සියලු නුඩ්ල්ස් වර්ග සාම්පල කාර්මික තාක්ෂණික ආයතනයේ රසායනාගාරයට

0
283

 

මැගි නුඩ්ල්ස් ඇතුළු දැනට මෙරට වෙළෙඳපොලේ අලෙවි කරන සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල වහාම ක‍්‍රියාත්මක වන පරිදි පරික්ෂාවට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

පසුගිය සතියේ ඉන්දියානු රජය විසින් මැගි නුඩ්ල්ස් එරට භාවිතය අත්හිටුවීමට පියවර ගන්නා ලද්දේ එමගින් විවිධ රෝග වැළඳීමට ඇති ඉඩකඩ පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම එහි අඩංගුවන රසකාරකවල ඊයම් මට්ටම මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස හා අනාරක්ෂිත මට්ටමකට ඇති බව පරික්ෂණවලින් අනාවරණය කර ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ ආහාර බලධාරියා වශයෙන් මැගි නුඩ්ල්ස් ඇතුළු සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂා කිරිමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

මේ අනුව මේ වනවිටත් මැගි නුඩ්ල්ස් සාම්පල රසායනික පර්යේෂණ සඳහා කාර්මික තාක්ෂණික ආයතනයේ රසායනාගාරය වෙත යවා තිබේ. අනෙකුත් නුඩ්ල්ස් සාම්පල වහාම ලබා ගැනීමට තිරණය කර ඇති අතර, ඒවා ද ඉදිරි දිනවල අදාල පර්යේෂණ සඳහා යැවීමට කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වුවද කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාව ලැබීමෙන් පසු එම නිර්දේශ අනුව මිනිස් සිරුරට හානිදායක මට්ටමින් යම් රසායනික ද්‍රව්‍ය එම නුඩ්ල්ස් සාම්පලවල පවතින බව සනාථ වුවහොත්  එම නිෂ්පාදන වහාම මෙරට භාවිතය තහනම් කිරිමට කටයුතු යොදන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
www.asianmirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here