සරත්- දෑසින් කතා කළ සටන්කාමියා

0
336

sarath aiiya 271 කැරුල්ලට දඩුවම් ලබා මැගසින් බන්ධනාගාරයේ ජී සහ එච් වාට්ටුවෙහි අප ගත කළ මුල් දවස් එක්තරා අන්දමක ගන්දබ්බ කාලයක් විය. අප දිර්ඝ කාලීන සිර දඩුවමකට හුරු විය යුතුව තිබුණි. සරත් ප්‍රනාන්දු නම් ඒ අපූරු මිනිසා මා දැන හදුනා ගත්තේ ඒ අවිනිච්චිත දවස්හි දී ය.

ඒ නුහුරු මුල් දවස්වල දී බන්ධනාගාර නියාමකවරුන් සමඟ විවිධ කාරණා උඩ විවාදයන්ට ඇදී යන සරත් ඇස් දෙකෙන් ඉංග්‍රීසි බසින් තර්ක කරනු දැකීම අප බොහෝ දෙනෙකුට අශ්වාදයක් විය. ඇස් දෙකෙන් කතා කළ ද ඔහු හුඟ වේලාවකට තර්ක කළේ බිම දෙස ‍නෙත් යොමා ගෙන ය.

ඇත්ත වශයෙන්ම නම් ඔහු බලාගෙන සිටියේ බිම දෙස නොවේ. කවර හෝ ආත්මීය විශ්වාසයක් දෙස ය. හිස ඔසවා සිය දෑස් අනෙකා වෙත යොමු කළේ තීරනාත්මක වචන සමඟ ය‍. එවිට ඒ වචන හී සැර මෙන් කා ගෙන ගියේ ය. ඔහුගේ චවන සැදී තිබුණේ අකුරුවලින් පමනක් නොවේ. බරම බර හැගීම් වලිනි.

සරත් ගැන මා තුළ පිළිසිඳ ගත් ඒ මුල් රෑපය එය යි. එය කොතෙක් ආවේගාත්මක වු‍යේ ද යත් මසකට තරම් පෙර අප අතර වූ අවසානය අදහස් හුවමාරුව දක්වාම එය ජවබල සම්පන්න සාධකයක් වශයෙන් පැවැතුනි.

සරත් මෙන් ඉංග්‍රිසියෙන් හරඹ කළ හැකි අය සිර ගෙදර අප අතර විරළ වූහ. සිටිය ද වචන සමඟ ආත්මය මුසුකළ හැකි අයකු නොසිටි තරම් ය. ඔහු අසීමිත විශ්වාශයක් සහිත සටන්කරුවකු විය. ඔහුට මහා සිහින දැකීමටත් සහ ඒ සිහින යාථාවක් බවට පෙරළිම පිණිස පළමු පියවර තැබීමටත් ඇතුළාන්තයෙන් ගලා එන නොසිදෙන ආවේගයක් තිබුණි.

මැගසින් බන්ධනාගාරයේ මුල් කාලයේ දී සරත් තුන් දෙනෙකුගේ කන්ඩායමක අයකු විය. සිරිපාල සහ අසෝකා අනෙක් දෙදෙනා විය. සිරා ඒ අතර සිටි නියම නිර්ධනයා විය. අසෝකා ගුවන් හමුදාවේ රගර් කණ්ඩායමේ කැපී පෙනුනු සාමාජිකයකුව සිට තිබුණි. ඔහු මහජන හමුදාව විය. අප විහිළුවට කීවේ සරත් නිර්ධන පංතියට සේවය කරන බුද්ධිමතා බව ය.

එය විහිළුවක් නොවේ. ඇත්ත ය. සරත් සිය ජීවිත කාලය පුරාම සිය බුද්ධි මහිමය යෙදැවූයේ පීඩිත ජනයාගේ ජීවිතය යහපත් කිරීමට ය. විශ්ව විද්‍යලයේ දී අතැහැර දමන ලද ඉංජිනේරු උපාධිය ඔහු යළිත් ලිව්වේ නැත. ඒ වෙනුවට ඔහු විසින් ලියන ලද්දේ පරිසර සහ මහජන හිතවාදී චිරස්ථායී කෘෂි කර්මයක් වෙනුවෙන් තර්ක කළ තෙරක් නැති ලිපි ය.

සිර ගෙදර දී ගත කළ අල්පේච්ච ජීවිතය ඔහුගේ ජීවන පැවැත්ම ම විය. සිර ගෙදර සිමෙන්ති පොළවෙහි ඇතිරූ කිළිටු රෙට්ටු මත සිය ගනන් දින ගෙවූ පරිද්දෙන් ම කාර්‍යාලයේ මේසය මත නින්දට වැටීම සරත් පුරුද්දක් කර ගත්තේ ය.

සරත් බැබලුණේ බාහිර ඔපයෙන් නොවේ. සිය බුද්ධි මහිමයෙන් සහ කැපවීමෙනි. විදේශ ගමන යන විට සොදා මැද ගමන් බැගයේ අතුරා දෙන කලිසම් කමීස ආපසු එන විටත් එළෙසම තිබෙන්නේ යැයි දවසක් සුමිත්‍රා, සරත්ගේ බිරිඳ කීවේ විහිළු කරන ගමන් ය. කොළඹ සම්මන්තුණයට ආ සරත් කලිසමේ ඉදිරිපස බොත්තමක් ගැලවී ගියෙන් එතැනට ආයකටුවක් ගසා ගෙන තිබුණේ ගානක්වත් නැතිව ය. එම සම්මන්තුණයේ දී එකළ අප හැමගේ ගෞරවයට පාත්‍ර වී සිටි සිටි ආචාර්‍ය කාලෝ පොන්සේනා සරත් හදුන්වා දුන්නේ නව පරපුරේ දාර්ශනිකයකු ලෙස බව මට තවමත් මතක ය‍. සරත් හුදු දාර්ශනිකයකු පමණක් නොව මාක්ස් පෙන්වා දුන් පරිදි අදහස් ජනයා අතරට ගෙන යෑම මගින් ඒවා බල ගැන්වීමට ක්‍රියා කළ දාර්ශනිකයකු විය.

දිර්ඝ කාලීන දඩුවම් ලබා සිටි අප බොහෝ දෙනෙකුමැගසින් බන්ධනාග‍ාරයේ මුල් දිනවල දී  ඒ සඳහා මනසින් සූදානම්ව සිටියේ අනවශ්‍යගැටුම් ඇති කර ගන්නේ නැතිව දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කිරීමට ය. අප වේලාවට අවධි වී උදෑසන කෑම පෝලිමේ ගොස් ‍පාන් සමඟ පොල් සම්බල් පිගානට ගෙන හොඳ ළමයින්සේ ඉක්මනින් වැඩ මුරයට ගියෙමු.

බරපතල වැඩ වෙනුවෙන් අපට තිබුණේ ටේලර් පාටිය යි. ඒ වෙනුවෙන් මහන මැෂින් ද අපේ වාට්ටු බිමටම ගෙනැවිත් තිබුණේ අනෙක් සිරකරුවන් සමඟ අප මිශ්‍රවීම වැළැක්වීමට ය. එමෙන්ම වැඩ පාටිය පිණිස තාප්පයකට වහළක් බා මඩුවක් ද සාදා තිබුණි. සැම දවසක ම සියලු දෙනාම වෙනුවෙන් මසා අවසන් කළ යුතු වැඩ ප්‍රමාණයක් නියම කෙරුණි. එනමුත් තිහ හතලිහක් වූ  මුළු කන්ඩායමටම තිබුනේ මැෂින් හය හතකි. ඒ දැවැන්ත මහන මැෂින්හි වැඩ ‍කළේ මා ඇතුළු කිහිප දෙනෙක් පමණි. පිරිසකට බොත්තම් කාස මැසීම, පඥාදු කිරීම ( එනම් පිටත‍ට නෙපෙනෙන සේ සීරැවට වාටි අතින් මැසීම) බාර විය. වැඩ නොකර සිටීමට අවස්ථාව තිබූ නමුත් වැඩ පාටියෙන් බැහැර යාම සහ ඔබ මොබ යාම තහනම් විය.

බලාධිකාරියට විරුද්ධ වීම දේශපාලන සිරකරුවන් වශයෙන් කළ යුතු යැයි සිතූ නියාවෙන් සරත්සිරාඅසෝක ත්‍රි පුද්ගල කන්ඩායම එම රීති කිසිවක් තැකුවේ නැත. සටන පටන් ගැනුනේ මෙහෙම ය: වැඩ පාටියට පාන් ගෙනැවිත් කෑම තහනම් වූ නිසාම සිරා ජම්පරය අස්සේ පාන් සඟවා ගෙන පැමිණ පාන් කමින් ඇවිදින්නට පටන් ගනී. එවිට මැෂින් පාටියේ මාස්ටර් පාටියට එන ලෙස ආයාචනා කරයි. සිරා ගනන් ගන්නේ නැත. දෙවැනිව නියාමකවරයෙක් පැමිණ සිරා අල්ලා ගනී. එවිට සරත් සහ අසෝක වාදයට එළඹෙයි. සරත් වාද කරන්නේ නැත. දීර්ඝ දේශණයක් පවත්වයි. තවත් නියාමකවරු පැමිණේ. ඔවුහු සිරා රැගෙන යාමට සැරසෙති. එවිට අප බෙහෝ දෙනෙකු ද වාදයට පැටලී අවුල විසදා ගනිමු. නිදාසිටිනවුන් ඇහැරවීම එදා සරත්ගේ අරමුණක් වූවා වැන්න.

සිය ස්වයං චරිතාපදානයෙහි ද සරත් ලියන්නේ ගැටුම නරක දෙයක් නොවේ. යහපත් ලෙස හසුරුවා ගත් කළ එය සාධනීය අවසානයකට මඟ පෙන්වයි කියා ය. දඩුවම් ලබා සිර ගෙදර ගත කල මුල් දවස්හි සරත් ගැටුම් සමනය කිරීමට සටන්කාමිත්වය ද ආගමික බැතිමත් බාවය ද එකසේ යොදා ගත්තේ ය.

ජී වාට්ටුවෙහි අනෙක් අය නිදි සුව විදින අතරෙහි රාත්‍රියක් පසුපස රාත්‍රියක් පාසා සරත්, මද ආලෝකයෙන් මැක්සිම් ගෝර්කිගේ කෙටිකතා සිංහලට පරිවර්ථනය කරයි. අනතුරුව ඒවා පිටපත් කරමින් වැඩි දෙනෙකුට කියැවීමට බෙදා හැරෙයි. පරිවර්ථනයක් කර දෙන්නැයි හෝ ව්‍යාපෘතියක් ලියා දෙන්නැයි කැරෙන සහෝදර ඉල්ලීම් බැරි නොකියා බාර ගත් සරත් රෑ මැදියමෙහි පවා එක්කෝ කොළඹ මොන්ලාර් කාර්යාලයෙහි හෝ නැත්නම් කුරුනෑගල නිව‍සෙහි මේසයට බර වී ඒ කාරියෙහි නිරත වීම, පසු කාලයෙහි නිරන්තර දසුනක් විය.

තමා පාසැළෙහි ක්‍රිකට් කන්ඩායමේ නායකයා බවට පත් වූ අන්දම සරත් ස්වයං චරිතාපදානයෙහි සටහන් කරන්නේ තමාට එම ගෞරවය ලැබුනේ පසු නොබැස දිගටම ක්‍රීඩා පුහුණුවට ගිය නිසා බවයි. තමා පුහුණුවට නොයා අතහැරිය බවත් පුහුණු බාර ගුරුවරයා ඒ ඇයි දැයි විමසූ බවත් ඊට හේතුව එවිට මාසයක් ම පුහුණුවට ආව ද එක් දිනක් හෝ පන්දුවට පහර දීමට නොලැබුණ නිසායැයි කී බවත් සරත් ලියයි. මාසයක් නොව අව්රුද්දක්ම පන්දුවට පහර දීමට නොලැබුණ ද පුහුණුවට ආ යුතු බවට එවිට ලද ඔවදන සරත් සිහි කරන්නේ බැතියෙනි. ඔහු අපූරු දකුණත් දඟ පන්දු යවන්නකු බව සිර ගෙදර ගැසූ ඕවර දහයේ තරඟ වලදී අප දැන ගතිමු. ඔහු හොඳට පන්දුවට පහර ද දුන්නේ ය.

සිර ගෙදරදීත් අපි ක්‍රිකට් ගැසුවෙමු. ගී ගැයුවෙමු. වාද කළෙමු. ඇර ගත්තෙමු. සරත් මිහිරි හඩින් ගී ගැයුවේ ය.

අතනැර සටන් කිරීම ජයග්‍රහනයේ පදනමක් බව චීන විප්ලවයේ නායක මා ඕ සේතුං ලීවේ ය. සරත් ක්‍රිකට් පුහුණුවේ දී පමණක් නොව සිය දේශපාලනයේ දී එමඟම ගත්තේ ය. සරත් සමඟ රටපුරා ගිය රථාවාර්ය වූ පේමේ දෙකක් දා ගත් විට මෙසේ කියන්නට පුරුදුව සිටියේ ය. ” බය නැතිව දා ගන්න කියන්න ඕන ගොවි රුස්වීමක්. සරත් අයියට එන්න බැරි උනොත් මට පුලුවන් ඒ කතාවම කරන්න, සිය පාරක්වත් අහළ තියෙනවනෙ.” සරත් අරගලය අත හැරියේ නැත.

මිනිසෙකු වීමට කොතරම් මාවත් ගමන් කරන්නද? යැයි බොබ් ඩිලන් ගැයූ පරිදි සරත් සිය ජීවිතයෙහි බෙහෝ මංමාවත් ද අතුරු මාවත් ද හරහා ගමන් කළේ ය. එමගින් අර්ථවත් බරසාර මිනිසකු බවට පැමුණිනි.

සරත්, සතුටට හේතුවකි. මන්ද යත් එවැනි මිනිසකු ජීවිතය අර්ථාන්විත බවට පත් කරන නිසා ය. එවැනි මිනිසකු විසින් මානව වර්ගයාගේ අනාගතය පිළිබද නව දැක්මක් සපයන නිසා ය. කෙටියෙන්, අප සතුටු විය යුත්තේ සරත් වනාහී යහපත් සමාජයක් අරමුණෙන් පවත්නා සදාතනික අරගලයේ අපූරු වඩදිය රළක් වන නිසා ය. එය බැස යන්නේ නිසැකවම ආපසු ඒමට ය.

ජයවේවා සරත්. ඔබට සුබ ගමන්!

සුනන්ද දේශප්‍රිය

(පසුගිය හත්වැනිදා සැදැවෙහි අප අතරින් වියෝ වූ සරත් ප්‍රනාන්දු සහෝදරයා වෙනුවෙනි.)