“සැරද සහෝදර ” ගැන ප්‍රේක්ෂක සටහනක් !

0
188

සැරද සහෝදරසැරද සහෝදර ” නියත වශයෙන්ම ඉදිරියට ගෙන යායුතු නාට්‍යයකි. අජිත් හෙඩ්ලි පෙරේරා රචනා කළ කේ සමන් කුමාර නිෂ්පාදනය කළ “සැරද සහෝදර” වේදිකා නාට්‍යය නැරඹීමට ලැබීම වාසනාවක්සේ සලකමි.
නාට්‍යයේ තේමාව ඉතා සුලබව අපට අසන්නට දකින්නට ඇති තේමාවක් වුවත් කේ.සමන් කුමාර ඉතා නිර්මාණාත්මකව එය වේදීකාව තුල නිර්මාණය කර තිබේ. විප්ලවාදියකුගේ සැබෑ අධිෂ්ඨානය පිලිබදව කතාකරන ගාම්භීර තේමාවක්වුවද අවශ්‍ය ස්ථාන වලදී තේමාවට හානියක් නොවන පරිදි හාසය උත්පාදනය කරවන අවස්ථා එකතු කිරීමෙන් ප්‍රේක්ෂකාගරයේ අවධානය මුල සිට අග දක්වාම තබා ගැනීමට නිෂ්පාදකයා සමත්වු බව කිව යුතුය. කෙසේ වුවද නාට්‍ය තවදුරටත් ඉහල තලයකට ගෙන ඒමට නොකියාම බැරි කරුනු කීපයක් මෙසේ සදහන් කරනු කැමැත්තෙමි.
ප්‍රධාන ජේලර්වරයා මෙන්ම ඔහුගේ දියණිය විප්ලවීය සිරකරුගේ අදහස් වලට සහය දැක්වීමට හේතුවන/ඉදිරිපත් වන සුවිශේෂී හේතුවක් නාට්‍යය පිටපතේ නොදුටුවෙමි. සමස්ත නාට්‍යයේ 95% වැඩි ප්‍රමාණයක් දෙබස් මත රැදෙන බැවින් කිසියම් කාව්‍යමය බවක් දෙබස් තුල තිබිය යුතුයැයි හැගේ.
එසේම සමහර දෙබස් ප්‍රමාණයට වඩා දිගුවීම නිසා රසය ගිලිහී ගිය අවස්ථාද තිබුණි.( බන්ධනාගාර ගාඩ් වරයා සිරකරුගේ ලිපිය කියවීම). නාට්‍යය දෙබස් මතම දිවයන නිසා සංගීතය බලහත්කාරයෙන් නාට්‍යයට ඔබා ඇති බවක් හැගේ. දෙබස් වල මෙන්ම යම් යම් අවස්ථා කීපයකම ගැටුම්කාරී බව උද්දීපනය වන අයුරින් නැවත නිර්මාණය විය යුතුයැයි සිතේ.
මුළු නාට්‍යය පුරාම වේදිකාව මත රැදෙමින් ප්‍රධාන ජේලර්වරයාගේ චරිත නිරූපණය කල නලුවා අතිශයින්ම සුවිශේෂ රංගනයක් ඉදිරිපත් කල බව පවසමි.
කාන්තා චරිත නිරූපණය කල නිලියන් තුලින් කිසියම් වේදිකාවට නුහුරු බවක් දිස්වූවද පුහුණුව තුලින් එය ජය ගත හැකි වනු ඇත. “සැරද සහෝදර ” නියත වශයෙන්ම ඉදිරියට ගෙන යායුතු නාට්‍යයකි.
අරුණ ශාන්ත නෝනිස්