සිහිකිරීම පිණිස මළවුන්

0
536

DSCF7514newමළවුන් සහ ජීවත්වන්නන් අතර සම්බන්ධතාවයේ දෘෂ්‍යමාන බව දකින්නට වසරේ එක දවසක් උදාවෙයි. අද නොවැම්බර් දෙවෙනිදායි. මීගමුව නගරයේ සුසාන භූමි අලංකාර මල් උයන්  මෙන් දිස්වෙමින් තිබුණි. විශාල භූමිභාගයක මළවුන් නිදන්ව සිටින නගරයේ එකම තැන මඤ්ඤොක්කාහේනේ සුසාන භූමියයි.අප එහි යන විට වැහි අදුර අහස අරක්ගෙන තිබුණත් සොහොන් කොත් ලග දල්වා තිබූ ඉටිපහන් අලෝකයෙන් අදුරට ඉඩක් නොතිබුණි.
සිය ආදරනීයයන් අසල රැදෙමින් යාඤා කරමින්,ඉටිපහන් දල්වමින් නිහඩව සිටින ඥාතීන් එහි සිටියේය.  සොහොන්කොත් අසල මල් තබා ඉටිපහන් දැල්වූ විට ඇතිවන පහන් සංවේගය මුළු සුසාන භූමිය පුරාම  පැතිරී ඇත. සොහොන් කොතක් සුද්ද පවිත්‍රකර දි මුදලක් උපයා ගැනිමට පැමිණි කම්කරුවෝ සුසාන භූමියේ තැන තැන බලාහිදිති. එහි තිඛෙන විශේෂ සොහොන් කොත් අතර රුක්මණීදේවියගේ සොහොන් කොත ද අපගේ නෙත ගැටුණි.  ඇයට උපහාර පිණිස තනා තිබූ විශේෂ ආකෘතියක් එහි තිබුණි. පසුව එම ස්ථානය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මත එය කඩාදැමූ අතර මේ වනවිට එම ස්ථානය ඇගේ පවුලේම සොහොන්කොත බවට පත්කර ඇත.
පාර දිගේ මල් විකුණන්ටත් ඉටිපන්දම් විකුණන්ටත් කාන්තාවන් මෙන්ම පිරිමින් පිට්ටනියෙන් පිටත  රැදී සිටියෝය. ඒ අතර සුළුවෙන් මෙන්ම විශාල වශයෙන් මල් විකුණන්ට පැමිණි වෙළදුන්ද වූහ. ඒ අතර ජා ඇල සිට පැමිණි යුවතියක් අප හා කතාකරන්ටත් කැමැත්තක් දැක්වූවාය. ඇය සුළුවෙන් කරන කර්මාන්තයක් වන ඉටිපහන් නිපදවිමත් මල් විකිණීමත් ගැන කතා කළාය.
අද පටන් හෙටත් ඉදිරි දින කීපයත් මළවුන් වෙනුවෙන් සුසාන භුමිය කරා සිය ලබැදියන්ට ගරු කරනු පිණිස විශාල පිරිසක් එනු ඇති බව ඇය සිහි කළාය.