සහෘද මාධ්‍යවේදි සගයා”පසන් රාමවික්‍රම” අප අතහැර ගොස් වසරක් පිරෙයි !

0
87

 

pasan 4පසන් කියන්නේ ඇත්තටම ලොකු හදවතක් තිබුණ පුංචි සුන්දර මිනිසෙක් .ඔහු හා ඇසුර කරන්නට ලැබුන කාලය කෙටි වුවද මාධ්‍ය ක්ෂේත්‍රය තුල ඔහු අප සැම  අතහැර යන්නේ සැමගේ සිත් සතන් තුල නොමැකෙන මතක සටහන් රැසක් තබාය.
මාතරට ශක්තිමත් මාධ්‍ය සංවිධානයක් ගොඩනගන්නට මුල පුරන්නේ පසන්ය.
මාතර මාධ්‍යවේදියෝ සංවිධානය බිහිවන්නේ අප හා ඇතිවු කෙටි සංවාදයක ප්‍රතිඵලයක් ලෙසය.

ඒ මාධ්‍ය සංවිධානය අද දකුණේ පළාතේ ක්‍රියාකාරිම මාධ්‍ය සංවිධානයයි’ අප සැම අතහැර යළි නොඑනා ගමන් යන්නට පැය කිහිපයකට මත්තෙන් පවා ඔහු අප හා කථාකලේ මාධ්‍යවේදින් සදහා පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරිම ගැනය.
08.02.2016 දින මාතරදි පැවැති රැස්විමක් ආවරණය කරමින් සිටියදි කලබලයෙන් කරන්නට යෙදුන තප්පර 26 ක ඒ දුරකථන සංවාදය  තවමත් මගේ ජංගම දුරකතනය තුල සංරක්ෂිතව තිබේ.

සුන්දර මතකයන් රැසක් සමගින් මාතර මාධ්‍යවේදින් එකතැනකට ගොනුකොට පසන් දැන් අප අතහැර ගොසින්ය.පෙබවාරි 08 වෙනිදාට යෙදෙන පසන්ගේ පළමු අනුස්මරණය සදහා මාතර මාධ්‍යවේදි සගයන් වැඩසහන් කිහිපයක්ම  සංවිධානය කරගෙන යමින් සිටිති.
ඔහු පිළිබදව විවිධ මතක සටහන් ඉදිරි දින කිපය තුල මේ මුහුණු පොත් අතරේ ගැවසෙන්නට පුළුවන.
පහත පළවන්නේ ඉන් එකකි.
රන්ජන් ගාමිණි ජයවර්ධන මේ සටහන ඔහුගේ මුහුණ පොතට එක් කර තිබුණි.

……..මෙහි දැක්වෙන්නේ මීට වසර දහයකට පමණ ඉහතදී අප සහභාගී වූ මාධ්‍ය වැඩමුළුවක අංගයක් ලෙස අප විසින් කළ නාට්‍යමය ඉදිරිපත් කිරීමක සේයාරුවකි.
හදිසියේ කටුගාගත් එම නාට්‍ය පිටපතෙහි තේමාව වුයේ කාන්තා හිංසනයට එරෙහිවීමයි.
උපැස් යුගලයක්ද පැළඳ එදා එහි දුෂ්ටයාගේ චරිතය රඟපෑවේ රන්ජන් වන මමය.
එහිදී හිංසනයට පත් වීමට පෙර දුෂ්ටයාට එරෙහිවී කාන්තාව බේරා ගැනීමේ වීර චරිත යුගලය රඟපෑවේ එවක ලක්බිමෙහි පසන් සහ ඩේලි මිරර් හි නෙත්තිකුමාරය.
පසන් සහ නෙත්ති යන මාධ්‍ය සහෝදරයන් දෙදෙනාම අද ජීවතුන් අතර නැත.
ඉන් පළමුව අප හැර ගියේ නෙත්තිකුමාරය.
ඔහු බරපතල ලෙස අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ ගිලන්ව සිටියදී ඔහු වෙනුවන් මාතර විහාරස්ථානයක බෝධි පුජා පින්කමක් සංවිධානය කළේ පසන්ගේ මුලිකත්වයෙනි.
එ පමණක් නොව එම බෝධි පුජාවේදී ස්වාමීන් වහන්සේ විසින් නෙත්ති හට නිරෝගී සුවය පතනා හඬ නෙත්ති ට තම දුරකතනයෙන් ඇමතුමක් ගෙන ඇහෙන්නට සැලස්වුයේ ද දයාබර පසන්ය.
(08.02.2016) අප සමරන්නේ ඒ පසන්ගේ පළමු ගුණානුස්මරණයයි.
මිනිස් දිවියේ ස්වභාවය එයයි.
වීරයන් මියගොස් දුෂ්ටයන් රජයන ලොවක සිට පසන් ලා නෙත්තිලා සිහිකිරීමට ලැබීමෙන් දුෂ්ටයකු ලෙස වුවද මා අපමණ සතුටක් ලබමි.
පසන් නෙත්ති මාධ්‍ය සගයන් දෙදෙනාට නිවන් සුව පතමි……..