සුනඛයින් මාරාන්තික ඩිස්ටෙම්පර් රෝගයෙන් බේරාගතයුත්තේ කවුද?

0
675

සුනඛයින්ට බෝවන මාරාන්තික රෝගයක් වන ඩිස්ටෙම්පර්  ( distemperin )රෝගය නැවතත් හිස ඔසවා තිබේ. බොහෝ අවස්ථාවලදී ලංකාවේ නිවෙස් වල ඇතිකරන සුනඛයින් සඳහා නිවෙස් හිමියන් විසින් එන්නත් කරනු ලබන්නේ ජල භීතිකා රෝගය සඳහා පමණි. ගෘහආශ්‍රිතව ගැවසෙන මෙන්ම ඇතිකරන සුනඛයින්ට ජලභීතිකා රෝගයට පමණක් එන්නත් කිරිමට මිනිසුන් උනන්දු වන්නේ සුනඛයාගෙන් තමන්ට එම රෝගය වැළඳීමට ඇති බිය හේතුවෙනි. එසේ නැතිනම් සුනඛයාට ආදරයට නොවන බව ප්‍රසිද්ධියේ නොකිවත් මෙය පශුවෛද්‍ය ක්ෂේත්‍රෙයේදී නිතරම කතාකරන මාතෘකාවකි. අනෙක් කරුණ රජයෙන් සුබසාධන පහසුකම් ලබාදෙන්නේද ජලභීතිකා රෝගයට එන්නත් කිරිම සඳහා පමණි. සුනඛයින්ට එන්නත් කළ යුතු වෙනත් ප්‍රධාන රෝග වෙනුවෙන් රජය මුදල් වෙන්කරන්නේ  හෝ  ඒ වෙනුවෙන් සහනදායි ක්‍රමයක් ඇතිකරන්නටද මෙවැනි රජයන් වට හැකියාව ඇතත්, දුෂණය සහ වංචා, අනවශ්‍ය දේ වලට මුදල් අපතේ යැවිම් නිසා එබදු දේවල් කිරීමේ හැකියාව මගහැරි ඇත.
නිවසක සුරතලයට හෝ ආරක්ෂාවට සුනඛයින් ඇති කරනවා නම් ඒ සතාගේ යහපත සහ නිරෝගීභාවය වෙනුවෙන් ද සිදුකල යුතු එන්නත් මාලාවක් ඇති අතර එහි ප්‍රධානම එකක් වන්නේ ඩිස්ටෙම්පර් රෝගයෙන් වැලකීම සඳහා වන එන්නතයි.
මෙම වෛරසය සුනඛයින් ආශ්‍රයෙන් සුළඟින් ඉතා ඉක්මනින් බෝවිය හැකියි. රෝගය වැළඳුන පසු සුනඛයාට සුවවීමේ අවස්ථාව ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. සුව වුවත් එම සුනඛයා අබාධිත තත්වයට පත්වි , මිය යන තුරුම දුක්විඳියි. එබැවින් සුනඛයාගේ යහපත වෙනුවෙන් කරුණා පෙරදැරිව මෙම එන්නත ඔබගේ ආදරණීය සුරතලාට ලබාදිමට කටයුතු කරන්න. මෙය පශුවෛද්‍යවරුන්ගේ ඉල්ලීමකි.
මේ දිනවලට ඩිස්ටෙම්පර් වැළඳුන සුනඛයින් නිතරම සායන වලට රැගෙන එන බවත් ඔවුන් බේරාගැනීමට පශුවෛද්‍යවරුන් සුනඛයාට ඇති ආදරය නිසා කටයුතු කළත් , එවැනි සතෙක් සායනයකට ගෙන එමද අනෙක් සුනඛයින්ගේ ජිවිතද අවධානයට දැමිමක් බවත් සායන අත්දැකිම් ඇසුරෙන් පෙනි යයි. එමෙන්ම සුනඛයින් මෙම රෝගයෙන් බේරාගැනිමට නම් සත්වායා කුඩා කලදිම ජලභීතිකා එන්නතට පසු ඩිස්ටෙම්පර් රෝගය සඳහා එන්නත් කිරිම අනිවාර්්‍ය වේ. එසේ කළහොත් සුනඛයා මෙම රෝගයෙන් බේරාගැනිමට හැකිවනු ඇත.
පශූවෛද්‍යවරුන් නිතරම උපදෙස් දෙනු ලබන්නේ මෙම රෝගය වැළඳීමට පෙර සුනඛයාට මෙම රෝගය සඳහා එන්නත් කරගන්නා ලෙසයි.එමෙන්ම රෝගයේ මුල් ලක්ෂණ ඇතිවන විටදිම අසාධ්‍ය වන්නට පෙර සුනඛයාට ප්‍රතිකාර ලබාදිමට කාරුණික වන ලෙසයි. මන්ද මෙම රෝගය නිසා දරුණු ලෙස සුනඛයාට පීඩා විඳීමට සිදුවිම ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. එහි වගකිම ඇත්තේ සුනඛයාගේ හිමිකරුවන් වෙතය.