සොයිසා වත්ත ජනතාවගෙන් කටාන ගොවි ජන සේවා නිලධාරියෙකුට දැඩි චෝදනා.

0
29

කොච්චිකඬේ තුෂාර සුපර්මාර්කට් අයිතිකරු විසින් එම ව්‍යාපාරික ආයතනය ආසන්නයෙන් ගලා යන තෝප්පුව ඇල ( බන්ඩි ඇල ) මාර්ගයේ එක් ඉවුරක් ගොඩ කර ඇල මාර්ගයේ හැඩය වෙනස් කර වෙනත් ඇල මාර්ගයක් පැරණි ඇල මාර්ගය ආසන්නයෙන්ම කැපීම නිසා ඇල මාර්ගය සම්බන්ධයෙන් වගකිව යුතු එක් පාර්ශවයක් වූ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ කටාන කාර්්‍යාලයේ නිලධාරියෙකුට එම ගම්වැසියන් පිරිසක් දැඩි ලෙස චෝදනා එල්ල කර සිටී. මෙම ප‍්‍රදේශවාසීන් පවසන පරිදි ඇල මාර්ගයේ ඉවුරක් ගොඩ කර ඇල මාර්ගයේ හැඩය වෙනස් කිරීමේ කි‍්‍රයාවලිය තුල විශාල බලපෑමක් පාරිසරික ලෙස සිදු වීමට ඉඩ තිබේ.

එලෙස සිදු විය හැකි අවධානම් සහිත තත්වය පසෙකලා අදාල මෙම ගොවි ජන සේවා නිලධාරියා මේ ගම් වැසියනට පවසා ඇත්තේ නව ඇල මාර්ගයට ගල් වැටියක් ව්‍යාපාරිකයා ලවා ඉදිකර දීමට තමන් කටයුතු කරන බවත් ඒනිසා මෙම කි‍්‍රයාවලියට ගම්වාසීන්ට විරුද්ධ නොවන ලෙස ඔහු එහිදී ගම්වැසියන් හා පවසා තිබේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ  මෙම ඇල මාර්ගය වර්ෂා කාලවලදී ඇතිවන ගංවතුර තත්වයන් වලදී කොච්චිකඬේ නගරයේ සහ නගරය ආශී‍්‍රතව ඇති සියළුම ඇල මාර්ගයන්ගෙන් ගලා එන ජලය මා-ඔයට රැගෙන ප‍්‍රධානතම ඇල මාර්ගය බවයි. ඒ නිසා ගංවතුර ඇති වන කාල වලදී මෙම ඇල මාර්ගයේ සැඩ පහර වඩාත් රළු ස්වභාවයක් ගන්නා අතර එම සැඩ පහරේ වැඩි වේගය නිසාම දෙපස ඉවුරු ඉතා ඉක්මනින් සේදී ඉවුරු ආශී‍්‍රතව තනා ඇති නිවාස වල සහ වැසිකිලි වල අත්තිවාරම්ද මේ වන විටත් පුපුරා ගොස් ඒවා පහතට ගිලා බැසීම සිදු වී ඇති බවද ඔවුන් සදහන් කරයි. එවන් තත්වයක් පවතින විට එහි හැඩය පවා වෙනස් වුවහොත් එහි බලපෑම මීටත් වඩා අහිතකර සහ දරුණු වීමට ඉඩ ඇති නිසා එම ඇල මාර්ගයේ ස්වභාවික හැඩය වෙනස් කිරීමට තමන් එක හෙලා විරුද්ධ වන බවද ඔවුන් අවධාරනය කරති.

එවන් තත්වයක් තුල සිදු විය යුත්තේ අදාල ව්‍යාපාරිකයා ලවා පැරණි ඇල මාර්ගය යලි කපා ගැනීම බවද ඔවුන් පවසති. එහෙත් මේ ගොවි ජන සේවා නිලධාරියා පවසා ඇත්තේ ඇල මාර්ගය වෙනස් වූ පමනින් කිසිදු අවධානමක් ඇති නොවන බවත් එම ව්‍යාපාරිකයා ලවා ගල් වැටියක් ඉදි කර ගැනීමෙන් මේ ගැටළුව නිරාකරනය කර ගත හැකි බවයි.
පසුගිය ඔක්තෝබර් මස 26 වැනි බදාදා දින සවස එම ප‍්‍රදේශයේ ජීවත් වන ගම්වාසීන් පිරිසක් සමග බන්දුල නාඔටුන්න නාගරික මංතී‍්‍රවරයාගේ නිවසේ පැවැත්වු සාකච්ඡාවටද සහභාගී වූ මේ කටාන ගොවිජන සේවා නිලධාරියා සුපර් මාර්කට් ආයතනයේ අයිතිකාර ව්‍යාපාරිකයාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිනිස ඉල්ලීම් ඉදිරිපත් කරමින් අදහස් පල කර තිබේ. මෙම සාකච්ඡාවේ එක් අවස්ථාවකදී පැමිණ සිටි ගම් වැසි කාන්තාවක් මෙම නිලධාරියාට පවසා ඇත්තේ ව්‍යාපාරිකයාට අවශ්‍ය ලෙස පක්ෂග‍්‍රාහීව කටයුතු නොකරන ලෙසයි. කෙසේ වෙතත් මේ වන විට එම ව්‍යාපාරිකයාගේ අරමුණු වෙනුවෙන් පෙනී සිටින මෙම ගොවි ජන සේවා නිලධාරියා එම ගම්වැසියන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.