සමගි ජන බලවේගය ‘සමරිසි’ අයිතීන් පිලිගන්නවා – නීතිඥ ශිරාල් ලක්තිලක

0
231
“ජීව විද්‍යාත්මක කාරණයකට විරෝධය පළ කරන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති සමාජයක්”

තම පක්ෂය ‘සමරිසි’ ප්‍රජාවට (LGBT) හිමිවිය යුතු අයිතීන් පිලිගන්නා බවත්, එම අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බවත් ජාතික සමගි බලවේගයේ ප්‍රචාරක කමිටු සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ශිරාල් ලක්තිලක එබව සඳහන් කර සිටියේ, එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රීක් අපේක්ෂක කාවින්ද ජයවර්ධන ‘සමරිසි’ ප්‍රජාවට අපහාසවන ආකාරයෙන් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව theleader.lkකළ විමසීමකදීය.

SL VLOGE  සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ කළ විමසීමකදී වෛද්‍ය කාවින්ද ජයවර්ධන කියා සිටියේ එය මානසික රෝගයක් බවයි.

” මේවා අපේ රටට හරියන්නේ නැහැ. මානසික ලෙඩක්. මම කතෝලික මේ දේවල් තරයේ ප්‍රතික්ෂේප කරනවා. දැන් මේවා ඕපන් කතාකරන්න අරගෙන කුඩා දරුවොත් නරක වෙනවා. මේවා අපේ ඉතිහාසයේ කවදාවත් තිබුනේ නැති දේවල්.” යයි ද ඔහු කියා සිටියේය.

වීඩියෝ

කෙසේවුවද එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි විරෝධයක් පළවීමත් සමග තමා විසින් සිදුකළ ප්‍රකාශය ගැන කණගාටුවන බව සදහන් කරමින් කාවින්ද ජයවර්ධන සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළකර ඇත.


ඔබ “සංස්කෘතිය” යැයි හිස මුදුනේ තබාගෙන හිඳින අටමගල කුමක්ද ?

කාවින්ද ජයවර්ධනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් මතුව ඇති අතර එහිදී අදහස් දක්වා ඇති නිශ්ශංක වෙහෙරදුව (Nisanka Weheraduwa) මෙසේ සඳහන් කර තිබේ.

”දොස්තර (එහෙම එයාම කියාගන්න) කවින්ද ජයවර්ධන ඇතුළු හෝමොෆෝබියාවෙන් පෙලෙන සුවහසක් නෝනාවරුනි මහත්වරුනි,

ඔබ “සංස්කෘතිය” යැයි හිස මුදුනේ තබාගෙන හිඳින අටමගල කුමක්දැයි ඔබවත් හටිහැටි දන්නේද නැත. අපේ සංස්කෘතියේ ඕව තිබුනෙ නෑ හෝ මහාවංසයේ ලියවිලා තිබුනේ නෑ වැනි තර්ක ගෙන ඒමට හදිසි නොවන්න. මහාවංසය යනු කාමසූත්‍රය නොවන බැවින්ද එය ලීවේ වත්ස්‍යායන නොවන බැවින්ද ඔබට මිනිස් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ විග්‍රහයක් මහාවංසයෙන් කියවිය නොහැකි වීම අරුමයක් නොවේ.

දෙවැන්න කතෝලික සභාවේ හෝ වෙනත් ආගමික ආයතනයක සිටින බැතිමත් සුචරිතවාදීන් නිසා මේවා “ඊයා” යැයි ඔබ කියන්නේ නම් ඔය කියන සංස්ථාවන්හි ආයතන තුළට හොඳින් එබී බලා විමසා සිටින ලෙසද යෝජනා කරමි.

මිනිසුන් විවිධය. ඒ මිනිසුන්ගේ හැඟීම් මෙන්ම රුචිකත්වයද විවිධය. එකිනෙකට වෙනස්කම් සහිතය. ඔබ හිතන ආකාරයෙන් හිතන්නට හෝ ඔබ හැසිරෙන අයුරින් හැසිරෙන්නට අනිකුත් හුදීජනයා සැදී පැහැදී සිටිය යුතු නැත. ඒ හාම ඔබ නිදිවදින්නේ ගැහැණියක් සමග නිසාත්, ඒ අසවල් අසවල් ඉරියවු වලින් පමණක් නිසාත් සකල ලෝකවාසී සියල්ලෝම ගැහැණුන් සමග පමණක්ද, ඔබ කරන ඉරියව්වෙන්ම පමණක්ද නිදිවැදිය යුතු යැයි සිතීමට තරම් අඳබාල නොවන්න.

”ඔබ නිදිවදින්නේ ගැහැණියක් සමග නිසාත්, ඒ අසවල් අසවල් ඉරියවු වලින් පමණක් නිසාත් සකල ලෝකවාසී සියල්ලෝම ගැහැණුන් සමග පමණක්ද, ඔබ කරන ඉරියව්වෙන්ම පමණක්ද නිදිවැදිය යුතු යැයි සිතීමට තරම් අඳබාල නොවන්න. ”

මිනිසුන් තමාට රුචි අයුරින් තම අවශ්‍යතා සපුරා ගනී. ඒ ඔවුන්ගේ කැමැත්තය. ඉන් ඔබ හිරි ඔතප් බිඳගත යුතු නැත. එසේම “අපචාරයක්, බලහත්කාරකමක් හෝ හිංසනයක්” සිදු නොවන තාක් අනිකාගේ “නිදිවැදීම” පිළිබඳ විමසන්නට හෝ එරෙහි වන්නට ඔබට සාදාචාරාත්මක අයිතියක්ද නැත්තේය.

සමලිංගික වීම කිසිවකුගේ තෝරාගැනීමක් හෝ තීරණයක් නොවන බවත් එය ජානමය කරුණක් බවත් මේවනවිට ලෝකය විද්‍යාත්මකව තහවුරු කොටගෙන තිබියදීත් “මෙව්ව දැකල අපේ ළමයි නරක් වෙනවා” යැයි ළිඳලඟ සංගමයක මට්ටමේ ප්‍රකාශයක් කරන අයෙකුගේ “දොස්තරකම” ළමයෙකුට දීම වඩා ඔබින වනු ඇත.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනු ඔබේ යැයි කියවුනු වීඩියෝවක් දැක, දැඩි පිළිකුලෙන් යුතුව කාගේ වුව පෞද්ගලික ජීවිතය හෝල්සේල් දමා විකිණීමට එදිරිවුනු බොහෝ පිරිසක් තමා එදා පෙනී සිටියේ මෙවන් හීනමානයකින් පෙලෙන්නෙකු වෙනුවෙන් දැයි තමාගෙන්ම ප්‍රශ්න කරගනු ඇත.

නිදියහනේ ක්‍රියාකාරකම් නිදියහනෙන්ම හමාරය. කිසිවකු සිව්මංසලක ලිංගික ක්‍රියාකාරකමක් කරනු ඔබ දැක ඇතැයි නොසිතමි. එවන් අවස්ථාවක “ප්‍රසිද්දියේ අනාචාරයේ හැසිරීමට” එරෙහි වීමට ඔබට ඕනෑනම් හැකියාව තිබේ. එසේ නොවන තාක් කල් අනුන්ගේ නිදිවැදීම් වරනැගීමට නොගොස් කරන උලවු දේශපාලනයක් කරගන්නා ලෙස ඔබට යෝජනා කරනු කැමැත්තෙමි.

එසේම, පත්තිනි සළු කෙළවරත් ඇත්තුත්තිරි ඇති බව අප කුඩාකළ පටන් අසා ඇති බවද යළිත් සිහිපත් කරනු කැමැත්තෙමි.”

(උපුටා ගැනීම අවසන්)

ජවිපෙ ස්ථාවරය :


“ඒ ඒ පුද්ගලයාගේ ලිංගික දිශානතිය තීරණය වෙන්නේ ජීව විද්‍යාත්මක කරුණු මතයි. ඒ නිසා ජීව විද්‍යාත්මක කාරණයකට විරෝධය පළ කරන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති සමාජයක්. එහෙම නැතිනම් පසුගාමී සමාජයක්,” යනුවෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මිට ඉහත දී ප්‍රකාශකර තිබිණ.

“කාන්තාවක් පිරිමියෙකුට ඇලුම් කරන එක, පිරිමියෙක් කාන්තාවකට ඇලුම් කරන එක වගේම තමයි කාන්තාවක් කාන්තාවකට ඇලුම් කිරීම සහ පිරිමියෙක් පිරිමියෙකුට ඇලුම් කිරීම. ඒක සිදු වෙන්නේ එකිනෙකාගේ කැමැත්ත මත. ඒක තව කෙනෙකුගේ ප්‍රශ්නයක් කර ගැනීම සාධාරණ නැහැ. එය පිළිනොගැනීම අයිතිවාසිකම් කඩ කිරීමක්.”

සමරිසි පුද්ගලයන්ටත් සෙසු පුද්ගලයන් මෙන් සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය පිළිනොගැනීම හෝ සමලිංගික භීතියට හේතුව “ඒ ඒ පුද්ගලයාගේ නොදන්නාකම” බව ඔහු පවසයි.

“තම තමන්ගේ සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම ඔහුට හෝ ඇය සතු මූලික මිනිස් අයිතිවාසිකමක් බව අපේ පක්ෂය පිළිගන්නවා. ඒ වගේම ඒක රටක දියුණුව සහ අධ්‍යාපන මට්ටම ගැන තවත් සාධකයක්.”

wasantha text30ශ්‍රී ලංකාව වැනි “පසුගාමී ආසියාතික රටවල” ඒ සම්බන්ධයෙන් පවතින සාකච්ඡාව “ඉතාම පොඩි” යයි කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ “මේ සාකච්ඡාවට සමහරු බයයි. සමාජය තුළ ඒකට විරෝධයක් නැගෙන්නේ ඒ නිසයි.” යනුවෙන් සඳහන් කළේය.

“අපි ඇත්ත කතා කරන්නයි, බිම ඉඳ ගන්නයි බය වුණු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. ඒ නිසා මේ සමාජය නිවැරදි දිශාවට ගෙන යාම වෙනුවෙන් ඒ පිළිබඳ සංවාදයට ලක් කළ යුතුයි. මැතිවරණය ඉලක්ක කරලා ඊට එරෙහිව යමෙක් කතා කරනවා නම් ඒක මේ කාරණය ගැන ඒ පුද්ගලයාගේ තිබෙන අල්ප දැනුම සහ නොදැනුවත්කම පිළිබඳ ප්‍රකාශනයක් පමණයි.”

වැඩවසම් නීති:

                                                 2017 ‘කලම්බෝ ප්‍රයිඩ්’ සමරිසි පාගමන

ලොව ඇතැම් ආසියානු රටවල් සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කර ඇති අතර ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ නීතිගත කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව තීන්දු කළේ 2018 වසරේදීය

එමෙන්ම තායිවානයේ ඉහළම අධිකරණය 2017 වසරේදී තීන්දු කළේ සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවය.

ශ්‍රී ලංකාව තුළ සමකාමීත්වය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් මීට වසර 130 කට පමණ ඉහත දී හඳුන්වා දෙනු ලැබූ නීතියයි. (දණ්ඩ නීති සංග්‍රහයේ 365 (A) සහ 365 යන වගන්ති)

”ශ්‍රී ලංකාව තුළ සමකාමීත්වය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් මීට වසර 130 කට පමණ ඉහත දී හඳුන්වා දෙනු ලැබූ නීතියයි. (දණ්ඩ නීති සංග්‍රහයේ 365 (A) සහ 365 යන වගන්ති)”

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යම් පුද්ගලයකුට ලිංගිකත්වය මත (ස්ත්‍රී පුරුෂ භාවය) වෙනස් ලෙස සැලකීමකට ලක් නොකළ යුතු බවය.

නමුත් ලිංගික දිශානතිය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු නොවන බව නීතිඥ රදිකා ගුණරත්න පෙන්වා දෙයි.

“හැත්තෑ හතේ ඉඳන් ව්‍යවස්ථාවේ සංශෝධන විස්සකට කිට්ටු වෙන්න ඇවිල්ලත් එය නීතියක් වශයෙන් ගෙන එන්න බැරි වී තිබෙනවා. මේක තවමත් සාපරාධී වරදක්.”

සමරිසි ප්‍රජාවට සමාන අයිතිවාසිකම් ලබා දීම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මුනිවත රකින්නේ බහුතර සමාජයේ පවතින “සමරිසි භීතිය” (Homophobia) නිසා බව ඇයගේ අදහසය.

“ඒ තත්ත්වය බිඳින්න දේශපාලනඥයන්ට ලොකු වගකීමක් තිබෙනවා. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් දේශපාලන කැමැත්තේ (Political will) බරපතල අඩුවක් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ මෙය සාපරාධී වරදක් නොවේ කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන තැනට ආවත් ලංකාව කිසිඳු විදිහකින් ඒ ගැන හඬ අවදි කරන්නේ නැහැ.”

“මෙවැනි තත්ත්වයක් තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ අයිතිය පිළිගන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශයකට ඇතුළත් කළ පමණින් එය යථාර්තයක් වෙන්නේ නැහැ. නමුත් අපි කොහෙන් හරි මේක පටන් ගන්න අවශ්‍යයි.”

                                                                                ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ‘සමරිසි’ ප්‍රජාව ගැන දක්වන ස්ථාවරය

(උපුටා ගැනීම් -BBC සිංහල සේවය)