සැකකරුවන් රකින පාලකයින් ගැන සැකයක් ඇති වීම ස්වභාවිකයි.

0
58

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා හඬ නැගීම දැන් ශ්‍රී ලංකාවේ දේශසීමාව ඉක්මවා ගොස් තිබේ.

අගමැති රාජපක්ෂගේ ඉතාලි ගමන ආශ්‍රීතව ඉතාලියේ බොලොක්ඤ නගරයේ පැවැති විරෝධතාවයෙන් අනතුරුව 22 වනදා ජනපති රාජපක්ෂගේ ඇමරිකානු ගමන ආශ්‍රිතව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ඉතා සංවිධානාත්මක පළල් විරෝධතාවයක් පැවැත්විණි.

නිව්යෝර්ක් නුවර විරෝධතාවය තුළ කිතුනු බොදුනු ඉස්ලාම් හින්දු මෙන්ම නිරාගමිකයින්ද එක්ව සිටිනු දක්නට හැකි විය. ඒ සියලු පාර්ශව නියෝජනය කරමින්, අදහස් දැක්වීම් සිදු විය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ගැඹුරින් කරුනු කාරණා සොයා බලා විග්‍රහාත්මකව ලිපි ලියන ප්‍රවීණ මාධ්‍යවේදි පොද්දල ජයන්ත එහිදි අදහස් දක්වමින් විමසුවේ ‘පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන් රකින රාජ්‍ය නායකයා ගැන සැක කළ යුතු නැතිද ?’ යන්නයි.

දැනටමත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වී ඇති නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවෙකු වීමේ ක්‍රියාවලිය පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍ය වළදැමීමේ වුවමනාවේ කොටසක් විය හැකි බව බැහැර කළ නොහැකිය යන අදහස ජනතාවටද ඒත්තු යමින් පවතී.

නිව්යෝර්ක් නුවර පැවැති විරෝධය විසින් සළකුණු කරන්නේ මීට කළකට පෙර සිංහල කිතුනුවන් අවබෝධ කර නොගත් සත්‍යයකි. එනම් ගෝලියකරණය වු ලෝකයක් තුළ යුක්තිය ඉටුකර ගැනීමද ගෝලීය සහයෝගිතාවය අවැසි ක්‍රියාවලියක් බවයි.

අද ජාත්‍යන්තරයට යාමේ අවශ්‍යතාවය අවධාරණය කරන කාදිනල් හිමි ඇතුළු කතෝලික පූජකවරු කතෝලික ගිහි ජනයා කතෝලික ලේඛකයින් යැයි තමන්ව හඳුන්වා ගන්නා බොහෝ පිරිස් එදා රායප්පු ජෝශප් රදගුරු තුමන් තම බැටළුවන්ට සිදුවු පීඩාවන් ගැන ජාත්‍යන්තරයට යද්දී එතුමාට ‘දේශද්‍රෝහියා’ යැයි කියන මතයට අනුගතවූවා මිස සත්‍යය, යුක්තිය උදෙසා එඩේරික වගකීම ඉටු කිරීමක් ලෙස දුටුවේ නැත.

අද ඉතාලියේ ඇමරිකාවේ (හෙට තවත් රටවල විය හැකියි) පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලීමේ හඬ අගයන බොහෝ සිංහල කිතුනුවෝ එදා දෙමළ ජනයා එසේ විදේශවල සිට යම් යම් දැ පිළිබඳ හඬ නගන විට එය කොටි ඩයස්පෝරාවේ රට වනසන ක්‍රියාමාර්ග ලෙස සැලකු බව සිහි කළ යුතුය. දැන් දැන් කාදිනල් හිමිටද විදෙස්ගතව හඬ නගන්නන්ටද එරෙහිව නැගී එන්නේ එකී චෝදනාවන්මය.

ඒ නිසා ගෝලීය යථාර්ථය ජාතිවාදි, ආගම්වාදි සීමාවන් ඉක්මවා තේරුම් ගැනීමටද අතීතයේදී කළ අකිතුනු මත දැක්වීම් අවබෝධ කරගැනීමටද අවස්ථාවක් බවට මේ මොහොත පත්කරගත යුතුය.

මහජනයා දේශ සීමා වළින් තොරව යුක්තිය උදෙසා අරගල කළ යුතුය. සීමා මායිම් වලින් තොරව අනෙකාගේ යුක්තිය ගැනද පෙනී සිටිය යුතුය මන්ද දෙවියන් යනු ප්‍රේමය යනු යුක්තිය යනු සීමා මායිම් නැති යථාර්ථයක් වන නිසාය.

Jesustoday.lk 5 වන වසර 30 වන සතිය 2021 සැප්තැම්බර් 26 වන ඉරිදා
(මහින්ද නාමල්ගේ ෆේස් බුක් පිටුවෙනි )