|
සිනමාවේ විශ්වාසනීයත්වය
අපේ මුතුන් මිත්තන් වසර මිලියන හයක් පමණ ජීවත් වී ඇතත්, මිනිසාගේ නූතන ස්වරූපය වසර 200,000 කට පමණ පෙර පරිණාමය විය. අප දන්නා පරිදි ශිෂ්ටාචාරය වසර 6,000 ක් පමණ පැරණි වන අතර කාර්මිකකරණය දැඩි ලෙස ආරම්භ වූයේ 1800 ගණන්වල පමණි. එම කෙටි කාලය තුළ අප බොහෝ දේ ඉටු කර ඇති අතර, අප දැනට ජීවත් වන එකම ග්‍රහලෝකය සඳහා භාරකරුවන් ලෙස අපගේ වගකීම ද පෙන්නුම් කරයි.
පෘථිවිය මත මිනිසුන්ගේ බලපෑම් අවතක්සේරු කළ නොහැකිය. මිනිසා ලෝකය වෙනස් කරන එකම සත්වයා ය. එය මිනිසාට තනිවම කළ නොහැක. එහිදී මිනිසා මිනිස් සමූහයන් ලෙස කටයුතු කිරීමට සැළසුම් සකස් කළේය. ඒ සඳහා ප්‍රධාන ම ගැටළුව බවට පත් වූයේ පොදු මතයකට මිනිසුන් එකගකර ගැනීමයි. මෙයට පිළිතුරක් ලෙසයි සන්නිවේදනය බිහිවන්නේ. තනි අදහස් පොදු සන්නිවේදන ජාලයන් තුළ ප්‍රදර්ශනය කිරීමෙන් පොදු අදහසක් ලබා ගැනීම මෙහි මුඛ්‍ය පරමාර්ථය විය. සන්නිවේදන විශාල පැති ගණනාවකට බෙදී ගිය අතර සිනමාව එයින් ප්‍රබලම මාධ්‍ය බවට පත්විය. සිනමාව යනු ආලෝක කදම්භයක් මගින් චලන සෙවනැළි ඇති කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ කලාවක් හැටියට අපට හඳුනා ගැනීම යෙහෙකියැයි සිතේ. මෙතැනදී සිනමාකරුවාට පැන නැගුණ ප්‍රධාන ගැටළුව වූයේ මෙම සෙවනැළි කෙරෙහි මානව විශ්වසය ඇති කිරීමයි.
විශ්වාසය ඇති කිරීම කලාවක් ද
සෑම මානවයෙකුටම ශරිරය පෝෂනය කිරීම සඳහා ආහාර ගැනිම අත්‍යාවශ්‍ය කටයුත්තකි. එසේ එම ශරීරය පාලනය කරනු ලබන වැදගත්ම ඉන්ද්‍රිය වන මනස ද පෝෂනය කළ යුතු වන්නේ ය. එයින් මානවයාගේ සිතිවිලි සේම එයින් ප්‍රතිනිර්මාණය කරනු ලබන සියල්ල ද ප්‍රධාන වශයෙන් මෙහෙය වන්නේ මනස විසිනි. මනස පෝෂණය කරනු ලබන ප්‍රධානතම මාධ්‍ය වන්නේ දෘෂ්‍යයි. ශරීරය පෝෂණය කරනු ආහාර ලබාගැනීමට මුව යම් සේද මනස පෝෂණය කිරීමට ඇස දායක වේ. එනයින් බැලූ කළ ඇස ප්‍රධාන කර නිර්මාණය වන සන්නිවේදන මාධ්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් වශයෙන් හඳුන්වන්නේ ය. ඊළගට අපට ඇතිවන ප්‍රධාන ගැටළුව නම් ඇස අපගේ මොළයට ගෙන යන සෑම දෙයක්ම නිවැරදිද යන්නයි. ඒ මක්නිසාද යත් අපගේ ශරීරයේ ඇති වඩාත් වැරදි දත්තයන් අපට ලබාදෙන එකම ඉන්ද්‍රිය ද වන්නේ ඇස බැවිනි.
මානවයා සෑම දෙයක්ම විශ්වාස කරන්නෙ ඇසින් දුටු සාක්ෂී මතය. එසේනම් නිවැරදි වූ සාක්ෂි ඇස හරහා මොළයේ ගබඩා කළ යුතුය. එය කලාවකි. විද්‍යාවකි. සිනමාකරුවාගේ ප්‍රධාන කටයුත්ත බවට පත්වන්නේ මෙන්න මේ කාරණාවයි. යම් සිනමාකරුවෙකුට තමන්ගේ කෘතිය ජනගත කිරීමේදී ජනතාව තුළ තමන්ගේ සංකල්පය පිළිබඳ ව විශ්වාසය ඇති කිරීම මුඛ්‍ය කරුණක් වන්නා සේම දෘෂ්‍ය මාධ්‍ය තුළ විශ්වාසය ඇති කිරීමේ උපාය උපක්‍රම ඇසුරෙන් නිර්මාණය නිපදවන්නේ කෙසේද යන්න පිළිබඳ ඔහුට ශාස්ත්‍රීය දැනුමක් ද තිබිය යුතුමය.
සෑම කලා කෘතියක්ම එහි ආකෘතිය අභිප්‍රේරණය කිරීමට මාධ්‍යයක් ලෙස සේවය කරන අරමුණක් වටා ගෙතනු ලැබේ. එයින් දෘශ්‍ය මාධ්‍ය ලොවම අවධානය දිනා ගැනීමට සමත් වී ඇති විෂ්‍යයකි. විශාල ප්‍රමාණයකට ප්‍රසාරණය වීමට හා එහි විභව හැකියාව පෙන්වීමට පුළුල් පරාසයක ස්වරූප දක්වා පැතිරීමට සත්‍ය හා ප්‍රබන්ධ කථා ලෝකය දිනා ඇති බැවින් සිනමාව ඉතාම උසස් මාධ්‍යයක් ලෙස පිළිගැනේ. විකල්ප කතිකාවතක් නිර්මාණය කිරීමේ නිශ්චිත අරමුණ චිත්‍රපටය සතුය.
දෘෂ්‍ය ස්වරූපයෙන් සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් පිළිබඳ වාර්තාවක් ප්‍රතිවිරෝධී දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කිරීමට හෝ සමකාලීන ලෝකයේ ස්ථාපිත දෘෂ්ටි කෝණයන් අගය කිරීම සිනමාවට ඇති ඇති සුවිශේෂ හැකියාවයි. මනඃකල්පිත දෘශ්‍ය ආඛ්‍යාන සහිත ප්‍රබන්ධ කථා, බොහෝ විට සම්පූර්ණ ෆැන්ටසි, මූලික වශයෙන් නරඹන්නන්ගේ විනෝදාස්වාදය අරමුණු කර ගනිමින් බොක්ස් ඔෆිස් දෙස බැලීමෙන් හඳුනාගත හැකිය. ප්‍රබන්ධ දෘශ්‍ය ආඛ්‍යානය ජනප්‍රිය සිනමාවේ අත්‍යවශ්‍ය ලක්ෂණයක් වන අතර වාර්තා චිත්‍රපටය බොහෝ විට සත්‍ය වූ තොරතුරු සපයන අතර යථාර්ථය සමඟ මිනිසුන්ට මුහුණ දීමට සලස්වයි. ඒවා ප්‍රබන්ධ නොවන චිත්‍රපට බවට මඟ පෙන්වන අතිරේක නාට්‍ය රසයකින් තොරව විශ්වාසනීයත්ව ප්‍රධාන කර ගැනීම වාර්තා චිත්‍රපටයේ පරිණත භාවයක් ලබා ගැනීමට බැඳී සිටී. සමාජ, දේශපාලන හා ආර්ථික ගැටලු හෝ පුද්ගලයන්, ස්ථාන හෝ දේවල් රූපයට නගමින් එහි පර්යාවලෝකනය, වර්ණ, චලන විලාසිතාවන් වාර්තා චිත්‍රපටයක ප්‍රධාන ලක්ෂණය වන්නේ ය.
මෙයට අමතරව නිර්මාණාත්මක දෙබස් චිත්‍රපටය තුළ ඇතුළත් වන අතර විශ්වාසනීයත්වය ඇති කරනු පිණිස එයද ඉවහල් වෙයි. නමුත් සිනමාව යනු ප්‍රධාන වශයෙන් චලනය මූලික කරගත් මාධ්‍යයකි. චලනය මගින් සියළු අදහස් ප්‍රකාශ කිරීමට සිනමාකරුවා දක්ෂ විය යුතුය. ඒ නිසාම මෙම මාධ්‍යයට (motion pictures) චලන රූප යන නාමයෙන් හඳුන්වනු ලබයි. යම් සිනමා කෘතියක දෙබස් සඳහා වැඩි පරාසයක් ලබාදී ඇත්නම් එය දුර්වල සිනමා කෘතියක් වන අතර එය ගුවන් විදුලි පිටපතකි. සිනමාවේ විශ්වාසනීයත්වය ඇති කරලීමට මෙයද වෙසෙසින් බලපාන කරුණකි.
සිනමාව හා ප්‍රේක්‍ෂකයා හමුවන ස්ථානයේ දී ඇති විශේෂ තත්ත්වය ද අප හඳුනාගත යුතුය. යම් සිනමාකරුවෙකු තම කෘතිය පර්යාවලෝකනය :( perspective) සහිත දර්ශනතලයක රූගත කළ ද එය තිරගත කරනු ලබන්නේ ද්විමාන ( 2 D)* තිරයක් මතය. එහි දී වන්නේ ත්‍රීමාන ( 3 D) වලින් එක් මානයක් අහිමිවීමකි. මෙම තත්ත්වය ද සිනමාවේ විශ්වාසනීයත්වය පිළිබඳ ව ප්‍රේක්‍ෂක මනස ගැටෙන ස්ථානයක් වශයෙන් හැඳින්වේ. එය ප්‍රේක්‍ෂක මනස තුළ මනඃකල්පිත බවක් ඇති කරලන්නට සමත්වන්නේ ය. මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට සිනමාකරුවා භාවිත කරන්නෙ චිත්‍ර ශිල්පියෙකි. චිත්‍ර ශිල්පියා යනු පර්යාවලෝකනය ( perspective)තරනය කළ පුද්ගලයෙකි. ද්විමාන රූපයක පර්යාවලෝකන ගොඩ නගන උපාය උපක්‍රම ඔහු මැනවින් ප්‍රගුණ කර ඇති අතර ද්විමාන තලය තුළ ත්‍රීමාණ බව ඇති කරලීමට ඔහු සමත් ය. එසේම වර්ණය ද, චලනය ද, සංගීතය ද, දෙබස් ද සිනමාව තුළ විශ්වාසනීයත්වය ඇති කරන්නට අති දක්ෂ සිනමාකරුවන් සමත් වී තිඛේ. 1993 ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක වූ ජුරාසික් පාර්ක් (Jurassic park )ස්ටීවන් ස්පීල්බර්ග් ( Steven Spielberg) විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එය ලොව ප්‍රේක්‍ෂක විශ්වාසනීයත්වය දිනාගැනීමට සමත් විය. එය පූර්ණ වශයෙන් ම ප්‍රබන්ධයක් වන අතර සිනමාපටය සම්පූර්ණ වශයෙන්ම ගොඩ නගන්නේ විශේෂ ප්‍රයෝග සහ පරිගනක සඡිවීකරණය ඇසුරෙනි. එය එසේ බව ප්‍රේක්‍ෂක මනස තුළ ඇති කරන නමුත් සිනමාකරුවා එම සිතුවිල්ල අභිබවා විශ්වාසනීයත්වය ගොඩනැගීමට සමත් වී තිබේ.
ලංකාවේ සිනමාව
ලංකාවේ සිනමාවේ ප්‍රේක්‍ෂක විශ්වාසය මැනීමට ඇති හොඳම සාධකය වන්නේ වසරක් තුළ වැසී යන සිනමා ශාලා ප්‍රමාණය ගණනය කිරීමෙනි. 1970 වසරේ දී ලංකාවේ සිනමා ශාලා ප්‍රමාණය 400 ඉක්ම වූ අතර දැන් එය සිනමා ශාලා 32 දක්වා පහත වැටී ඇත .නිෂ්පාදනය වන සිනමා කෘති ද මෙයට සමපාත වන අතර සිනමාපට නිෂ්පාදනයේ දී මෙය වෙනස් වන්නේ සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමෙන් ව්‍යාපාරිකයා බදුවලින් නිදහස් කිරීමේ තත්ත්වය මතය.
එසේම ලංකාවේ තවමත් ශාස්ත්‍රීය සිනමා පාසලක් නැත. එනිසාම බොහෝ සාමාන්‍ය පුද්ගලයින්ට සිනමා අධක්‍ෂකවරුන් වශයෙන් පිවීසීමට වරම් ලැබී ඇත. අධ්‍යක්‍ෂකවරුන් පමණක් නොවෙයි සිනමාව කෘතිය තුළ සේවය කරන සෑම ශිල්පියෙකුම ශාස්ත්‍රීය අධ්‍යපනයක් නැති පුද්ගලයෙකි. එය ඔවුන්ගේ වරදක් නොවේ. ලංකාවේ සිනමා ක්‍ෂේත්‍රයට පිවිසෙන බොහෝ ශිල්පීන් ටෙලි නාට්‍ය හෝ වේදිකා නාට්‍ය වලින් පුහුණුව ලැබූ නිර්මාණකරුවන් ය. මෙහිදී තවද වෙසෙසින් සඳහන් කළයුත්තේ වේදිකා හෝ ටෙලි නාට්‍ය හෝ ගුවන් විදුලි නාට්‍යකරුවන් පුහුණු කරන ලොව පිළිගත් කිසිම ශාස්ත්‍රීය පාසලක් අපට නැත.
සිනමාව අතිශය ප්‍රබල මාධ්‍යයකි. ලෝක ධනවාදය තම අණසක පැතිරවීමට සිනමාව යොදා ගනී. මෙයින් අපට ගම්‍ය වන්නේ මෙම මාධ්‍යයේ ඇති ප්‍රබලතාවයයි. ඇමෙරිකාව රුසියාවේ සමාජවාදී රජය විනාශ කිරීමට සිනමාව යොදා ගත් බව ප්‍රකට කරුණකි. ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් ජනාධිපති සඳහා නම් කරන ලද බැරක් ඔබාමා ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ජෝන් මැකේන් පරාජය කරමින් ජනාධිපති ලෙස 2009 ජනවාරි 20 වන දින තේරී පත් වූ අතර මෙම මැතිවරණයේ දී එරට තුළ දැඩි අප්‍රසාදයට පත් වන කළු ජාතිකයෙකු ජනපති කිරීමට වඩාත්ම සේවයක් කළේ රූපවාහිනී නාට්‍ය මාලවකි. ලොව දේශපාලන බලය ස්ථාවර කිරීමට ජන මනස වෙනස් කර තමන් වෙනුවෙක් සේවය කිරීම පිණිස මෙම මාධ්‍ය යොදා ගන්න සැටි අපූරුය.
එසේම සිනමාව රටක ආර්ථීක වශයෙන් ශක්තිමත් කිරීමටත්, රට පිළිබඳ යහපත් මතයක් ලොව පුරා ගොඩ නැගීමටත් යොදා ගත හැකි ප්‍රබල මාධ්‍යයකි. ශ්‍රී ලංකා විදේශ ණය 2023 ජූනි මාසයේදී බිලියන 52.4 දක්වා ළඟා වූ අතර ඉන්දියානු නිෂ්පාදනයක් වූ පද්මාවතී චිත්‍රපටය ලොව පුරා රුපියල් බිලියන 5.85 උපයා ඇත. මෙම නිදර්ශනයෙන් ම මෙම කර්මාන්තය පිළිබඳ අදහසක් ඇති කර ගැනීමට පිළිවන. එය ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද එක් සිනමාපටයක් පමණී. එම උදාහරණය මා යොදා ගත්තේ පද්මාවතී යනු අපගේ කතාවක් වන අතර එය නිෂ්පාදනය කිරීමේ නෛතික අවසරය ඇත්තේ අපට බැවිනි. සිනමා කර්මාන්තය සඳහා කතා තේමාවන් සුවිසල්ව ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැක. නමුත් එවන් තත්ත්වයක් තුළදීම ඉන්දියානු හෝ වෙනත් ඉංග්‍රීසි සිනමාපට සරණ යමින් අතිශය දුගීභාවයක ලංකාවේ සිනමාකරුවා ගිලී සිටී.
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය චිත්‍ර කලා මූවිටෝන් හි එස්. එම්. නායගම් විසින් නිෂ්පාදනය කරන ලද කඩවුනු පොරොන්දුව සමඟ 1947 දී ආරම්භ කළ අතර එය අදවන විට වසර 76 ක කාලයක් ගෙවා ඇත. එවන් කාලයක් තුළ පෝෂණය නොවූ කර්මාන්තයකට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට සදාචාරයක් නැත. එමනිසා දැන්වත් සිනමාවට ආදරේ ඇති අය එක සිතින් එක අදිටනින් එක සැළසුමකට එකගව මෙම වටිනා කර්මාන්තය රටට ආලෝකයක් වීම දක්වා ඔසවා තැබීම කළ යුතුව ඇත. එයට පමා නොවී කටයුතු කිරීමට දැන් කාලයයි.
සිනමා සහය අධ්‍යක්ෂිකා
සෞම්‍ය සඳමාලි මුදුන්කොටුව
කොළඹ විශ්ව විද්‍යාලය
ශාස්ත්‍ර පීඨය
සන්නිවේදන හා නිර්මාණාත්මක කලා ගෞරව උපාධිය