සුදර්ශනට මිපුර අපෙන් සුභපැතුම් !

0
60

sudarshana

මේ වන විට  ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය හොබවන නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහු අද එම ධූරයේ වැඩභාරගැනීමට නියමිතය.
ඔහුට අප , මීපුර වෙබ් අඩවිය සහ මීගමුව ජනතාව වෙනුවෙන් සහෝදරාත්මක සුබපැතුම් පිරිනමමු !
නිදහසේ වේදිකාවේ සමකැදවුම්කරුවෙකු හා නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වන ව්‍යාපාරයේ ලේකම්වරයා ලෙස කටයුතු   කරමින් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනිමේ ක්‍රියාකාරියෙකු වු ඒ මහතා රයිට්ස් නව් මානව හිමිකම් සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක වරයා ද වෙයි. ජර්මනියේ සුළුතර ජනකොටස්වල ආරක්ෂාව අධ්‍යනය කිරිම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජර්මානු රජයෙන් ඒ මහතාට ආරාධනා ලැබින.
සිවිල් සමාජය ශන්තිමත් කිරිම සඳහා වන ජාත්‍යන්තර නායකත්ව වැඩසටහන සඳහා සුදර්ශන මහතා 2014 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යයන චාරිකාවක නිරත විය.

ඔහු එක්සත් ජාතින්ගේ සංවිධානය වෙනුවෙන්  නැගෙනහිර ටිමෝරයේ සහ කොසොවෝ රාජ්‍යයේ ස්වේච්ඡා සේවකයෙකු වශයෙන්  ද  කටයුතු  කළේය.  ගත් කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන සුදර්ශන ගුණවර්ධන මහතා සමබිම උපදේශක වරයෙකු වශයෙන් ද කටයුතු කරයි.  ගුවන් විදුලියේ සභාපති ධූරයට පත්විමෙන් අනතුරුව එය වඩාත් ජනතාවට සමීප කරවීමට කෙටි කාලයක් තුල කැපී පෙනෙන වෙනස්කම් රැසකට ඔහු මුලපුරා තිඛේ. දැනට ඔහු විසින් හොබවමින් ඇති ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයට අමතරව  වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ලෙසද කටයුතු කරනු ලැබේ.

ඔහුගේ මැදිහත්වීමෙන් පුනර්ජීවය ලැබූ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව අප සටහන් කරන්නේ ඔහු සමග ක්‍රියාකාරී සගයන් ලෙස  අපට ඇති ආඩම්බරය සහ ගෞරවයද සමගිනි.
1980 දශකයේදී ආරම්භ වූ සුදර්ශන ගුණවර්ධන මහතාගේ සිවිල් සමාජ ක්‍රියාකාරම්, ක්ෂේත්‍ර කිහිපයකම විහිදුණ අතර මානව හිමිකම්, ජාතීන් අතර සාමය හා විකල්ප මාධ්‍ය මෙන්ම  වාමාංශික දේශපාලන ක්ෂේත්‍රය තුළද ඔහු කැපවූ දායකත්වයක් ලබාදුන්නේය.
2015 රයිට්ස් නව් ආයතනය බිහිකරමින් ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබදව විෂය ක්ෂේත්‍රයේ නව ක්‍රියාකාරීත්වයක් එක්කිරීමට ඔහු පුරෝගාමි වූ අතර මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සිවිල් සමාජ ක්‍රීයාකාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට එරෙහිව හඩක් නැගූ  නිදහෙසේ වේදිකාව නැමති දේශපාල ව්‍යාපාරය තුළ මතවාදී මෙන්ම ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙමින් එහි පුරෝගාමී මෙහෙවරක් සුදර්ශන ගුණවර්ධන විසින් ඉටුකරන ලදී.
පසුගිය මර්ධිත ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සිදුකළ සටනේදී සුදර්ශන ගුණවර්ධන  මහතා  දකුණේ මෙන්ම උතුරේ  මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ස්ථාපිත කිරීමට මෙන්ම ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් ද සිය සංවිධානය හරහා ප්‍රබල , සහයෝගාත්මක ක්‍රියාකාරිත්වයක නියැලුණි.  ඒ හරහා උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන් අතර  ඓයින්ද්‍රීය  සම්බන්ධයක් තහවුරු වූ අතර  එහිදී රයිට්ස් නව් ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහුගේ මැදිහත්වීම ගෞරවපූර්වකව සිහි කළ යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් වන විකල්ප මාධ්‍ය ක්‍රියාකාරිත්වයක් නිර්මාණය කිරීමේදී ඔහු  කළ විශේෂ දායකත්වයන් අතර මීපුර පුවත්පත විශේෂිතය.
මීපුර වෙබ් අඩවියේ ආරම්භය ප්‍රාදේශීය පුවත්පතකි.  2001 වර්ෂයේදී මීපුර ප්‍රාදේශීය පුවත්පතක් ලෙස එළිදැක්වීමේදී සුදර්ශන ගුණවර්ධන මහතාගේ දායකත්වය ඉතාම සුවිශේෂී කාර්යයක්  වූ  බව සටහන් කරන්නට අප කැමතිය.
එහිදී ප්‍රාදේශීය මාධ්‍ය පිළිබදව ඔහු එදා දැර සංකල්මය ස්ථාවරය මීපුර  ‘පුවත්පතක්’ ලෙස එළිදක්වන්නට ශක්තියක් වී තිබූ අතර පළමු මීපුර පුවත්පතේ  ශීර්ෂය   නිර්මාණය කරන ලද්දේ  සුදර්ශන ගුණවර්ධනගේ අත්අකුරෙනි.
ශ්‍රී ලංකාව තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කිරීමේ අභියෝගාත්මක ගමන්මගේදි සුදර්ශන ගුණවර්ධන මහතා ඉටුකර ඇති  පරමාදර්ශී ගමන්මග ඉදිරියටත් සාර්ථක කර ගැනීමට ඔහුට අප ජය ප්‍රාර්ථනා කරමු.!

Save