සේවයට පැමිණි පළමු දිනයේම, තමා උදෑසන සිට කැපවීමෙන් ප්‍රථිකාර කල රෝගියෙකුගේ මරණය දැක විස්සෝපයට පත් වෛද්‍යවරියක් දුටු වෙනත් රෝගියෙකු රෝහල් බිත්තියක ලියා තබා තිබූ සටහනකි…
වෙද නලාවක වගක් නැතුවම
හදවතේ ගැඔුරම බලා
ඇගේ හදවත ගැහෙන නාදය
වාට්ටුව දෙවනත් කලා
සේලයින් බෝතලේ හදවත
කටුවකින් ඇන පාරවා
පහත හැල්මේ ඇදුනු කඳුලෙත්
වේගයත් තව වැඩි උනා..
දෙඅත් පපුවට තබා තද කර
ජීවිතේ බර අමුනවා
හුස්ම! නුඹ මේ තරම් දරුණුද
කියයි හදවත තෙරපවා…
ඇඟිලි තුඩුවෙන් විවර කර ඇස්
අතක නාඩිය බල බලා
ඇගේ කලබල හිතක වග දැක
සුළඟ මොහොතක් නැවතුනා..!
කලින් එකිනෙක ගැටුණු ඇස් දෙක
එක ඉලක්කෙක නැවතිලා
අතින් ඇස් දෙක වහන්නටවත්
ඈට අමතක වී ගියා….
සිතක පූදින සහස් සිතුවිලි
පැතුම් කෙවෙනිය බර උනා
මුල්ම දිනයෙදි ඈත සිතිජය
ඇගේ කඳුළට බොඳ උනා…
ගලින් කල හදවතක් විය යුතු
ජීවකට මෘදු හිත් මවා
දෙවියනුත් කරනවා සරදම්
බෙහෙත් තුන්ඩුවෙ ලියවුනා…..
·