“සම්මත ව්‍යාඛ්‍යාන සමතික්‍රමණය කළ නිර්මාණයක් – බොර දිය පොකුණ”

0
490
Boradiyaසිනමා නිර්මාණ යනුවෙන් ලේබල් අලවා ශාලාවල පෙන්වන කසිකබල් සෙලූලොයිඩ් මස්තබාල්දු බැලීම තිත්ත වී; මතක ඇති කාලයකට යළිත් සිනමාහලකට නම් ගොඩ නො වෙමැ යි තරයේ ඉටා සිටි මට “මහරජ ගැමුණු” පසික්කාඩුව නැරැඹීමට බල කළෝ මගේ අතිජාත මිත්‍රයෝ වෙති. දුක සේ උපයාගත් තුට්ටු දෙක කාබාසිනියා කර ගැනීමට මට ලණු රාජයෙක් දුන් ඔවුන්ට පස්පඩංගුවේ සිතින් බණිමින් ද, අත වූ මුදල් සොච්චම මගෝඩි චිත්‍රපට බැලීමට නිස්කාරණේ වියදම් කළහ යි බිරිඳගෙන් නෝක්කාඩු බැණුම් අසමින් ද කුජීත ව සිටි මට සත්‍යජිත් මාඉටිපේයන්ගේ “බොර දිය පොකුණ” සිනමා කෘතිය රස විඳීමට ලැබීම තුන් වේලක් ක්‍ෂුධා ගින්නේ පෙළෙමින් සිටි දුගී යාචකයකුට විස්කි විතකින් ද, මස් මාංශ රස මසවුලෙන් සපිරි රජ බොජුනක් ප්‍රණීත අවුළුපතක් ද සමග සිත් සේ භුක්ති විඳීමට ලැබුණු කලෙක මෙන් ආහ්ලාදයක් ම විය!සත්‍යජිත් මාඉටිපේහු මෙරට හොබවන තරුණ නවක සිනමාකරුවෙක් වෙති. “බොර දිය පොකුණ” ඔවුන්ගේ කුළුඳුල් සිනමා වියමන යි. එය නිර්මාණය කොට මේ වන විට වසර පහළොවක පමණ කාලයක් ගත වී ඇත. ඒ සා මහත් කාලයක් ගත වී තිබුණේ මුත් මේ ප්‍රතිභාපූර්ණ සුහුඹුල් සිනමාකරුවාට තම මංගල නිර්මාණය සිය ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන ඒමට නො හැකි වූයේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය නමැති සංස්කෘතික පොලීසිය එය වාරණයට ලක් කර විණ කෙටීමේ දුර්දශාව හේතුවෙනි. ගුවන් හමුදා නිලදරුවකුගේ භූමිකාවක් ද ඇතුළත් වන මෙම සිනමා කෘතිය ද වාරණයට ලක් කළේ එවකට සන්නද්ධ හමුදාවන් හා සහසම්බන්ධ කථා පුවත් ඇතුළත් බොහෝ ප්‍රවණතාත්මක කලා නිර්මාණ වාරණය සඳහා යොදා ගත් ජනප්‍රිය පොදු හේතු පාඨය එනම්, ‘මෙය හමුදාවේ චිත්ත ධෛර්යය පිරිහෙළීමට හේතු විය හැකැ’යි හුවා දක්වමිනි. හමුදාවේ චිත්ත ධෛර්යය පිරිහීමට මුල් වෙතැ යි කියන දර්ශන කීපය දුටුමතින් පමණක් වුව මට හැඟී ගියේ මෙවන් ජවනිකාවක් දුටු පමණකින් මිලිටරි හමුදාවක චිත්ත ධෛර්යය බිඳ වැටෙන්නේ නම්, එකී හමුදාව ආයුධ සන්නද්ධ යුද්ධයකට රණ බිම යවනු තබා පශු පාලනයට නොහොත් හරකුන්ට තණකොළ – පුන්නක්කු කැවීමටවත් යැවීමට සුදුසු නොම වන බව යි. මන්ද යත්, හරකුන් කුලප්පු වුවහොත් උද්ගත වන තත්ත්වය “බොර දිය පොකුණ” උක්ත ජවනිකා සියල්ලට ම වඩා ප්‍රචණ්ඩ ද සාහසික ද විය හැකි හෙයිනි.

දශක එකහමාරක කල් මැරීමෙන් පසු ව වුවත් “බොර දිය පොකුණ” වර්තමානයේ හෝ ප්‍රේක්ෂකාගාරයට පැමිණීම ඉමහත් වැදගත් බව පෙනී ගියේ එහි තේමාව එය නිර්මාණය කරන ලද යුගයට සේ ම කල් ගත වී නමුදු වර්තමානයටත් එක සේ අදාළ වන නිසාවෙනි. බොහෝ කොට සිදු වන්නේ කලා කෘතියක් නිර්මාණය කළ ආසන්න කාලයේ ප්‍රේක්‍ෂකයා හමුවට ඉදිරිපත් නො වුවහොත් එකී තේමාව කාලය ගෙවී යාමත් සමග කාලීනත්වයෙන් හීණ වී කල් ඉකුත් ව ගිය භාණ්ඩයක ස්වභාවයට පත් වීම යි. එහෙත්, උත්කෘෂ්ඨ කලා නිර්මාණයක මාහැඟි ගතිකයක් නම් කාලය ගෙවී ගියත් එහි කාලීනත්වය අහෝසි නො වන සර්වකාලීනත්වය යි. “බොර දිය පොකුණ” එවන් සර්වකාලීන වූ සිනමා කෘතියකි. එහි තේමාව එය නිර්මාණය වූ යුගයට වඩා අද්‍යතනයට අත්‍යන්තයෙන් ම අදාළ ය.

ගෙවී ගිය දශක තුනකට අධික කාලය පුරාවට ශ්‍රී ලංකා භූමියේ මානව මානවිකාවන්ගේ ජීවිතවල අනිවාර්ය ඉරණම කෙබඳු ආකාර වී ද? යන්න නිරුපණය වීම සම්බන්ධයෙන් ගත හැකි හොඳ ම නිදසුන “බොර දිය පොකුණ” ය. අර්බුදයෙන් අර්බුදයට දෝලනය වී ගොස් මර ළතෝනි නගන ගෝලීය ධනේශ්වරයේ අන්තාසාර්ථකත්වය වසා ගැනීම සඳහා යටගියාව තුළ ලාංකේය පුරවැස්සන්ට පාදා දුන් මහරුතම මාර්ග දෙකක් වී ය. තරුණයෙකු නම් උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහි ව මුදාහරින ලද ම්ලේච්ඡ ජන නාශක යුද්ධයට සම්මාදම් වීම සඳහා රජයේ හමුදාවන්ට බැඳීමත්, තරුණියක නම් අධිරාජ්‍ය ප්‍රාග්ධනයෙන් සොච්චමක් උකහා ගනු වස් ඇඟලුම් කම්හල්වල ගාල් වී වහල් මෙහෙයට කැප ව ඇඟ මස තාරුණ්‍යය දියකර හැරීම යි ඒ. මෙවන් ප්‍රස්තුතයක ස්ත්‍රී පුරුෂ මනුසත් දිවියේ ඉරණම කෙබඳු වී ද? එවන් මිනිසුන් පවත්වන මානව සම්බන්ධතාවයන්හි මහිමය කවරාකාර වී ද? යන පැනයන්ට “බොර දිය පොකුණ” ඒවායේ සැටි නම් මේ යැයි පෙන්වා සිටී. ගෝලීය ප්‍රාග්ධනය ඊට රිසි සේ නිදහස් ව සංසරණය වන්නට වූවාත් සමග ම මිනිස් සාමාජිකයන් ඔවුන් උපන් ගම්බිම්වලින් උගුල්ලා ඉහළට වීසි කොට නගරයේ කුලීකරුවන් සේ කඹුරීමට තල්ලු කරවයි. ගෝතමී – මංගලා – සුවිනීතා සේ ම විපුල ද ඔහුගේ හමුදා මිතුරන් ද විශ්ව විද්‍යාල සිසුවා ද කැරකවෙනුයේ ඔවුන්ගේ ගෙල මත බැඳ ඇති මේ ගොරතර සෙක්කු කද අදිමිනි.

මුදල් නැතියාවත්, රූ සපුවේ හිඟ පාඩුවත්, ඉච්ඡාභංගත්වයත් විසින් අනන්‍යතා අර්බුදයකට මැදි ව පරාරෝපිත වූ ආරියවතී ; නව අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ගෝතමී බවට පත්වනුයේත්, වියරුවැටි සෙයකින් ජීවිතය හා පොරබැදීම සඳහා ගෝතමී පෙළඹෙන්නේත්, විදේශයේ සිට පෙරළා පැමිණි ඉක්බිති ඩෙස්මන් සමග එක්තැන් ව ජීවිතයේ බොහෝ ලැබීම් – අහිමි වීම් උපේක්‍ෂාවෙන් දරා ගන්නේත් පංති සමාජය තුළ මිනිස් ස්වභාවයේ දුක්ඛදායි ඉරණමත් ජීවිතයේ සංකීර්ණත්වයත් කෙබඳුදැ යි අවධාරණය කරමිනි. ගෝතමී පමණක් නො වේ, මංගලා සහ විපුලගේ ද ජීවිත ගෙවී යන්නේ ඒවායේ අභ්‍යන්තරයන්හි බරපතල විසංවාද පැවතියදී ය. එකට සිටි මිතුරියන් තිදෙනාගෙන් යම් හෝ සංහිඳියාවක ඉසිඹු ලැබ ඇති බවක් පෙනී යන්නී සුවිනීතා පමණක් බැව් පෙනී යයි. ඩෙස්මන් හා ඔහුගේ පළමු බිරිය ද, සරසවි සිසුවා ද ගෙවන ජීවිතවල ඇති තතු ප්‍රියජනක නො වන බවත්, ඔවුන්ගේ ජීවිත ලබා ඇත්තේ අවිනිශ්චිත දුර්දශාවක් බවත් නිරුපණය වෙයි. පාත්‍රවර්ගයන් සියල්ලන්ගේ ම හිස් මතින් එසැවී ගුවනේ ලඹ දෙන්නේ අවිනිශ්චිතභාවයේත්, අස්ථිරතාවයේත් මුඩුම, මුස්පේන්තු, අවලක්‍ෂණ අනාථභාවයේ අඳුරු වළාවෝ ය.

සියල්ලන් ගතකරන ජීවිත ව්‍යාජ ය. ඒවා එකිනෙකාගෙන් සිය සැබෑ ස්වරූපය අනාවරණය කරගැනුම සඳහා භාවිතා කෙරෙන විසිතුරු වෙස් මුහුණු වැන්න. තනිතනිවත් අන්‍යොන්‍ය වශයෙනුත් සැමට ම දිවි ගෙවීමට සිදු ව ඇත්තේ දැඩි අතෘප්තියකින් නමුදු ලොවට පෙනෙන්නට ව්‍යාජ සැරහුම් සළු පිළියෙන් සත්‍යය වසන් කොටගෙන ය. දරිද්‍රතාවත්, පිළුණු වී ගිය සමාජ සම්බන්ධතාවන්ගේ පීඩාවත්, ලිංගික මාත්සර්යය හා ආත්මීය හුදෙකලාවත් විසින් සියලු දෙනා පිරිහෙලනු ලැබ ඇත්තේ බරපතල පරිහාණි අඩියකට ය. ඒ කවර හෝ ගැටලුවකට තනි තනි ව උත්තර සැපයීම උගහට බවත් සියල්ල තීරණය වනු ඇත්තේ සමස්ත අර්බුදය සමනය කරනු වස් ගනු ලබන වෑයමකදී පමණක් ම බවත් ඉතා පැහැදිලි ය. එය පවත්නා පීඩාකාරී, අප්‍රිය සමාජ ක්‍රමය උඩු යටිකුරු වන සේ සුන්නද්දූලි කොට සියල්ල අලුතින් නැවත ඉදිකිරීමකින් මොබ්බට ජය ගත නො හැක්කක් බවට කවර නම් සැකයෙක් ද?

එනයින් ම “බොර දිය පොකුණ” වනාහි සිනමාවේ මෙතුවක් පැවති සම්මතයන් සියල්ල එකපැහැර ඛණ්ඩනය කරන ලද නිර්මාණයකි. එනම්, රංග වින්‍යාශය, කැමරාකරණය, පසුබිම් සංගීතය, ආලෝකකරණය, සංස්කරණය පමණක් නොව ප්‍රදර්ශනයෙන් ඉක්බිති නිල විචාරය ද අවුලෙන් වියවුලටත් යල් පැනීමටත් ලක් කළ නිර්මාණයකි යි ඉඳුරා කිව හැකි ය. ඒ අතින් එය දෙවැනි වන්නේ නම් ඒ ධර්මසේන පතිරාජයන්ගේ “පාර දිගේ” අතීත සිනමාවට පමණක් බව කීම අතිශයෝක්තියක් නො වේ. සිනමාව වූ කලී හුදු ආකෘතිකමය හරඹ පෑමක් නො වන බවත් කෘතිය විසින් ම එහි ආකෘතිය තීරණය කරනු ඇති බවටත් වන අගනා ම උදාහරණයක් ද වනුයේ “බොර දිය පොකුණ”යි. ඒ අනුව සිය කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයෙන් ම සත්‍යජිත් මාඉටිපේයන් අත්පත් කොටගෙන ඇති සාර්ථකත්වය අනුපමේය වේ.

අධ්‍යක්ෂකවරයා හැරෙන්නට ප්‍රධාන භූමිකාවට පණ පොවන කෞෂල්‍යා ප්‍රනාන්දු “බොර දිය පොකුණ”හි ලා දක්වා ඇති සාමාර්ත්‍ය එය කෞෂල්‍යාගේ ම චිත්‍රපටයකි යි කීමට තරම් ම ප්‍රබල වන්නකි. ප්‍රධාන ස්ත්‍රී චරිත තුන ම ප්‍රමාණවත් දායකත්වයක් කෘතිය කෙරේ පළකොට ඇති නමුදු කෞෂල්‍යාගේ විශිෂ්ට රංගනය ඒ සියල්ල අභිබවා සිටී. කලෙකට පසු නමුත් ධර්මසිරි බණ්ඩාරනායකයන් ද තමා තුළ තවමත් ඉතිරි ව ඇති රංගන ජීව ගුණය මේ යැයි විදහාලන චරිත නිරූපණයක් අනුප්‍රධාන චරිතයක් ඔස්සේ වුව මනා සංයමයකින් කැන්දාගෙන එයි.

සිය පළමු අධ්‍යක්ෂණයෙන් ම යොදුන් ගණනක් දුරැති සාර්ථක ගමනක් යා හැකි බවට පෙරනිමිති පෙන්වා ඇති තරුණ ප්‍රතිභාපූර්ණ සිනමාකරුවකුට අත්වැලක් වනු වෙනුවට මෙරට පාලක පැලැන්තිය ඔහුගේ කුළුඳුල් සිනමා කෘතිය වාරණය නමැති මුගුරු පහරින් තලා දැමී ය. ඒ මේ සුපින්බර රටේ සැටි යැයි ද, මෙහි උපන් පිංවතුන්ගේ උරුමය එබඳු යැයි ද සිතමි. දශක එකහමාරකට පමණ පසු එකී සිනමා පටය ප්‍රදර්ශනයට පැමිණි අවස්ථාවේ ඊට ප්‍රේක්ෂකාගාරයෙන් ද, විචාරක කල්ලි කණ්ඩායම්වලින් ද ලැබෙන ප්‍රතිචාර කෙබඳු දැ යි සලකා බැලිය යුතු ය.

මා “බොර දිය පොකුණ” නැරඹු කොළඹින් පසල් දනව්වක පිහිටි සිනමා හලේ සවස් යාමේ දර්ශනයට මා හැරෙන්නට තවත් ප්‍රේක්ෂකයින් සිටියේ පස් දෙනෙකු පමණි. එයිනුත් එක් අයෙක් මා ප්‍රියම්බිකා තොමෝ ය! අවම රසික සහභාගීත්වය ද යමක් කෘතහස්ත කලා නිර්මාණයක් බැව් හඳුනා ගැනීමේ නො වරදින නිර්ණායකයක් දෝ හෝ යි මොහොතකට සිතේ.

හිතවත් සත්‍යජිත් මාඉටිපේයණි, නො බා සිටිනු මැන. උසස් සිංහල සිනමාවෙක යහපත් අනාගතය රැඳී ඇත්තේ තරුණ ඔබ වැන්නවුන් අතලොස්සක් සුරතේ ම ය.

අශාන් ඉන්දික