සාන්ත පීතර විදුහලේ ,විදුහල්පතිවරයා ඉවත්කරන්නැයි දෙමාපියන් විරෝධතාවයේ

0
59

 

මීගමුව සාන්ත පීතර විද්‍යාලයේ වර්තමාන විදුහල්පති රොයිස් ප්‍රනාන්දුට එරෙහිව අද උදෑසන ( 03/07/2024 ) නිහඬ විරෝධතාවයක් එම විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම නිහඬ විරෝධතාවය සඳහා විද්‍යාලීය සිසු දරුවන්ගේ දෙමාපියන් පිරිසක්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ඇතුළු විද්‍යාලීය ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්ද සහභාගි වූහ.

වසර 11 ක කාලයක සිට අද දක්වාම කටයුතු කරන රොයිස් ප්‍රනාන්දු නැමැති එම පාසලේ වර්තමාන විදුහල්පතිවරයා වෙනුවට වෙනත් දක්ෂ විදුහල්පති සේවාවේ සුදුසුකම් සහ පලපුරුදුකම් ඇති පරිණතභාවයෙන් යුත් වෙනත් විදුහල්පතිවරයෙක් මෙම විද්‍යාලයට ලබා දෙන ලෙස වගකිවයුතු නිලධාරීන්ට සහ බලධාරීන්ට බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ. වසර 11 ක කාලයක් තිස්සේ විදුහල්පති ධුරයේ කටයුතු කරන මෙම විදුහල්පතිවරයාගේ අදක්ෂ හා ආකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් මීට දශකයකට පමණ පෙර බස්නාහිර පළාතේ ඉතා ජනප්‍රිය සහ හොඳම කතෝලික මිශ්‍ර පාසල ලෙසින් නමක් දිනාගත් මීගමු සාන්ත පීතර විද්‍යාලය මේ වන විට සෑම අංශයකින්ම කඩා වැටී පරිහානියට පත්වෙමින් තිබෙන බව  පාසලේ දෙමාපියන් ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙහිදී උද්ඝෝෂකයින් ප්‍රශ්න කර සිටින්නේ විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණිය පමණක් සමත්ව ඇති මෙම විදුහල්පතිවරයා පාසල් ⁣ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය යටතේ ඒ-01 පාසලක් බවට පත් වී ඇති ශාන්ත පීතර විද්‍යාලය පාලනය කරන්නට කිසිදු සුදුසුකමක් නැති බවයි.

ඒ-01 ශ්‍රේණියේ පාසලක විදුහල්පතිධූරය දැරීමට  සුදුසුකම් ලබන්නේ විදුහල්පති සේවයේ  පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුට පමණක් බවද ඔවුන් වැඩිදුරටත් මෙහිදී අවධාරණය කරයි. මීගමු කලාපයේ කතෝලික පාසල් අධ්‍යක්ෂක රංජිත් මදුරාවල පියතුමන් මෙම විදුහල්පතිවරයාව මෙම පාසලට අනුයුක්ත කර ඇත්තේ තාවකාලික පදනමින් වසරක කාලයක් සඳහා පමණක් බව පවසන විරෝධතා නියැලෙන පිරිස ප්‍රකාශ කර සිටී.
වසරක් සඳහා තාවකාලික වශයෙන් අනුයුක්ත කළ සුදුසුකමක් නැති මෙවැනි විදුහල්පතිවරයෙක් වසර 11 ක කාලයක පමණ කාලයක් එකම පාසලක ස්ථාන මාරුවීමක් හෝ නොලබා අඛණ්ඩව රැඳී සිටින්නේ කෙසේද යන්න ඔවුන් වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

එමෙන්ම මෙම විරෝධතාව යෙදෙන පිරිස පවසන පරිදි මෙම විදුහල්පතිවරයා පැමිණීමෙන් පසුව වසර 120 කට වැඩි කාලයක් පාසල් ළමුන් ක්‍රීඩා කළ ක්‍රීඩාපිටිය පාසලට අහිමි වී ඇත. එලෙසම මෙවර නිවාසාන්තර ක්‍රීඩා උළෙල නොපැවැත්වීම, වාර්ෂිකව පැවැත්වෙන බිග් මැච් හෙවත් ක්‍රිකට් සැණකෙළිය මෙවර නොපැවැත්වීම, ඒවගේම වොලිබෝල්, නෙට්බෝල් ,පාපන්දු ,ක්‍රිකට්,බැට්මින්ටන්, මිනි ටෙනස්, ක්‍රිකට් , කරාටේ සහ මළල ක්‍රීඩා ඇතුළු ඉහළම මට්ටමේ තිබූ ක්‍රීඩාවන් මේ වන විට අකර්මණ්‍ය තත්වයට පත්වී එවා නවතින තත්ත්වයට පත්ව ඇති බවද ඔවුන් වැඩිදුරටත් මෙහිදී අවධාරණය කරයි.

මේ නිසා මෙම විරෝධතාවයට එක්වූ පිරිස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් ම මෙම පාසල පෙර තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා මෙම විදුහල්පතිවරයා පාසලෙන් මාරු කර යවා විදුහල්පති  සේවයේ සුදුසුකම්ලත් අත්දැකීම් සහ පළපුරුද්ද ඇති නව පරිණත විදුහල්පතිවරයෙක් මෙම පාසලට ලබා දෙන ලෙසයි.