සීදුව ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ කඩා ඉවත්කරන ලෙස කතෝලික සභාව ඉල්ලයි

0
77

(හදිසි මාධ්‍ය නිවේදනය)ස්මාරකය රද්දොළුව

සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා සහ මීසම් බාර ප‍්‍රසාද් පෙරේරා පියතුමා ඇතුලූ මීසම් සභාව විසින් අද සවස (2011.10.26) සීදුව පොලීසිය වෙත පැමිණ කළ පැමිණිල්ලක් මගින් ඉල්ලා සිටින ලදී.

සීදුව ස්මාරකය සම්බන්ධව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් 2011 ඔක්තෝබර් 21 වන දින කරන ලද පැමිනිල්ලක් අනුව අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන් පැයකට ආසන්න කාලයක් තිස්සේ සීදුව පොලීසිය විසින් කටඋත්තර ලබා ගෙන තිබේ. එ සම්බන්ධව වැඩි දුර විභාගය අද දිනට කල් දමා තිබුනි.

අද දින කතෝලික සභාව වෙනුවෙන් සීදුව පොලීසිය හමුවේ පෙනී සිටි ශාන්ත සිසිලියා දේවස්ථානයේ ප‍්‍රසාද් පෙරේරා පියතුමා හා කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා පියතුමා සහ කතෝලික සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කුයින්ටස් තිසේරා විසින් මෙම ස්මාරකය ඉදිකළ භූමිය කතෝලික සභාවට අයත් ඉඩමක් බැවින් එම ස්ථානයේ ඉදිකර ඇති ස්මාරකය කඩා ඉවත් කරන දෙන ලෙස ඉල්ලා පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබීය.

1991 සිට වසර 21 ක් තිස්සේ ශී‍්‍ර ලංකාවේ සිදුවු අතුරුදහන්කරවීම් සිහිකිරීම පිනිස මෙම ස්ථානය අසල වාර්ෂිකව හා අඛන්ඩව උත්සවයක් පැවති අතර, 2000 වර්ෂයේ පෙබරවාරි 04 වන දින එම ස්ථානයේදී මෙම සිහිවටනය ගොඩ නගන ලදී. මෙම උත්සවය ආරම්භයේ සිටම කතෝලික දේවස්ථානයේත් එම මීසමෙත් පුර්ණ සහයෝගය මෙම ස්මාරකය ඉදිකිරීම සදහාත් සෑම ඔක්තෝබර් 27 දිනකම පැවැති උත්සවය සදහාත් නොඅඩුව ලැබුනි.

මෙම උත්සවයේ ප‍්‍රධාන අවස්ථාවක් වන අතුරුදහන්වුවන් සිහිකරමින් සංඝයා වහන්සේලා වෙනුවෙන් ලබා දෙන දානය සදහා ශාන්ත සිසිලියා දේවස්ථනය තුලදී ලබා දීමත්, එම දානය සදහා බෞද්ධ මෙන්ම කතෝලික පුජකතුමන්ලා එක්ව සහභාගී වීමත් 2000 වසරේ සිට වර්ෂ දෙකක් තිස්සේ සිදුවීම ආගමික සහජීවනය වර්ධනය කීරීමේ පියවරක් විය. ඉන් පසුව වසර 20 ක් තිස්සේ 2010 වසර දක්වාම මෙම දේවස්ථානය ඔක්තෝබර් 27 උත්සවයේ සංවිධාන කටයුතු සදහා භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.

නමුත් පසුගිය අවුරුද්දේ සිට මෙම ස්මාරකය ඉදිකර ඇති නිදහස් පරිසරය සම්පුර්ණයෙන් අවහිර වන සේ ගොඩ නගා ඇති නව ඉදිකිරීම් ගණනාවක් ඉදි වූ අතර පසුව ස්මාරකය වෙත ගොස් ඉන් පිටවීමට තිබූ පියගැටපෙල වසා දැමීමට ද කටයුතු කරන ලදී. අවුරුදු 21 ක් තිස්සේ අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්, ඔවුන් සිහිකිරීම සදහාත් පවත්වනු ලබන මෙම උත්සවයට සහයෝගය ලබාදුන් මෙම දේවස්ථානය ඇතුළු මීසම් සභාව පසුව හදිසියේ මෙවැනි තීරණයකට පැමිනීමට බලපෑ හේතුව සොයා ගැනීම අතුරුදහන්කරවීම්වලට එරෙහිව කටයුතු කරන ඔබ සැමගේ යුතුකමක් හා වගකීමකි.

එමෙන්ම මෙම ස්මාරකය කඩා දැමීමට එරෙහිව දියත්වන කුමන්ත‍්‍රණය පරාජය කිරීමට ජාති, ආගම්, පක්ෂ බේද නොතකා එකාමෙන් පෙරට එන මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම අතුරුදහන්වුවන් සැමරීමේ 21 වන සංවත්සරය පැවැත්වෙන හෙට දිනය වන ඔක්තෝබර් 27 උදේ 9.00 සිට 12.00 දක්වා මීට විරෝධය දක්වා සීදුව රද්දාළුව හන්දියේ ඉදිකර ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය ඉදිරිපිටදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට සහභාගී වන ලෙසද මින් ඔබගෙන් ඉල්ලා සිටිමු.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව