හම්බන්තොටින් පස්සේ …………

0
24

protest Hmහම්බන්තොට රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියෙහි සුදු අලියා බවට පත්විය. දැන් රනිල් වික්‍රමසිංහ දේශපාලන ව්‍යාපෘතියෙහිද වැදගත්ම මංසන්දියක් බවට පත්වීමට ඉරණම් ලබා ඇත්තේ හම්බන්තොටම බව පෙනේ.
ඊළඟ පස් වසර තුළ ඩොලර් බිලියන පහක් එනම් රුපියල් බිලියන 750ක් මෙරට ආයෝජනය කිරීමට තම රට සූදානම් බව චීන තානාපති හම්බන්තොටදී කියා සිටියේ අගමැති වික්‍රමසිංහගේ ආරාධිතයකු ලෙස වරාය ව්‍යාපෘතියට සහභාගි වෙමිනි. එවැනි මහා පරිමාණ ආයෝජනයක් කුමන රටකට වුවත් කලාතුරකින් ලැබෙන අවස්ථාවකි.
මෙම ව්‍යාපෘතියට එරෙහිව රාජපක්ෂවරුන් විසින් උසිගන්වන ලද පිරිස් පැමිණ සිටියේ මරාගෙන මැරෙන සටනකටය. සමහර විට එය 2017 වසරෙහිදී බලය අල්ලා ගැනීමේ රාජපක්ෂ මෙහෙයුමේ ප්‍රථම වෙඩි හඬ ලෙස ඔවුන් එය සැලකුවා විය හැකිය. රාජපක්ෂවරුන් සිය සංඝ සේනාවද මාධ්‍ය සේනාවද ඒ සඳහා කැඳවා තිබුණි. මාධ්‍ය සේනාව ගුවනින් ජායාරූප ගැනීමට ඞ්රෝනද රැගෙන විත් තිබුණි. රාජපක්ෂ සංඝ සේනාව පහරදීම පිණිස ගල්මුල් අසුලා ගන්නා ඡායාරූප විදෙස් මාධ්‍ය විසින් පවා පළ කරන ලදි.
එමෙන්ම ස්වකීය පාක්ෂිකයන් ලවා විපක්ෂ විරෝධතාකරුවන්ට පහර දීමේ සිය පැරණි මර්දනකාරී දේශපාලනයට යූඇන්පිය හම්බන්තොටදී යළි පණ දුන්නේය. යූඇන්පී තරුණ මන්ත්‍රීවරයකු වන මරික්කාර් ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හෝ විපක්ෂ විරෝධතා වැලැක්විය යුතු බව ප්‍රසිද්ධියේම කීවේය.
යූඇන්පීයේ ආර්ථික දේශපාලන පිළිවෙත් සමඟ සටන්කරන කවරකු වේවා තමන්ට තව වසර කිහිපයකදී එවැනි ගල් සහ මුල්වලට මුහුණදීමට සිදුනොවනු ඇතැයි නොසිතිය යුතුය. එබැවින් කවර පාර්ශ්වයකින් පැමිණියද මෙවැනි ප්‍රචණ්ඩත්වයන් හෙළාදැකීමත් ඊට විරුද්ධවීමත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ යුතුකමකි.
හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් කැරෙන්නට නියමිත දැවැන්ත චීන ආයෝජනයන්හි සමාරම්භක උත්සවයට ජනාධිපති සිරිසේන ගියේ නැත. ඉන් දින තුනකට පසු කැප්පෙටිපොළ දේශපාලන ව්‍යාපෘතිය දියත්කරමින් ‘මෙරට හොල්මන් කරන විදේශීය බලවතුන්ට තමා ඉඩ නොදෙන බවත් අද අවශ්‍ය කරන්නේ හිස් කතා නොව දේශප්‍රේමීන්ගේ හදවතින් එන කතා බවත්’ ජනාධිපති සිරිසේන කීවේ වෙල්ලස්සට නුදුරින් පිහිටි හම්බන්තොටටද ඇසෙන පරිදි විය යුතුය. එම කැප්පෙටිපොළ උත්සවයෙහි ප්‍රධාන දේශනය කළ මහාචාර්ය කේඑන්ඕ ධර්මදාස මෙසේ කීවේය. ‘කැප්පෙටිපොළත් ඉංග්‍රීසීන් සමඟ නුවර ගිවිසුමට අත්සන් කළ නමුත් පසුව එහි වරද වටහා ගෙන සටන් මඟ ගත්තා.’
සමහර විට එවැනි එක් විදේශීය බලවතකු වන යුරෝපීය සංගමය ශ්‍රී ලංකාවට සතියක් ඇතුළත ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබෙන බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළේද ජනාධිපති සිරිසේනමය.
මහාචාර්ය කේඑන්ඕ ධර්මදාසගේ ඉහත කී ප්‍රකාශයෙහි යටි අරුතක් ඇත්ද නැත්ද යන්න තේරුම් ගැනීමට වැඩි කාලයක් ගත නොවීමට ඉඩ තිබේ.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය තවත් වැදගත් සිදුවීමක් සටහන් කළේය. ඒ කලකින් නොදුටු වාග් වාතුර්යයක් පෙන්නුම් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න රාජපක්ෂවරුන්ට එරෙහිව දියත් කළ ප්‍රහාරයයි. දේශපාලන බර ආයුධ යොදාගනිමින් හතර අතටම පහර දෙමින් ඔහු රාජපක්ෂ සේනාවන්ට දැනෙන ලෙස මන බඳනා ප්‍රහාරයක් දියත් කළේය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන මුසාබස්හි රෙදි ගැලවීම පිණිස අවශ්‍ය කරන්නේ එවැනි මල්ටි බැරල් ප්‍රහාරයන්ය. ඔහු මෙසේද කී බව සදහන් කළ යුතුය. ‘කව්රු නාවත් මෙම වැඩපිළිවෙළ ඉදිරියට යනවා.’
සිය පාක්ෂිකයන් ලවා රාජපක්ෂවාදී විරෝධතාකරුවන්ට ගල් ප්‍රහාර එල්ල කරනු වෙනුවට යූඇන්පිය කළ යුතුව තිබුණේ එවැනි දේශපාලන ප්‍රහාරයන් මගින් උසිගැන්වුණු පිරිස් අඩපණ කිරීමයි. එමෙන්ම රාජපක්ෂවාදී පිරිස්හි ප්‍රචණ්ඩත්වය රටටම සහ වීනය ඇතුළු ලෝකයාට පෙන්විය හැකි පරිදි වාර්තා කර ගැනීමයි. ඒ වෙනුවට යූඇන්පිය සිය පරණ පුරුදු ගල්මුල් දේශපාලනයට බැසීමේ වාසිය අවසානයේදී අත්වන්නේ රාජපක්ෂවරුන්ටමය. එබැවින් ගල්මුල් සහ අධර්මයෙන් මුහුණ දීමේ මෙම පිළිවෙත උපන්ගෙයිදීම අවසන් කිරීමට යූඇන්පී නායකත්වය පියවර ගැනීම අත්‍යවශ්‍යය.
හම්බන්තොට චීන-ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සහ එහි ඇතිවූ කළහකාරී තත්ත්වය ගැන පාර්ලිමේන්තුවෙහි ඇතිවූ සාකච්ඡාවෙහි අගමැති වික්‍රමසිංහගේ හැසිරීමද එම කළහයේම කොටසක් බවට පත්විය. ඔහු විහිළු කරමින් හඬනගා තර්ජනාත්මකව කතා කළේ අගමැතිවරයකු සතුවිය යුතු නිහතමානී සහ සාරගර්භබවින් තොරවය. ඔහුගේ කතාවට ප්‍රතිචාර දැක්වූ චමල් රාජපක්ෂ මහතා ඉතා සන්සුන්ව සිය අදහස් නිරවුල්ව ප්‍රකාශ කළේ වික්‍රමසිංහට පාඩමක් වන පරිදිය. චමල්ගෙන් බැරි නම් ඬේවිඞ් කැමරන් හෝ නරේන්ද්‍ර මෝඩිගෙන් හෝ අගමැතිවරයකුගේ හැසිරීම ඉගෙන ගැනීම නුවණට හුරුය.
හම්බන්තොට චීන-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ මෙම සමාරම්භක උත්සවය ජනාධිපති ඇතුළු ශ්‍රීලනිපය වර්ජනය කළ බව දැන් රහසක් නොවේ. ශ්‍රීලනිපයෙන් එහි ගියේ ‘අප්පච්චි මළා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අමාත්‍ය විජිතමුනි සොයිසා පමණි. ජනවාරි 7දාට යෙදුණු හම්බන්තොට උත්සවය වර්ජනය කළ ශ්‍රීලනිපය ඊට පසුදාට යෙදුණු ලසන්ත වික්‍රමතුංග අනුස්මරණයද වර්ජනය කළ බවක් පෙනෙන්නට තිබුණි. එකද ශ්‍රීලනිප මැති ඇමැතිවරයෙකු හෝ බොරැල්ල කනත්තේ පැවැති එම චාම් සැමරුමට පැමිණියේ නැත. ජනාධිපති වෙනුවෙන් එහි මලක් තබා ලසන්තට ගරු කිරීමට එවන්නට කිසිවෙක් ශ්‍රීලනිපයේ සිටියේ නැත්ද? ජනාධිපතිවරණ වේදිකාවෙහිදී නම් කිසිවකුට ලසන්ත අමතක වූයේ නැත.
ලසන්ත වික්‍රමතුංගගේ මළසිරුර පරීක්ෂණ පිණිස යළි ගොඩගත් අවස්ථාවෙහිද ඩ්‍රෝනයක් ගුවනට යවා රහසිගතව ජායාරූප ගැනීමට තැත් කළේ හම්බන්තොටදීද නිසි ක්‍රියාපාරිපාටියකින් තොරව ඩ්‍රෝනයක් ගුවනට නැංවූ රාජපක්ෂවාදී හිරු නාලිකාවමය. ඇදගෙන නෑම පුරුද්දක් බවට පත්කර ගෙන සිටින ආණ්ඩුව එම ඩ්‍රෝනය අත්අඩංගුවට ගත්තේය. එම පියවර ජනමාධ්‍ය මර්දනයක් ලෙස ප්‍රචාරය වන විට ජනමාධ්‍ය සඳහා ඩ්‍රෝන පාවිච්චිය පිළිබඳ ආණ්ඩුවේ මඟ පෙන්වීම් ඇති බව තොරතුරු අමාත්‍යාංශයට මතක් විය.
එකී මඟ පෙන්වීම් නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ එනම් 2016 පෙබරවාරී මාසයේදී බව තොරතුරු අමාත්‍යාංශයේ නිවේදනයෙන් දැක්වුණි. එනමුත් සිවිල් ගුවන් අධිකාරියේ වෙබ් අඩවියට අනුව ඩ්‍රෝන භාවිතය සඳහා දක්වා ඇති එකී ප්‍රමිතීන් බලාත්මක කර ඇත්තේ 2017 ජනවාරි 10දා සිට පමණය. ඒ කියන්නේ හම්බන්තොටින් දින තුනකට පසුය. තවද ජනමාධ්‍යයට බලපවත්වන මෙම ප්‍රමිතීන් පැනවීමට පෙර අදාළ අංශ සමඟ ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් කළේ හෝ එම ප්‍රමිතීන් පිළිබඳව ජනමාධ්‍ය ආයතන හෝ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණේද නැත. අඩුම වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයවත් මෙම ප්‍රමිතීන් ගැන දැනසිටි බවක් පෙනෙන්නට නැත.
හම්බන්තොටින් දින හතරකට පසු මොරගහකන්ද ජලාශය පිරවීම ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලදි. රූපවාහිනී සහ පුවත්පත් වාර්තා අනුව මෙම උත්සවයට අගමැති වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් කිසිවකු සහභාගි වී නැත. හම්බන්තොට සිට එහි පැමිණ සිටියේ චීන තානාපතිවරයා පමණි. මන්ද යත් චීනය මෙම ව්‍යාපෘතියටද සම්බන්ධ නිසාය. ඊට දිනකට පෙර වෙල්ලස්සෙහිදී නව විජිතවාදීන් ලෙස හඳුන්වන ලද රටවලට මෙම තානාපතිවරයාත් අයත් ද?
හම්බන්තොටින් දෙදිනකට පසු රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව යහපාලන සභාග ආණ්ඩුව මුහුණ දෙනු ඇති කාල බෝම්බය ඇටෙව්වේය. එනම් නව ව්‍යවස්ථාවක් නොව අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් බවත් ජනාධිපතිධුරය අහෝසි නොකළ යුතු බවත් ජනාධිපති සිරිසේන ශ්‍රීලනිපයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවත්ය.
ඒ ගැන පසුව කතා කරමු.■
සුනන්ද දේශපිය