සරසවි සිසුන් යනු මෝඩයන්, කලහකාරීන් ,නාහෙට අහන්නේ නැති කොට්ඨාශයක්ද?

0
627

වර්ථමාන ශ්‍රීලංකාවේ ඇති ප්‍රධානතම ප්‍රශ්ණය කුමක්ද?

රජය විසින් වැට් බද්ධ 15%කට වැඩි කිරීමද? මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමද? රට සංවර්ධනය කරන්නට රජයට ඇති සැලසුම් මොනවාද යන්නද?

නැත. මේ දිනවල අපේ රටේ බොහෝ දෙනෙකුගේ දැවෙන ප්‍රශ්නය වන්නේ කැළණි සරසවියේ නවක වදය හා ඩෙනිමයි.

ඒ පිලිබදව වැඩි විස්තර ලිවීම අවශ්‍ය නොවන තරමට මාධ්‍ය එය මාකට් කර හමාරය. මේ සිදුවීම සිදුවී දින කිහිපයක් ගතවූවත් මේ වන තෙක් ප්‍රවෘත්ති ප්‍රකාශනයන්ගේ ප්‍රධාන පුවතක් වන්නේ කැළණි සරසවියේ සිසුන් අධිකරණයට ගෙන ඒම හා අත්අඩංගුවට ගැනීමය. ප්‍රවෘත්ති ප්‍රකාශයන් වල සමබරතාවය මොනවට පසක් කරමින් ඔවුන් සෑම අවස්ථාවකම සදහන් කරන්නේ විශ්ව විද්‍යාල පාලන අධිකාරයේ අදහස් පමණි. සිසුන්ගේ පාර්ශවයෙන් මේ පිලිබදව දරණ අදහස ඉදිරිපත් කිරීමට ඔවුන්ට ලැබෙන්නේ ඉතාමත් සුළු කාලයකි.ඇතැම් අවස්ථාවල සිසුන්ගේ පාර්ශවයේ අදහස් විමසීමක්වත් සිදු නොවේ. මේ ක්‍රියාකාලාපයෙන් ඔවුන් ප්‍රකට කරන්නට උත්සහ කරන්නේ කුමක්ද?

uni1

සරසවි සිසුන් යනු මෝඩයන්, කලහකාරීන් ,නාහෙට අහන්නේ නැති කොට්ටාසයක් ලෙසද?? සැබවින්ම සිදුවන්නේ එයයි. රජයේ සරසවි තුල ඇති උප සංස්කෘතියට හුරු කිරීමේ වැඩපිලිවෙලක් ඇත. ඒ ලෙසින්ම ඇතැම් සරසවි වල ඇතැම් පීඨයන්ගේ මේ ක්‍රියාවලිය තරමක් වදයක් වන මුහුණවරක්ද ඇති බව පිලිගත යුතුය. නමුත් වර්ථමානය වන විට දිවයින පුරා පවතින සරසවි වල මේ මාධ්‍ය විසින් වපුරන ආකාරයේ පහත් රැග් කිරිල්ලක් නැත. බොහෝ සරසවි වල පීඨයන්ගේ රැග් කිරීමක් ඇත්තේම නැත. නමුත් මාධ්‍ය විසින් තළු මරමින් කටගැස්මට ගන්නේ මේ රැග් කිරිල්ලයි. අමානුෂික ආකාරයේ නවක වදයන් කෙරෙහි එරෙහි වීමට අප පසුබට නොවන අතර විශ්වවිද්‍යාලයකට නවක සිසුවෙකු ඇතුළු වූ විට එම සිසුවා අදාල පරිසරයට හුරු කිරීමේ වැඩපිලිවෙලක් විශ්ව විද්‍යාලය තුල තිබිය යුතුමය යන්න අපගේ මතයයි. නැතිනම් ඒ සිසුවා මහා සාගරයක් වැනි විශ්ව විද්‍යාල භුමිය තුල අතරමං වනු නිසැකය. මේ දිනවල බොහෝ දෙනා නවක වදය කියමින් පවසන්නේ මේ ක්‍රියාවලියයි. විශ්ව විද්‍යාලයකට ඇතුලත් වූ විට එම භූමිය තුල පවතින විශේෂිත ස්ථාන ඇත්තේ කොහෙද? ආපාන ශාලා කීයක් තියෙනවද? ඒවා තියෙන්නේ කොහෙද? විශ්ව විද්‍යාලය තුල පරිපාලන ගොඩනැගිලි ඇත්තේ කොහෙද? ඒ වලින් තමන්ගේ කාර්‍යයක් ඉටු කර ගැනීම සදහා ක්‍රියා කල යුත්තේ කොහොමද? විශ්ව විද්‍යාලයේ තමන්ගේම පීඨයේ තමන් සමගම ඉගෙන ගන්නා අනිත් ළමුන්ගේ පවුලේ විස්තර මොනවාද? විශ්විදයාලය තුල ඵීඨයන් කීයක් තියෙනවාද? ඒවල පීඨාධිපතිවරුන් කවුරුන්ද? යන්න පිලිබදව නවක සිසුන් ඉගෙන ගන්නේද මේ මාධ්‍ය හා ජනතාව අපවාදයට ලක් කරනා නවක වදයෙන්මය.එය නවක වූවත් වදයක් වනනේ කෙලෙසදැයි මටනම් තවමත් තේරෙන්නේ නැත. ළමුන් ගැන මෙපමණ වෙහෙසෙන ආචාර්‍යවරුන් කිසි දිනක ලෙක්චර් පවත්වා විශ්ව විද්‍යාලය පිලිබදව හැදින්වීමක් හෝ ඉහත සදහන් කල දේ කියා දෙන්නේ නැත. නවක සිසුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සපයා දෙන්නට ඔවුගේ කෑම බීම පිලිබදව සොයා බැලීමට ආචාර්‍යවරු කිසි දිනක පැමිණෙන්නේ නැත. ඒ සියළු දේම කරන්නේ ජේෂ්ඨ ශිෂ්‍යයන් විසිනි. ඒ පිලිබදව දන්නේ ඉතින් මාධ්‍ය හෝ මහජනතාව නොව සරසවි සිසුන්ම පමණකි. එම නිසා මේ ඇත්දැකීම නොලැබූ පිරිසකට එය විවේචනය කිරීමට හැකි වූවත් එය පදනම් විරහිත බව අප කියන්නේ මේ නිසයි.ඒ ලෙසම සරසවිය තුල ඉගෙනගන්නා වසර 3 හෝ 4 තුල ඇතිවන සුන්දරම මතකයන් ගොඩනැගෙන්නේ මේ වකවානුව තුල බවත් මතක තබා ගත යුතුය. වසර 4 තුල මතකයන් මතක් කරමින් සිනාසෙන විට ලෙක්චර්වල විශය නිර්දේශය මතක් වී සිනා යන්නේ නම් ඒ ඒ දිනවල ඒවා අපබ්‍රන්ස වූ නිසා පමණක් විනා එහි වූ සුන්දරත්වයක් නිසා නොවේ. මතක් කල විට ආදරණීය ලෙස සතුටින් සිහි කල හැකි මතකයන් රැසක් ගොඩනැගෙන්නේ මේ මාස කිහිපය තුල බව් අවධාරණයෙන්ම කිව යුත්තකි.

එලෙසම නවක වදයත් සමග මේ දිනවල යටගිය අනිත් කරුණ වන්නේ මේ වන විට කැළණි සරසවිය වසා දමා මාසයකට ආසන්න බවයි. අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් මාසයක පමන කාලයක් වසා දැමීමේ හානිය අධ්‍යාපනය ලබන්නවුන්ට දැනෙන ආකාරය පැවසීම අවශ්‍ය නොවේ. මේ ආකාරයෙන් විශ්ව විද්‍යාලය වසා දමන්නේ ජලය විස වීමේ සිදුවීම් හේතු කොටගෙනය. නමුත් කාලයක් යන විට එම විශ්ව විද්‍යාලයෙන්ම නවකවද සිදුවීමක් මතු වීම සිදුවේ. ඉන් දින කිහිපයකින් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වල බලෙන් පදංචි වී සිටියායැයි කියමින් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමක් සිදුවේ. මේ සියල්ලත් සමගම විශ්ව විද්‍යාලය තාමත් වසා දමා ඇත.

වතුර විස වීමක් නිසා විශ්වවිද්‍යාලයක් මාසයක පමණ කාලයක් වසා දැමීමට සිදු වුවහොත් එයින් පැහැදිලි වන්නේ පරිපාලනයේ දුර්වල කම නොවේද?

එලෙසම නවක වද සිදුවීමක් නිසා සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමක් අප අනුමත නොකරන්නෙමු. එය සැබවින්ම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් විශ්ව විද්‍යාලය තුලම විසදා ගත යුතු සිදුවීමකි. එයත් මේ මිලේචඡ නවක වද සිදුවීමක් නොව ඇදුමක් සම්බන්ද සිදු වීමක් නිසා එය පොලීසියෙන් හා අධිකරණයෙන් කෙලවර වීම කෙරෙහි සැබවින්ම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරය ලැජ්ජා විය යුතුය. එමගින් කියන්නේ පාලන අධිකාරියට සිසුන් අතර ඇතිවන ප්‍රශ්ණ විසදා ගැනීමට හැකියාවක් නැති බව නොවේද????එලෙසම කිසියම් හෝ සිදුවීමක් මත ජේ්‍යෂ්ඨ සිසුන් අතින් වරදක් වූවා යැයි සිතුවත් වගකිය යුුුතු ආචාර්‍යවරුන් හා පාලන අධිකාරයේ සාමාජිකයන් වශයෙන් හැසිරිය යුත්තේ තම සිසුන්ගේ අනාගතය සුරක්ෂිත වන අයුරින් මිස මාධය සංදර්ශණ පවත්වමින් ඔවුන් නැහැදිච්ච එවුන් ලෙස මාකට් කරමින් ඔවුන්ගේ අනාගතය විනාශ කරමින් නොවේ.

මෙ සිදුවීම් ජාලයේ අනිත් සිදුවීම වන්නේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ බලෙන් රුදී සිටියා යැයි කියමින් තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමයි. වාසනාවකට එම සිසුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ නැත. මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය මේ වන විට වසර ගණනාවක් පසුකර ඇති නමුත් මෙවැනි නේවාසිකාගාර සිදුවීමක් නිසා සිසුන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් මාගේ මතකයට නැගෙන්නේ නැත. මෙමගින් පැහැදිලිවම පෙනෙන්නේ විශ්වවිදයාලයේ පාලනයට සිසුන්ගේන ගත යුතු පලිගැනීමක් ඇති බවයි.

ඇතැම් විට මේ සදහා සැගවුණ රජයේ නයාය පත්‍රයක් ක්‍රියාත්මක වන්නටද පුළුවන. මන්දයත් මේ සිදුවීම් වහා වහා මාකට් වීම තුලින් හෝ කරවීම තුලින් රජය විසින් පැනවූ බදු පිලිබදව කාටත් මතක නැත. හැමදේටම අර්ථකථන සපයන පිරිස් බහුතරයක් හැසිරෙන ෆෙස්බුක් එකේ පවා මේ දවස් වල බයිට් එක මේ සිදුවීමයි. ඒ නිසා වරෙක රජයක් පෙරලීමට පවා හේතු වූ ෆේස්බුක් ප්‍රජාව මේ වන විට පිල් බෙදී මාධ්‍ය විසින් මාකට් කර දෙන දෙය එයට ගොදුරු වූවන් හා ඔවුන්ගේ පවුල් හා විශ්ව විද්‍යාලයන් පිටින්ම තමන්ගේ බයිට් එක බවට පත් කර ගැනීමට වෙහෙසෙමින් සිටී. රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා පිරිස් එක් පිලිකත් පෞද්ගලික විශ්වවිද්‍යාල වල පිරිස තවත් පිලිකත් කිසිම විශ්වවිද්‍යාලයක නියොජනයක් නොමැති පිරිස් පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ගේ කොටසට එක් වෙමින් රාජ්‍ය විශ්ව විද්‍යාල විවේචනය කීරීමට දැඩි වෙහෙසක් දරන බව ඉතාමත් පැහැදිලිය. මෙවැනි සිදුවීම් මාකට් කර රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් හංවඩු ගැසීමේ අරමුණ කුමක් විය හැකිද? ඒ පිලිබදව පැහැදිලි නිගමනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූවත් කාලයක් තිස්සේ මේ සිදුවන සිදුවීම් සියලල්ම එකට ගෙන කල්පනා කරන විට අපට පසක් වන්නේ මේ සියළුම න්‍යාය පත්‍රයන් තුලින් ඒවා ක්‍රියාත්මක් කරන පිරිස් උත්සහ දරන්නේ රජයේ විශ්වවිද්‍යාල ජනතාවට එපා කරවීමට බවයි. පසුගිය කාල සීමාව පුරාම විශ්ව විද්‍යාල සිසුන් විවිධ ඉල්ලීම් වෙනුවෙන් කරන ලද උද්ඝෝෂණ දැඩි මර්දනයකට ලක්වූ අතර ඒ හරහා රජයන් හා මාධ්‍ය කියා දිගින් දිගටම සිටියේ විශ්ව විද්‍යාල සිසුන්ගේ මේ හැසිරීම වැරදි බවයි. නමුත් ඉල්ලීම් නිසි ආකාරයෙන් ඉල්ලුු විට ලබා නොදෙන්නේ නම් ඔනෑම වෘතීය සමිතියක් හෝ විනා ගන්නේ විශ්ව විද්‍යාල සිසුන් අනුමනය කරන ක්‍රියා පිලිවෙලම නොවේද? වෘතීය සමිති හෝ ගොවි සංගම් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ කිරීම් හා පාර්ලිමේන්තුව වැටලීම වැනි සිදුවීම් සාධාරණීකරණය කරන පිරිස් විසින්ම තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා විශ්ව විද්‍යාල සිසුන් කරන උද්සෝෂණ දකින්නේ උමතු හැසීරීමක් ලෙසය. අපේ රටේ මිනිසුන්ගේ ගැටළුව ඇත්තේ මෙතනය. එනම් තාර්කික චින්තනයේය. මේ රටේ අති මහත් බහුතරය තමන්ගේය කියාගත් දේශපාලන මතයක් වෙනුවෙන් ජීවිත කාලයක් තිස්සේ කඩේ යමින් සිටින්නෝය. තමන් දරන මතය හරි හෝ වැරදි බව ඔවුන්ට පෙනෙන්නේ නැත. ඒ තරමටම ඔවුන්ගේ දේශපාලනය ඔවුන් අන්ධයන් කර හමාරය බිහිරන් ගොළුවන් කර හමාරය. ඔවුන්ගේ අත් පා මෙන්ම බුද්ධිය පවා හැසිරෙන්නේ දේශපාලුවන්ට ඕනෑ ආකාරයට විනා සාදාරණය වෙනුවෙන් නොවේ.

එලෙසම ෆේස් බුක් හරහා විශ්ව විද්‍යාල වලට පහර දෙමින් සිටින අය මේ දිනවල කියන තවත් දෙයක් ඇත.ඔවුන් කියන්නේ අප රටේ විශ්ව විද්‍යාල වල සිසුන් ඩෙනිමක් අල්ලන් නටන කල වෙනත් රටවල සිසුන් අගහරු මත ජනවාස පිහිටුවීමට සැලසුම් කරන බවය. කැළණිය විශ්ව විද්‍යාලයේ සිදුවූ සිදුවීම නැටුමක් බවට පත් කලේ මාධ්‍ය විසිනි. එයට ඒ සිසුන් වගකිව යුත්තේ නැත.එලෙසම මෙරට විශ්ව විදයාල සිසුන් වසර 3ක් 4ක් හෝ තිස්සේ විශ්ව විදාල භූමිය තුල සිට කරන්නේ ඩෙනිම් අදින සිසුවියන්ට සායක් හෝ ගවුමක් ඇදීමට බල කිරීම නොවේ.ඔවුන් යටත් වන විශය නිර්දේශයක් , විභාග මාලාවක් ,ඇගයුම් ක්‍රමවේදයක් ඇත. ඒ සියළු දේ විශ්ව විද්‍යාලයේ සෑම සිසුවෙකුම සිදු කරන්නේකි. ඒ නිසා විශ්ව විද්‍යාල වල සිසුන් වසර 4ක් තිස්සේ විශ්ව විද්‍යාලයේ තුල පොල් ගාන්නේ නැති බව සැම දෙනාම තේරුම් ගත යුතුය. එම අධ්‍යපන ක්‍රමය තුල ඇති පීඩනය හා එහි ඇති තත්වය පිලිබදව කිසිවිටකත් විශ්ව විද්‍යාලයක ඒ පීඩනය යටතේ වසර 4ක් ගෙවා දැමූෙවකුට මිස වෙත් පුද්ගලයෙකුට තේරුම්ගත හැකි වේ යැයි සිතීම් විහිළුවකි.

එලෙසම ඔවුන් කියන්නේ අප විශ්ව විද්‍යාල සිසුන්ගේන නව නිර්මාණයන් එළි දැක්වීමක් නොවන බවයි. නව නිර්මාණයන් කෙරෙහි වැඩි අවධානයක් ලබා දී ඇති ඉංජිනේරු උපාධිය සලකා බැලීමේදී මොරටුව විශ්ව විද්‍යාලය මගින් සෑම වසරකට වරක්ම වාර්ථාවක් එළි දක්වනු ලබයි. ඒ වාර්ථාවේ දැක්වෙන්නේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ නව නිපැයුම් හා සංකල්පයි.එම නිපයුම් වලට ලබා දිය යුතු තැන ලබා දීමට හො ඒවා ප්‍රයෝජනයට ගැනීමට හෝ රජයවත් වගකියයුතු ආයතනයක්ව් ඉදිරිපක් නොවීම නිසා ඒ නිපැයුම් ඇත්තේ කාටත් රහසක් වශයෙනි. එසේ නම් වරද ඇත්තේ සිසුන්ගේද රජයේ හො වගකවයුත්තන්ගේද යන්න පිලිබදව පැහැදිලිය. එලෙසම ඉංජිනේරු පීඨයන් හැරෙන්නට මෙරට ඉංජිනේරු විශය උගන්වන NDT,NDES,HNDE වැනි ආයතන වල ඉගෙනුම ලබන සිසුන් පවා සෑම වසරක් පාසාම නව නිර්මාණ ප්‍රදර්ශණ පවත්වන බව අපි දනිමු. එම නිර්මණ ප්‍රදර්ශණ භාණ්ඩ බවට පමණක් සීමා වන්නේ ඒවා ඉදිරියට ගෙන යාමට අත හිත දීමට කිසිවෙකු නොමැති වීම නිසා විනා සිසුන්ගේ අදක්ෂ කමක් නිසා නොවන බව හැම දෙනාම තේරුම් ගත යුතුය. එසේනම් අප රටේ විශ්ව විදයාල වල සිසුන්ට ඩෙනිමකින් තොර ලොවක් නැත යැයි කියනා පිරිසගේ මේ සම්බන්ද අවබෝධය පිලිබදව කථාකිරීමට තවත් තර්ක අවශය නොවනු ඇත.

මේ සියළු සිදුවීම එක් කර සිතූ විට පෙනී යන්නේ මේ සෑම සිදුවීමක්ම පිටපසු ඇත්තේ කාගේ හෝ න්‍යාය පත්‍රයක් බවයි.එම න්‍යාය පත්‍රය තුල අංග වශයෙන් රජයේ විශ්ව විද්‍යාල හා සිසුන් ජනතාවට එපා කරවීම, පෞද්ගලික විශ්ව විද්‍යාල වල මේ ප්‍රශ්ණ නැති බව පුන පුනා ප්‍රකාශ කිරීමට පොර කෑම තුල ඇත්තේ මෙරට රජයේ විශ්ව විද්‍යාල වලට තිබූ පිලිගැනීම නැති කිරීම බව පැහැදිලිය. එලෙසම රජය තමනගෙන් කාලයෙන් කාලයට සිදුවන අඩුපාඩු වසා ගැනීමටත් විශ්ව විද්‍යාල යොදා ගැනීමේ ප්‍රවණතාවයක් දැන් දැන් ඇති වෙමින් තිබේ. වැට් ප්‍රශ්ණය අස්සේ ඩෙනිමක් මතුවී කාට කාටත් වැට් අමතක වූයේ එහි ප්‍රතිළුලයක් වශයෙනි. ඒ නිසා ශ්‍රි ලාංකිකයන් වශයෙන් දැන්වත් අප මේ දේ තෙරුම් ගත යුතුය.

එනම් රජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන් උපාධිය තමන්ට අනිවාර්‍යයෙන්ම හිමි බව දැන දැනත් මෙලෙස පාරට බැස සටන් කරන්නේ කා වෙනුවෙන්ද? ඒ ඔවුන් වෙනුවෙන්ද අනාගත පරපුර වෙනුවෙන්ද?? නිදහස් අධ්‍යාපනයේ අයිතිය උපරිමට බුක්ති විදිමින් සිටියදීත් ඔවුන් තවත් නිදහස් අධ්‍යාපනය සුරැකීමට වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද? ඔවුන් වෙනුවෙන්ද??? උත්තරය ඇත්තේ ඔබේ හිතේ හෝ මනසේ හෝ ප්‍රවෘත්ති වල නොව ඔබේ හෘද සාක්ෂියේයි. නමුත් මෙරට අවස්ථාවාදී දේශපාලනය විසින් ඔබේ හෘද සාක්ෂියට අගුළු දමා හමාරය. ඒ නිසා එයින් කිසි විටකත් සත්‍ය දැකීමක් සිදුවෙතැයි බලාපොරොත්තු විය නොහැකිය.

ඒ නිසාම අප සැම දෙනාම විවිධ දේශපාලනික කන්නාඩි වලින් හා වෙනත් කන්නාඩි (රජයේ විශව විද්‍යාල හා පෞද්ගලික් විශ්ව විද්‍යාල වශයෙන් පවා ) ප්‍රශ්න දෙස බලා විසදුම් සෙවිම නතර කල යුුතු කාලය එලඹ ඇත. ජාතිය , ආගම, රටවල් ,ප්‍රදේශයන් වශයෙන් මනුෂ්‍යත්වයේ නිර්වචනයන් පවා වෙනස් වන පසුබිම නවතා දැමිය යුතුය. නැතිනම් මේ රටේ දියුණවක් සිදුවීම පුස්සක් පමණක් වනු නිසැකය.

ඒ නිසා මෙමගින් මා ආරාධනා කරන්නේ දැන් විවිධ හේතූන් මත බෙදී එකිනෙකා මරා ගෙන විනෝද වීමට ගතකල කාලය ඇතිය. දැන් ප්‍රශ්න දෙස බුද්ධමත්ව බැලිය යුතු කාලය එලඹ ඇත. නැතිනම් අනාගතයේ පරපුරට ජීවත් වීම සදහා රටක් ඉතිරි නොවනු ඇත.මුදල් මත් සැම දේම තීරණය වන අනාගතය වැඩි ඈතක නොවනු ඇත. එම නිසා මේ වන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඩිස්නිලන්තයක් වී ඇති මේ දිවයින සෞභාග්‍යමත් කිරීමේ වගකීම භාර ගැනීමට සියළුම දෙනා පෙරට පැමිනෙතැයි අපි අපේක්ෂා සහගතය බලා සිටින්නෙමු.

මිතිලායා ගමගේ