සුදර්ශන ගුවන්විදුලිය එවරස්ට් කන්දට ගෙනියන බව කියයි !

0
46

suda

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අද පෙරවරුවේ තම රාජකාරි භාර ගත්තේය.

සාම්ප්‍රදායික උත්සව කිසිත් නොමැතිව මෙම වැඩ භාර ගැනීම සිදු විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සේවක පිරිස ඇමතූ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ ”පළමු වරට එවරස්ට් කන්ද තරණය කළ සර් එඩ්මන්ඩ් හිලරි ඉන් අනතුරුව තම කෙටි තරංග ගුවන් විදුලිය ක්‍රියාත්මක කොට සඞඝා ලැබේදැයි විමසා තිබෙනවා. ඒ අවස්ථාවේ ඔහුට ශ්වණය වුණු එකම ගුවන් විදුලිය වූයේ ”රේඩියෝ සිලෝන්” හෙවත් ලංකා ගුවන් විදුලියයි. එදා එවරස්ට් කඳු මුදුන්ට ඇසුණු ලංකා ගුවන් විදුලිය නැවතත් එවන් ඉහළ ස්ථානයකට ඔසවා තබන්නට මාට සියළු දෙනාගේම සහයෝගය ලැබෙතැයි අපේක්ෂා කරනවා” යැයි සුදර්ශන ගුණවර්ධන මහතා කීය.

තමා මේ ස්ථානයට පත්ව පැමිණියේ ශ්‍රී ලන්කා නිදහස් පාක්ෂිකයෙකු ලෙස හෝ එක්සත් ජාතික පාක්ෂිකයෙකු හෝ ලෙස නොව සිවිල් සමාජයේ සාමාජිකයෙකු ලෙස යැයි පැවසූ සුදර්ශන ගුණවර්ධන මහතා තම අරමුණ වන්නේ ස්වාධීනව සහ අප්ක්ෂපාතීව කටයුතු කරමින් සිවිල් සමාජය විසින් පිළිගත් සාරධර්මයන් වූ සංවර්ධනය, සංහිඳියාව සහ ප්‍රජාතාන්ත්‍රීකරණය යන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත උපුටා දක්වමින් කතා කළ ඔහු ප්‍රකාශ කළේ අපරාධ හෝ කැළැඹිලි තත්ත්වයන් ඇති කිරීමට පොළඹවන්නා වූ හෝ ජාතික හෝ ආගමික හැඟීම් කුපිත කරවන්නා වූ හෝ කරුණු තමන් විකාශය කරන කිසිදු වැඩසටහනක අඩංගු නොවන බවට වග බලා ගැනීමේ නෛතික යුතුකමක් ගුවන් විදුලි සංස්ථාවට ඇති බවයි.

එමෙන්ම වැඩසටහන් වල අන්තර්ගතය නිසි සමබරවතාවය යුතුවත්, ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක භාවයකින් යුතුවත් වැඩසටහන් පවත්වා ගෙන යා යුතු බවත්, වැඩසටහන්හි ප්‍රචාරය කරන ඕනෑම ප්‍රවෘත්තියක් නිසි නිරවද්‍යතාවය සහ අප්ක්ෂපාතීත්වය සහිතව මහජන යහපත තේමා කරගෙන ඉදිරිපත් කරන බවට වගබලාගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශී බණ්ඩාර ඒකනායක, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, ශ්‍රී ලංකා රූපවාහිනී සංථ්හවේ අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වේතන්ත්‍රි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි සහ රයිට්ස් නව් සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ නීතිඥ ප්‍රබෝධ රත්නායක යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි විය.
www.srilankamirror.com