සමාවෙන්න හචිකෝ !

0
155
Image may contain: outdoor

ජිවිතයට සමහර දේ මඟහැරී යන්නේ පුදුමාකාර ලෙසය. වසර දෙකකට ආසන්න කාලයක් හචිකෝ සිහිවටනය ඉදිරියෙන් මම උදේ හවා ගොස් ඇත්තෙමි. හචිකෝ සිහිවටනය ඉදිරියේ නැවැතී එය නැරැඹීමට පැමිණි දහස් ගණනක් සංචාරකයන් අතර සිට දුම් බී ඇත්තෙමි. සීත සෘතු දෙකක සමහර රාත්‍රීන්හී අවසන් දුම්රිය ෂිබූයා දුම්රියපොලට පැමිණෙන තෙක් හචිකෝ ඉදිරියේ සිට මිතුරන් සමග බීර පානය කොට ඇත්තෙමි. තවත් දිනෙක චන්ඩ මාරුතයකින් බේරීම සඳහා හචිකෝ සිහිවවටනයට මුවාවි සිට ඇත්තෙමි. එහෙත් හචිකෝ හැඳින නොගත්තෙමි. හචිකෝ සමග වචනයක් හෝ කතා කොට නැත්තෙමි. ඇත්තෙන්ම හචිකෝ කවුරුන්ද යන්න හෝ නොසෙව්වෙමි.

ජීවිතයේ එම කාල පරිච්ජේදය අද හඳුනා ගත් හචිකෝ සමග ලියන්නට හැකිවී ඇත්තේ එය ජීවිතයේ ගෙවන ලද දුෂ්කර සහ මට නුහුරු, නුපුරුදු සිද්ධීන් ගණනාවෙකින් අත්දැකීම් එකතු කරගත් කාල පරිච්ජේදයක් වූ නිසාය.
ඒදිනවල මා උදෑසන නවය වෙද්දී හචිකෝ අසල විනාඩි පහක් දහයක් නැවතී මා සේවය කල අවන්හලට යන්නේමි. රාත්‍රි දහයට වැඩ අවසන් කොට අවන්හලේ අනෙක් උන් සමග හචිකෝ අසලට පැමිණ දුම් බොමින් හෝ බීර බොමින් පෙර කිව්වා සේ අවසන් දුම්රිය පැමිණෙන තෙක් සිටින්නෙමි. උදේ සවස දුටු හචිකෝ, සාමාන්‍යයෙන් අසංවේදී නොවන මට සංවේදී නොවුනේය. හචිකෝ ගැන සටහනක්ද හචිකෝ ඉදිරියේ තිබුනා වැනි මතකයක් ඇතත් කිසි දිනෙක එය කියවන්නට මම උත්සාහ නොකලෙමි. දිනක් මා සමග සේවය කල ජපනෙක් හචිකෝ ගැන ඔහු දන්න ඉංග්‍රිසියෙන් සහ ජපන් වලින් පොඩි දෙයක් කීවේය. එහෙත් මා එය ගණනකට ගත්තේ නැත. ජපනා කියු දෙයින් මතකයේ ඉතිරි වූයේ හචිකෝ මියගිය ස්වාමියා එනතෙක් බලා සිට මියගිය සුනඛයෙක් බවයි. ඒ හැරෙන්නට අනෙකුත් කිසිදු දෙයක් මට මතක සිටියේ නැත. කුඩා කල සිට පාරේ සිටි බලු පැටවුන් පවා ගෙදර ගෙනැවිත් මවගෙන් බැණුම් අසමින් ඇතිදැඩි කල, ජපානයට යද්දීත් නිවසේ බල්ලන් දෙදෙනෙක් සමග ජීවත් වූ මට හචිකෝ කිසිදු ආකාරයකින් වැදගත් වූයේ නැත, සුවිශේෂ වූයේද නැත , කොටින්ම හචිකෝ ගැන දැන සිටියේද නැත.

මතක සටහන් එකතු කිරීමේ විශේෂ ආසාවකින් නොපෙලුනු, නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් දවසේ හෝ ලබා ගත් ජායාරූපයක් නැති මට හචිකෝගේ ජායාරූපයක් හෝ ගැනීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත. එහෙත් වසර දෙකකට ආසන්න කාලයක් උදේහවා මා දුටුවේ හචිකෝ ඉදිරියේ පින්තූර ගන්නා සංචාරකයන්ය. මට කිසිදු දිනෙක ඒ අශාව පැමිණියේ නැත්තේ රැකියාවේ පීඩනය විසින් මාගේ බොහෝ දේ යටපත් කර තිබූ නිසා විය හැකිය. පසු කාලීනව ජපානයට සහ ෂිබූයා නගරයට කිහිප වරක් ගියද ඒ එකදු අවස්ථාවක හෝ හචිකෝ සමග ජායාරූපයක් ගැනීමට මට අවශ්‍ය වූයේ නැත. ඉතාම මෑතකදී එතැනට ගියද එදිනද මතකයට නැගුනේ එදා රැකියාවේ තිබු දුෂ්කරතා, අප සමග සිටි ජපනුන්ගේ මදාවිකම් කතා කල එකම ක්ෂේම භූමිය යන කාරණය පමණෙකි.

හචිකෝ නමින් චිත්‍රපටයක් පැමිණියේ අප ජපානයෙන් පැමිණි පසුය. චිත්‍රපටය සිඩී කඩයකින් මිලදී ගත්තද එයද කිසි දිනෙක බලන්නට රුචියක් හෝ උවමනාවක් ඇතිවූයේ නැත. එය එසේවීමට නිශ්චිත හේතුවක්ද තිබුණේ නැත.

හචිකෝ අද බලන්නේ ඇත්තටම අහම්බෙන්ය. චිත්‍රපටයේ බැම්ම උඩ වාඩිවී හචිකෝ බලා සිටියා සේ ෂිබුයා නුවර දුම්රිය ස්ථානය පසෙකින් සිටිනා හචිකෝ ද එම ඉරියව්වෙන්ම බලා සිටින්නේය. මම ඔහු එසේ බලා සිටින අයුරු දිනපතා දුටුවද එදා ඔහු වෙනුවෙන් කඳුලක් නැගුනේ හෝ සුසුමක් හෙලුවේ නැත. උදේ සවස රාත්‍රියේ ඔහු ලඟට පැමිණෙන දහස් සංඛ්‍යාත මිනිසුන් ඔහුට කුමක් හෝ කියන්නට ඇත. එයද එදා මට ඇසුනේ නැත. හචිකෝ වසර නවයක් ෂිබූයා දුම්රිය ස්ථානයෙන් එහා මෙහා ගමන් ගත් දහස් සංඛ්‍යාත මිනිසුන් සහ ගැහැණුන් අතර නොසෙල්වී තම ස්වාමයා පැමිණෙන තෙක් බලා සිට ඇත. හචිකෝ අදද එසේ නොසෙල්ව දුම්රියෙන් පැමිණෙන තම ස්වාමියා එනකෙත් බලා සිටින්නේය, අනාගතයේද ඔහු එසේ සිටිනු ඇත. සතුන් මිනිසුන්ගෙන් වෙනස් වන්නේ ඒනිසාය.

උපුල් කුමරප්පෙරුම