දුරකථන ගාස්තු වැඩිවීම සම්බන්ධ මාතෘකාව කරළියට පැමිණි පසු, අප ආයතන
ප්‍රධාන අලෙවි නිලධාරි නිශාන්ත දහනායක, වැඩසටහන් කළමනාකරු සුරේෂ් හෙන්නායක සහ මමත් මෑතකදී ලද අත්දැකීමක් මතක් වුණා. ආයතනික අවශ්‍යතාවක් වෙනුවෙන් අප තිදෙනා දින තුනක් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළා. එහිදී එම ප්‍රදේශවල ජන ජීවිතය ගෙවෙන ආකාරය පිළිබදව අප ඇස ගැටුනා. ගම්වල කුඩා වෙළෙඳසල් තිබෙනවා. ඒවායේ වැඩි අලෙවියක් ඇත්තේ කවර දේටදැයි අප විමසිලිමත් වුණා. වෙළෙඳසල් හිමියන්ගෙන් ලැබුණේ අප නොසිතූ පිළිතුරු. මේ එක් අයෙක් කියූ කතාව.
“මහත්තයා, මීට මාස තුන හතරකට කලින් රුපියල් 15,000/= – 20,000/= ක රීලෝඩ් කාඩ්(Reload Card-පෙරගෙවුම් කාඩ්පත්)විකිණුනා. දැන් රුපියල් 20,000/= -30,000/= ක ඩේටා කාඩ්(Data Card-දත්ත කාඩ්පත්)විකිණෙනවා.”
“කව්ද මේවා ගන්නේ?”
“ඔය නිකන් ඉන්න කොල්ලෝ තමයි. තරුණ හාමුදුරුවොත් ටිකක් ගන්නවා. සමහර දවසක එක හාමුදුරු නමක් විතරක් රුපියල් හාරපන්සීයක කාඩ් මගෙන් ගෙනිහිල්ලා තියෙනවා.”
පොල් අතු සෙවිලි කළ කුඩා කඩයක සිට අප ගොඩ වැදුණු බොහෝ වෙළෙඳසල්වලින් මෙවැනි පිළිතුරු ලැබුණා. ගම්වල සමහර වෙළෙඳසල්හි මසකට රුපියල් 60,000/= ඉක්මවා රීලෝඩ් සහ ඩේටා කාඩ් විකිණෙන බව පැවසුනා. රීලෝඩ් දැමීමෙන් දුරකථන ඇමතුම් ගන්නා බව අප කවුරුත් දන්නවා. වෙළෙඳසල්වලින් අප විමසුවේ ඩේටා කාඩ් ගෙනගොස් අදාළ තරුණයන් අන්තර් ජාලයෙන් කරන්නේ කවරක්ද යන්නයි. ලැබුණේ සමාන පිළිතුරක්. ස්මාර්ට් දුරකථන හිමි ඔවුන් facebook සහ youtube යන බවයි ඔවුන් පැවසුවේ.
මේ බොහෝ දෙනා ජංගම දුරකථනය හෝ අන්තර් ජාලය ඵලදායි ලෙස භාවිත කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ගම්මාන 38 000 කට වැඩි ගණනක් තිබෙනවා. හැම තැනකම එක වගේ නොවුණත් ජංගම දුරකථන සහ අන්තර් ජාල භාවිතය(ඵලදායි නොවන) වෙනුවෙන් ගමක් මසකට විශාල මුදලක් අහිමි කරගන්නවා. කාලය අපතේ යාමත් සමාජ පිරිහීමත් මෙහි අනිටු ප්‍රතිඵල විය හැකියි. රාජ්‍ය සේවකයින් සිය සේවා කාලයේදී දිනකදී පැය දෙකක් දුරකතනය භාවිත කරන බව ඉකුත්දා එළිදැක්වුණු සමීක්ෂණ වාර්තාවකින් ද කියවුණා.
මේ අතර 2014 වසරේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අන්තර්ජාල භාවිතය 85.8%කින් වැඩි වී තිබුණා. එමෙන්ම එම වසරේ තිස් තුන් ලක්ෂ අනූහය දහසක්ව(33,96000) තිබූ අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව 2015 වසරේදී හතළිස් ලක්ෂ අනූ එක් දහස(40,91000) දක්වා වැඩි වී තිබෙනවා. සංනිවේදන ක්ෂේත්‍රයේ ඇතිවන මෙකී වර්ධනයන් රටට වැදගත්. එහෙත් ඒවා දැනුවත්භාවයකින් තොරව භාවිතය කාලයත් මුදලත් විනාශ කරනවා. ජංගම දුරකථනයත් අන්තර්ජාලයත් වදුරාට දැලි පිහිය අසුවීමේ කතාවට පණ දීමක් විය යුතු නැහැ.