සාමාන්‍ය විදියට රටේ අනෙකුත් පුරවැසියන්ට තියෙන ප්‍රශ්ණ අමාරුකම් අපටත් තියෙනවා ….

0
595

ගමේ අයයි ගෙදර අයයි, යාළුවොයි මෙයාට කියන්නේ ‘නලින්’ කැම්පස් එකේදී යාළුවො කිව්වෙ ‘කාල්’ කියලයි. මතකනෙ ඉස්සර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටිය කාල් හූපර්. ඒ දවස්වල මෙයාගෙ පෙනුම හරියට ඒ වගෙයි. යාළුවෝ මෙයාට ‘කාල්’ කියලා අන්වර්ථ නම දැම්මෙ ඒ නිසයි. මේ විදියට ‘කාල්’ වෙච්ච මෙයාගෙ ගම මීගමුව මුන්නක්කරේ. එහේ සිරිවර්ධන පෙදෙසෙ තමයි ඉන්නේ. මෙයා මුලින්ම ඉගෙන ගන්න ගියේ මංකුලිය ශාන්ත අන්තෝනි විදුහලට. ඉන් පස්සේ උසස් පෙළ හමාර කළේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන්. කැළණි සරසවියට තේරුණේ නාට්‍ය හා රංග කලා විෂය හදාරන්න. එම අංශයෙන් ‘BA’ (ශාස්ත්‍රවේදී) උපාධිය ලබා ගත්ත නලීන් ලුසේනා, රංගන අංශයට ආවේ ඒ කාලයේදීමයි. 2011 යෞවන සම්මාන උළලේ දී හොඳම නළුවා වෙච්ච නලීන් ලුසේනා මෙරට වේදිකාවට අමුතු චරිතයක් නොවෙයි. අද මෙයා ගැන වැඩි දෙනෙක් විශේෂයෙන් කතා වෙන්නෙ. ජගත් මනුවර්ණගෙ කොඩි ගහ යට නාට්‍යයේ ‘කළු’ වෙච්ච නිසයි. කළු කියන්නේ මේ කතාවෙ හැටියට සංක්‍රාන්ති ලිංගිකයකුගේ චරිතයක් වගෙයි පෙනෙන්නෙ. ඉතින් මේ අපූරු දක්ෂයා මේ චරිතයට දායක වූ විදිය සහ ඔහු ගැන තවත් විස්තර කියන්නට අපි ඉඩ හරිමු.

නලීන් ලුසේනා, මොකක්ද මේ ලුසේනා කියන නම?

ඒක අපේ වාසගම. අපේ ගම මීගමුව. කතෝලික පසුබිමකින් එන්නෙ. තාත්තගෙ පෙළපත් නාමය තමයි ලුසේනා.

එතකොට නලින් ලුසේනා‘කාල්’ වුනේ විශ්වවිද්‍යාලයේදි ?

ඔව් ඒක විශ්වවිද්‍යාලයේදී දාපු කාඩ් එක. ඒ කාලයේදි මම මීටත් වඩා කාල වර්ණයෙන් පෙනුමයි. එදා හිටපු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක කාල් හූපර්ගෙ පෙනුම වගේ කියලයි යාළුවො කිව්වෙ. එදා මම කාල් වුණේ‍ ඒ විදියටයි.

ක්‍රිකට් වලට ආසද?

එදා ක්‍රිකට් තමයි අපේ ආසම ක්‍රිඩාව වුණේ. ගමේ දි සහ යාළුවො එක්ක ක්‍රිකට් ගැහුවා.

‘ලුසේනා’ ගෙ අරමුණ වුණේම රඟපෑමට ඒමද? කලාවට ඒමද?

නළුවකු වෙන එක ඒ කාලයේ අදහසක් ලෙස ආවෙ ෆිල්ම් එහෙම බලන්න ගිය අවස්ථාවලදියි. නාට්‍ය නරඹන පසුබිමක් නෙවෙයි අපට තිබුණෙ. අපේ තාත්තා ධීවරයෙක්. බොහොම මධ්‍යම පන්තියේ පවුලක්. පාසල් කාලයේ ඉඳලා රඟපාන්න සිංදු කියන්න ආසාව තිබුණට අපේ පාසල් පරිසරයේ ඒ පහසුකම් තිබුණෙ නැහැ. ඒ ලෙවල් කරන්න ගියාම තමයි නාට්‍ය විෂයයක් ලෙස හදාරන්න හිතුවෙ. රඟපාන්න නාට්‍ය ලියන්න ඒ වගේ ආසාවක් තිබුණෙ. කැළණි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි විෂයක් හැටියට හදාරන්න ලැබුණෙ. නළුවකුට පමණක් සීමා නොවී අධ්‍යක්ෂවරයකු දක්වා සහ රචකයකු ලෙස කටයුතු කරන්න ඕනෑය කියන තැනට ආවේ එතැනදි. රඟපෑම ආසාවක් ලෙස පටන් ගත්තට පසුව හදාරද්දි තේරුම් ගියේ එය ඊට එහා ගිය සමාජ වගකීමක් කියලා. නිකම්ම නළුවකු වනවාට වඩා කලාව ඇතුළෙ පවතින්න යමක් කරන්නෙ කොහොමද යන වටහා ගැනීම ඇති වුණේ සරසවි අධ්‍යාපනයෙන්.

කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන් ඔබට කතා කරන්නේ කොහොමද?

කාල් කියලත් කියනවා. ලුසේනා කියලත් කියනවා.

කාල් හෙවත් ලුසේනා වෘත්තිය විදියට කරන්නෙ?

වෘත්තිය විදියට 2012 ඉදලා ශ්‍රීපාලි විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු විදියට සහ තාවකාලික කථිකාචාර්යවරයකු විදියටත්, කැලණි සරසවියේත් ඒ විදියට සේවය ලබා දුන්නා. කැළණි සරසවියේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් වැඩ කළා. වර්තමානය වෙද්දි නම් ඒ විදියට වැඩ කරන්නෙ නැහැ. නිදහස් පදනම යටතේ කලාකරුවෙකු ලෙස වැඩ කරනවා.

ලුසේනා, තනිකඩ කොල්ලද තවමත්?

මම විවාහ වෙලා ඉන්නෙ.

කොහොමද කසාද ජීවිතේ?

සාමාන්‍ය විදියට රටේ අනෙකුත් පුරවැසියන්ට තියෙන ප්‍රශ්න අමාරුකම් අපටත් තියෙනවා. ජීවිතේ ඉස්සරහට යන්නෙ ඒ විදියට.

කොඩිගහ යට, ඔබ කරන චරිතය එක්තරා විදියට අභියෝගයක්? මේකෙ නම ‘කළු’ මොකද හිතෙන්නෙ?

සිනමාවේ මට විවිධ විදියට මේ දක්වා නිර්මාණ කීපයකට දායක වෙන්න පුළුවන් වුණා. ටෙලිනාට්‍ය චරිත කීපයකුත් කරලා තිබුණා. ඒ අතරේ ජගත් මනුවර්ණ අයියා මට මේ චරිතයට කතා කළාම, මේ වගේ චරිතයක් කියලා යෝජනා කළාම, තවත් එක් චරිත රංගනයක් ලෙස මම එය බාර ගත්තෙ. මේ සමාජයේ හැටියට ඒ වගේ චරිත පිළිගන්න එකත් එක්ක මිනිස්සු ඒ චරිතවලට විවිධ අර්ථකථන දෙන හැටි මම දැකලා තියෙනවා. අහලා තියෙනවා. රංගන ශිල්පියකු ලෙස ඒ චරිතය රඟපාද්දි සාමාන්‍ය චරිතයක් විදියට තමයි මම දකින්නෙ. සමාජ මතවාද සහ අර්ථ කථන පැත්තක තියලා අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශනය එක්ක මේ චරිතයට ප්‍රවේශ වුණා.

සමාජයේ සමහර මිනිස්සු මේ වගේ චරිත හඳුන්වන්නෙ එක එක නම් වලින්? සමරිසි මේ වගේ චරිතයක් කරන්න කොහොමද ඔබ හැඩ තල හදාගත්තේ.?

සංක්‍රාන්ති ලිංගිකයකුගේ වේවා, සමරිසි චරිතයක් වේවා. ඒවා දිහා මම බලන්නෙ සෑම මනුෂ්‍ය චරිතයක් දිහා බලන විදියටයි. විශේෂත්වයක් මට නැහැ. ගැහැණුද -පිරිමිද? වෙනත් දුබලතා ඇති මිනිසකු වේවා. ඒ හැමෝම මිනිස්සු. රංගන ශිල්පියකු ලෙස ඒ චරිත දිහා මම ඊට පස්සේ බලන්නෙ. ඒ වගේ වුයේ ඇයි?. ඒ චරිතයේ බුද්ධි මට්ටම මොනවගේද ඇතුළු කාරනා ටිකයි. කවුරු හරි මේ වගේ චරිත ගැන අමුතුවෙන් කතා කරනවා නම් අපි ඒ ගැන කණගාටු වෙන්න ඕනෑ. මොකද ඒවා එහෙම කතා කළ යුතු නැහැ. අපි හැමෝම සමාන අයුරින් පිළිගන්නවා නම් විශේෂ මට්ටමක් පිළිගැනීමක්, කතා බහක් අවශ්‍ය නැහැ. සමනල්ලු හරි සමරිසි හරි වෙන මොන විදියට හරි ඔවුන් ගැන අනවශ්‍ය විදියෙ කතා කරනවා නම් එහි සමාජයෙ පසුබෑමක්. එහෙම නම් සමාජයක් විදියට අපි ඉන්නෙ පසුගාමි තැනක. මිනිස්සු -මිනිස්සු විදියට පිළිගන්නෙ නැත්නම් ඒක ඇත්තටම ප්‍රශ්නයක්. දීර්ඝ කාලීනව සමාජය ඇතුලේ ඒ වගේ අය අඩු තක්සේරුවකින් සැළකීම නිසා තමයි ඒ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ. මේ ‘කළු’ ගේ චරිතය කොහොමද නිරූපණය කරවන්නෙ කියලා ජගත් අයියට අදහසක් තිබුණා.

‘කළු’ට අකමැත්තෙන් කවුරු හරි අත තිබ්බොත් කළු ගහනවා. එයා කැමති නම් කැමතියි. අකමැතිනම් අකමැතියි. ඒ වගේ ස්වභාවයක් එක්ක ‘කළු අනෙක් චරිත අතරේ තවත් ගොඳුරක් වෙන්නෙ නැහැ. එයා දුර්වලයකු නොවි ස්වාධීනව නැගී සිටින චරිතයක් ලෙස නිරූපණය කරවන්න ජගත් අයියට හොඳ අදහසක් තිබුණෙ. රංගන ශිල්පියකු ලෙස අධ්‍යක්ෂවරයාට චරිත ගැන අදහස් තිබීම මට පහසුවක් වුණා. කළු කියන මනුෂ්‍යයාගේ ලිංගිකත්වය පැත්තක කියලා අපට අවශ්‍ය වුණේ ඒ මනුස්ස චරිතය පෙන්වන්න.

මේ චරිතය රඟපෑම එක්ක සමාජයෙන් ඔබට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?

විශේෂත්වයක් දැනෙන්නෙ නැහැ. මේ නාට්‍ය නැරඹූ බොහෝ දෙනා ඒ චරිතය සඳහා කැමැත්තෙන් කතා කළා. හොඳ රංගනයක් ලෙස ඔවුන් එය දකින්නෙ. විහිළුවට ලක් නොකොට අධ්‍යක්ෂවරයා- රචකයා ඒ චරිතය නිර්මාණය කිරීම නිසා තමයි ඒ විදියට ‘කළු’ගෙ චරිතය නිරූපණය වෙන්නෙ.

නලීන් ලුසේනා,කවුද?

මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. මගේ හඳුනා ගන්න දක්ෂතාවයක්, ආසාවක් නිසා කලාවේ නියැලෙනවා. සාමාන්‍ය සිවිල් පුරවැසියකු කියලා කියන්න පුළුවනි.

සඳුන් ගමගේ
www.saaravita.lk