසා දී අැති ලිඳම ඔවුන්ගේ ගැටළුවක් බවට පත්වී ඇත . එබැවින් වගකිවයුතු අය මේ පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතුව ඇත . මන්ද මෙහි ලිඳ කඩාදැමීම සහ රැක ගැනීම යන අදහස් දෙකක් ගමතුළ නිර්මාණය වී ඇති බැවිනි .
සැම්සන් ඥානසිරි