සවුදි රටේ තේ ගැනුම්කාර ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු මෙරට සංචාරයක

0
199

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වී  ඇති ශ්‍රී ලංකා තේ  නිෂ්පාදන තත්වය සොයා බැලීම සඳහා සවුදි ආරාබි රාජ්‍යයේ තේ  සම්බන්ධ ප්‍රවීනයන් සිවු දෙනෙකු පසුගිය 04 වැනි  දින පෙරවරුවේ දී මෙරටට පැමිණෙන ලදී.
කෙටි  සංචාරයක් සඳහා මෙරටට පැමිණි මෙම කණ්ඩායම මෙරට රැඳී සිටින කාලය තුළ නුවර සහ නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නිරීක්ෂණය කිරීමේ චාරිකාවලට  සහභාගිවීමට නියමිතව ඇත.
මෙම සංචාරයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ෂේක් මේෂාරි අල් ෂම්රි මහතායි. ඔහු සමඟ සුලෙයිමාන් උබෙයිඩ් අල් ෂම්රි , අල් ෂම්රි බඩර්, සහ අල් ෂම්රි අලී යන අය මෙම කණ්ඩායමට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ තේ පිළිබදව නිරීක්ෂනය කිරීමේ  මෙම චාරිකාව සංවිධානය කරන ලද්දේ සවුදි අරාබි රාජ්‍යයේ  ” අබූ හසාහ් ” (VID) ආයතනයයි.   අබූ හසාහ් (VID) ආයතනය වෙනුවෙන් සවුදි අරාබියේ  සිට මෙරටට පැමිණ සිටින අබ්දුල්ලාහ් අල් තමීමී මහතා මෙම චාරිකාවේ සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කරයි. ඒ අනුව අබූ හසාහ් (VID) ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රකට සංචාරක ආයතනයක් වන ග්‍රේෂන් ගැලැක්සි ආයතනය හා එක්ව මෙම චාරිකාව සම්බන්ධීකරණය කර ඇත. සවුදි අරාබි රාජ්‍යයේ අබූ හසන් (VID) ආයතනය සහ ශ්‍රී ලංකාවේ ග්‍රේෂන් ගැලැක්සි සංචාරක ආයතනය  දැනට වසර 04 ක පමණ කාලයක සිට මැද පෙරදිග සිට විශේෂයෙන් සවුදි අරාබි රාජ්‍යයේ සිට  ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වීමේ සහ   ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කරයි. ග්‍රේෂන් ගැලැක්සි ආයතනය වෙනුවෙන් මෙම සංචාරයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ එම්.එස්.එස් මුනීර් මහතායි.

මෙලෙස මෙම ව්‍යාපාරිකයන් සිව් දෙනා තේ කර්මාන්ත ශාලාවල කෙරෙන නිරීක්ෂණ චාරිකාවලදී මෙරට තේ නිෂ්පාදනය සහ ඇසුරුම් කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ  තේ වල උසස් ගුනාත්මක තත්වය පිළිබඳව විශේෂ ආකාරයෙන් අංශ කිහිපයක් යටතේ නිරීක්ෂණය කරනු ලබයි. එලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් සවුදි අරාබි රාජ්‍යය ඇතුළු මැද පෙරදිගට දිගුකාලීනව තේ අපනයනය සඳහා කටයුතු කරනු ඇති බවට වාර්තා විය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ග්‍රේෂන් ගැලැක්සි සංචාරක ආයතනයේ සම්බන්ධීකාරක එම් .එස්.එස් මුනිර් මහතා පවසන්නේ ෂේක් මේෂාරි අල් ෂම්රි මහතා ඇතුළුව ශ්‍රී ලංකාවට ව්‍යාපාරික වශයෙන් වැදගත් චාරිකාවකට පැමිණි  මේ ව්‍යාපාරික කණ්ඩායම නිසා ඉදිරි කාලයේදී මෙරට තේ අපනයනය සඳහා විශාල පිටුවහලක් ලැබීමට නියමිතව ඇති බවයි.